Print this Article


උත්තරීතර පැවිදි දිවියක පූජනීයත්වය

උත්තරීතර පැවිදි දිවියක පූජනීයත්වය

උදාර පැවිදි දිවියක පියසටහන් ඔස්සේ මෙවර සාකච්ජා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ ශී‍්‍ර ලංකා අමරපුර මහානිකායේ අමරපුර සිරිසද්ධම්මවංශ පාර්ශ්වයේ අනුනායක ධූරන්ධර
ආචාර්ය දිමියාවේ අමරවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

කෙළිදෙළෙන් ගත කරන ළමා වියේදී ම පැවිදිවීමට සිත් දුන්නේ කුමන ආකාරයෙන් ද? අපේ හාමුදුරුවනේ,

සබරගමු පළාතේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දිමියාව ග්‍රාමයේ දිමියාව චන්ද්‍රසේකරගේ කරුණාරත්න සහ කහංගමගේ පොඩිහාමිනේ යන දම්පතීන් දෙපළ සදාදරණීය මව්පියන් කොට දරුවන් නව දෙනකුගෙන් යුත් පවුලක අටවැනි දරුවා ලෙස ජන්ම ලාභය ලැබුවා.

දිමියාව රජයේ පාසල තුළින් මූලික අධ්‍යාපනය ලබන කුඩා අවධියේ සිටම ගමේ විහාරස්ථානය සමඟ ඉතා සමීපව කටයුතු කළා. එනිසාම ගමේ විහාරස්ථානයේ නායක හාමුදුරුවන් වහන්සේ මාව පැවිදි කිරීමට ඉල්ලුවත් මම බාල දරුවා නිසා අම්මා එයට කැමැති වුණේ නැහැ. මොරටු පළාතේ ප්‍රධාන සංඝනායක මොරටුවේ සිරි ශාසනවංශ නායක ස්වාමීන් වහන්සේ සමඟ මගේ මහප්පා ඉතා සමීප ඇසුරක් තිබුණ නිසා 1947 වර්ෂයේ දී මා මොරටුමුල්ල සද්ධර්මරාජ මහා විහාරස්ථානය වෙත කැඳවාගෙන ආවා.

අමරපුර සිරිසද්ධම්මවංශ මහානිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලෙස වැඩ සිටි මාපලානේ සිරි පඤ්ඤාලංකාර මහානායක හාමුදුරුවන් වහන්සේ, රාජකීය පණ්ඩිත තෙල්වත්තේ පඤ්ඤාවංශ අනු නායක හාමුදුරුවන් වහන්සේ යන දෙනමගේ උපාධ්‍යායත්වයෙන් 1948 වර්ෂයේ දෙසැම්බර් මස 22 වන දින සම්මා සම්බුද්ධ ශාසනයේ උතුම් පැවිදි භාවයට පත්වුණා.

ඔබ වහන්සේ ශාසනික අධ්‍යාපනය වගේම උසස් අධ්‍යාපනය ලබාගත් කාල පරිච්ජේදය සිහිපත් කරනවා නම්,

1951 වර්ෂයේදී ජනවාරි 31 වන දින මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ඇතුළත්ව එවකට පරිවේණාධිපතිව වැඩ සිටි බද්දේගම පියරතන නායක හාමුදුරුවන් වහන්සේ වගේ ම වැලිවිටියේ සෝරත නා හිමියන් , කළුකොඳයාවේ පඤ්ඤාසේකර නා හිමියන්,වැලිවිටියේ පේමරතන නා හිමියන්,ගලගම සරණංකර නා හිමියන්,රද්දැල්ලේ පඤ්ඤාලෝක නා හිමියන් ආදී මහා උගත් යතීන්ද්‍රයන් වහන්සේලා යටතේ ඉතාමත් සාර්ථකව අධ්‍යයන කටයුතු සිදුකිරීමේ භාග්‍ය උදා කරගත්තා. එම කාල වකවානුවේදීම නිසි වයස් සම්පූර්ණවීමත් සමඟ 1956 වර්ෂයේ ජූනි 16 වෙනි දින පානදුරානදී උදකුක්ඛේප සීමාමාලකයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා පුණ්‍යකර්මය සිදු කළ බවත් සිහිපත් කළ යුතුයි. අනතුරුව ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම විභාග සමත්ව සිටි නිසා 1960 වර්ෂයේදී විද්‍යෝය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ප්‍රථම උපාධියත්, ගෞරව උපාධියත් ලබා ගත්තා. පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව විභාගය සමත්වුණා. ඒ වගේම කොරියාවෙන් ආචාර්ය උපාධියක් ලැබී තිබෙන බවත් ,විද්‍යෝදය පිරිවෙනින් දීප්තිමත් ශිෂ්‍යාට පිරිනමන ධර්මශාස්ත්‍ර විභූෂණ ගෞරව නාමය විද්‍යාධර සභාව මගින් 2018 වර්ෂයේ අප්‍රේල් මස 29 වන දින පිරිනැමූ බවත් මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුයි.

