Print this Article


අප වෙනුවෙන් ඩුබායිහි පැවැත්වූ වෙසක් සතිය

අප වෙනුවෙන් ඩුබායිහි පැවැත්වූ වෙසක් සතිය

ලක්වාසීන්ට මෙවර ද වෙසක් උත්සවය සැමරීමට වාසනාවක් ලැබුණේ නැත. ඒ පසුගිය වසරේ මෙන්ම මේ වසරේ ද වෙසක් උලෙළ කොවිඩ් 19 වසංගතය විසින් ගිල ගනු ලැබීම නිසා ය. එම නිසා නිවසේ සිට වෙසක් සැමරීමට අපට සිදු විය.

එසේ වුවත් ශ්‍රී ලංකාවාසීන් ඇතුළු සමස්ත ලෝකවාසීන්ටම ආශීර්වාද සහ සෙත් සුව ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් ඩුබායි සහ උතුරු එමීරයන්හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් නලින්ද විජේරත්න මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ඩුබායි ලංකාරාමය සහ එක්සත් අරාබි එමීර්රාජ්‍යයේ සියලුම ශ්‍රී ලාංකික සංවිධාන එක්ව සංවිධානය කළ “ඩුබායි වෙසක් සතිය 2021 “ මහත් ආගමික ශ්‍රද්ධාවකින් යුතුව පවත්වන ලදී. ඒ මැයි මස 24 සිට 29 දින දක්වා ඩුබායි කොන්සල් ජෙනරාල් කාර්යාල පරිශ්‍රයේ දී ය.

ශ්‍රී ලංකාව තුළ වෙසක් සති පැවැත්වෙන ආකාරයෙන්ම මේ වෙසක් සතිය පැවැත්වූ අතර වෙසක් සතිය තුළ බොදු ගී, බෞද්ධ වෙසක් නාට්‍ය ඉදිරිපත් කිරීමට ද කොන්සල් ජෙනරාල් කාර්ය මණ්ඩලය සහ ඩුබායි සහ උතුරු එමීරයන්හි ශ්‍රී ලාංකික සංවිධාන විසින් කටයුතු කර තිබුණි.

විශේෂයෙන්ම බොදු ගී සරණිය පවත්වන ලද්දේ මෙරට බොදු ගී පවත්වන අයුරින්ම වන අතර බෞද්ධ තේමා කිහිපයක් ඔස්සේ රඟ දැක්වූ නාට්‍යයද සියලු දෙනාගේ සිත් ඇද ගන්නට සමත් විය.

බෞද්ධයන්ගේ කරුණාව, දයාව, මෛත්‍රිය ඔප් නැංවෙන අයුරින් මේ සියලු කටයුතු සිදු කර තිබුණි.

වෙසක් සතියේ ප්‍රධානම අංගයක් ලෙස වෙසක් පුන් පොහෝ දින “සත් බුදු වන්දනා” පූජාවක් ඩුබායි ලංකාරාම වාසී නාමල්ගමුවේ විජයසීල ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි.

එමෙන්ම විශාල පිරිසක් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සීල භාවනා සමාදාන වැඩසටහනකට ද ඉදිරිපත් විය.

මෙම වෙසක් සතිය වැඩ සටහනට සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා සුබ සාධක සංගමය (සහන) සහ කොන්සල් ජෙනරාල් කාර්යාලය එක්ව සංවිධානය කළ ලේ දන්දීමේ වැඩ සටහන ද සතිය පුරාම ඩුබායි ලතීෆා රෝහලේදී පැවැත්වුණි. එමෙන්ම ශ්‍රී ලාංකික බෞද්ධ අනන්‍යතාව සිහි ගන්වමින් දන්සලක් මඟින් දිවා ආහාර ලබාදීමක් ද සිදු කරන ලදී. කොවිඩ් වසංගතය නිසා පූර්ණ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මේ කටයුතු සියල්ල සිදු කෙරුණි.

පැහැදිලිව ම පෙන්වා දෙන්නේ නම් මෙරට ජනතාව වෙනුවෙන් මැද පෙරදිග බෞද්ධ උරුමයක් සොයා ගැනීම පවා උගහට සමාජයක සිදු කරන ලද මේ සත්කාර්යය අප බෙහෙවින් අගය කළ යුතු ය.

වෙසක් සැරසිලි වලින් අලංකරණය කර තිබූ මේ වෙසක් සතියේ බෞද්ධ කොඩි මෙන්ම වෙසක් පහන් කූඩු පෙන්නුම් කෙළේ මෙරට බෞද්ධ උරුමයේ උද්දීපනයයි.

වෙසක් සතිය තුළ සිදු කළ මේ සියලුම වැඩ සටහන් කොන්සල් ජෙනරාල් කාර්යාලයේ නිල සමාජ මාධ්‍ය හරහා විකාශය කිරීම ද සිදු කෙරිණි.