ධර්මශාස්තී‍්‍රය,ආගමික,ශාසනික කාර්යභාරයට සම්බන්ධවුණේ කුමන ආකාරයෙන් ද? අනුනායක හාමුදුරුවනේ,

එම වකවානුවේ දී උපාධිධාරී භික්ෂූන් වහන්සේලාට රජයේ පාසල්වල ගුරුපත්වීම් ලබාදීමේ අවස්ථාව මටත් හිමිවුණා. ඒ අනුව රත්නපුර බළන්ගොඩ පින්නවල උඩගම මහා විද්‍යාලය, හපුතලේ අධ්‍යාපන කලාපයේ වල්හපුතැන්න මහා විද්‍යාලය ආදී පාසල්වල වසර 10 ක දුෂ්කර සේවයෙන් පසුව නැවත කොළඹට වැඩම කළා. ගුරුසේවයේ යෙදෙමින් සිටි අවධියේ තවදුරටත් සේවය කිරීමට කාලය තිබියදීත් 1992 වර්ෂයේ දී විශ්‍රාම ගැනීමට සිදුවුණා. එයට හේතුවුණේ ගුරුදේවයන් වහන්සේගේ අපවත්වීමත් සමඟ විහාරස්ථාන ගණනාවක ශාසනික කටයුතු කිරීමට සිදුවීම යි.

එවකට මහානායක ධූරය දැරූ මරදාන කුප්පියාවත්ත ජයසේකරාරාමාධිපති රාජකීය පණ්ඩිත තලලේ ධම්මානන්ද මහානායක හිමියන් ප්‍රමුඛ සුධර්මාකාරක සංඝ සභාවේ අනුමැතියෙන් ශාසනවංශාලංකාර චන්ද්‍රකීර්තී ශී‍්‍ර ගෞරව නාමය සහිතව රත්නපුර දිස්ති‍්‍රක්කයේ ප්‍රධාන සංඝනායක ධූරය පිරිනැමුවා. අනතුරුව රාජකීය පණ්ඩිත බළන්ගොඩ සිරිසද්ධම්මවංශ මහානායක ස්වාමීන් වහන්සේගේ කාල වකවානුවේදී නිකායේ කාරක සංඝ සභාවට පත්කළා. විශාල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් පැවිදි භූමියට පත්කරමින් උන්වහන්සේලාට එම විහාරස්ථානවල ශාසනික කාර්යභාරය පවරා දීමෙන් අනතුරුව මාලඹේ අශෝකාරම විහාරස්ථානය ඉදිකළා. මේ කාලයේදී නිකායේ කටයුතු සඳහා වැඩි සම්බන්ධකමක් පැවැත්වීමට සිදුවීමත් සමඟ අමරපුර සද්ධම්මවංශ මහා නිකායේ වර්තමාන මහානායක අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුග්‍රහයෙන් නිකායේ මහලේකම් ධූරයට පත්කළා . වසර ගණනාවක් නිකායේ කටයුතු දැඩි කැපකිරීමකින් සිදුකිරීම නිසා එම කාලපරිච්ජේදය තුළම මහානායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු කාරක සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් නිකායේ අනුනායක ධූරය පිරිනැමුවා.

ඒ වගේම ශාස්තී‍්‍රය වශයෙන් තථාගත දේශනා, පුනරුප්පත්ති හා වෙනත් ලිපි, කෝට්ටේ සංස්කෘතික උරුමය, ගෘහස්ත සීලය , කඨිනානිසංස ධර්ම දේශනාව, අටලෝ දහම, මිත්‍රත්වය හා මෛත්‍රියේ ආනිසංස, පොසොන් සුවඳ, බෝධිපාක්ෂික ධර්ම දේශනා, ඉසිපතන පුදබිම හා චෛත්‍ය ඉතිහාසය සහ තෝරාගත් සූත්‍ර අනුසාරයෙන් රචනා කළ ග්‍රන්ථ ආදී වශයෙන් ග්‍රන්ථ රාශියක් රචනා කොට තිබෙනවා. තායිලන්තය, ඉන්දියාව, බුරුමය, සිංගප්පූරුව, මැලේසියාව, සුමාත්‍රා , එංගලන්තය ආදී රටවල ධර්මදූත සේවය සඳහා සහභාගිවී ඇති බවත් සිහිපත් කළ යුතුයි.

ඒ වගේම මාලඹේ සුසිතපුර අශෝකාරාමය, මොරටුමුල්ල සද්ධර්මරාජ මහා විහාරය, මහායාල ශී‍්‍ර පුෂ්පාරාමය, පැල්පොල ඉසිපතනාරාමය, රාජගිරිය උභයසේකරපුර අභිනවාරාමය හා උභයසේකරපුර ධර්මදූත ආශ්‍රමය යන විහාරස්ථාන මගේ පාලනය යටතේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ජාතික, ආගමික, ශාසනික කටයුතු සිදුකරමින් වැඩසිටිනවා. සිසුන් 250 ක් දහම් අධ්‍යාපනය ලබන සුසීත දහම් පාසල, සිරිවජිරවංශ දහම් පාසල, අරියවංශ දහම් පාසල, ධර්මදූත විද්‍යාකීර්ති දහම් පාසල ආදී දහම් පාසල් ආරම්භ කිරීමටත් කටයුතු කර තිබෙනවා.

පුංචි හාමුදුරුවන් වහන්සේ නමක් වශයෙන් ශාසනික දායාදය ලබා නිකායේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වශයෙන් වැඩ සිටින ඔබ වහන්සේ නූතනයේ හැදෙන වැඩෙන ස්වාමීන් වහන්සේලාට ලබාදෙන අවවාද අනුශාසනා මොනවගේ ද? නායක හාමුදුරුවනේ.

දේශපාලන කි‍්‍රයාවලියට අපේ කිසිදු සම්බන්ධතාවයක් නැති බව සිහිපත් කළ යුතුයි. උපසම්පදාකරන අවස්ථාවේදී උපසම්පදාපේක්ෂක සාමණේර භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම එකම ස්ථානයකට වැඩමවා දින 2 ක පුහුණුවක් ලබාදෙමින් උන්වහන්සේලාට උපසම්පදාව පිළිබඳව අවශ්‍ය සියලු උපදෙස් ලබා දෙනවා. ඒ සඳහා සුදුසුකම් ලැබූ සියලුම ස්වාමීන් වහන්සේලා පරීක්ෂණයකට සහභාගිකරවමින් එයින් සමත්වුණ පිරිස පමණක් උපසම්පදා විනයකර්මය සඳහා වැඩමවනවා. සියලු විනයකර්ම හා වත්පිළිවෙත් පිළිබඳව භික්ෂුන් වහන්සේලාට පහදා දෙනවා. පිරිවෙන් අධ්‍යාපනයේ දී ප්‍රාචීන, ප්‍රාරම්භ, විභාග සඳහා යොමුකරමින් සමත් වූ පසුව විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා අවස්ථාව සලසාදී තිබෙනවා. අපේ පුංචි කාලයට වඩා වර්තමාන සමාජයේ හැදෙන වැඩෙන දරුවන් තුළ ඒ තරම්ම ශ්‍රද්ධාව, ගෞරවය අඩු බවක් පේනවා. එනිසා උන්වහන්සේලා හොඳීන් හදාගැනීමට හුඟාක් උත්සාහ ගන්නවා.