Print this Article


සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය ඉතා ඉහළ තැනකට ගෙන ආවා

සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය ඉතා ඉහළ තැනකට ගෙන ආවා

උදාර පැවිදි දිවියක පියසටහන් ඔස්සේ මෙවර සාකච්ජා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ නිට්ටඹුව දඹදෙණිය සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යා පීඨාධිපති කෝරළතුන හා පහළ බුලත්ගම දෙපළාතේ ප්‍රධාන සංඝනායක හෝකන්දර බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොටගම වාචිස්සර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය වැනි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පුහුණු කොට රටට දායාද කරන ආයතනයක බහුශ්‍රැත ව්‍යක්ත ප්‍රතිබලසම්පන්න පීඨාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් ලෙස ජාතික, අධ්‍යාපනික, ශාසනික වශ‍යෙන් පුළුල් සේවාවක් සිදුකරන බව ප්‍රකටයි. ඔබ වහන්සේගේ ඒ සමාජ කි‍්‍රයාවලිය සාර්ථක ව සිදුකිරීමට ගුරු හාමුදුරුවන් වහන්සේලාගෙන් ලැබුණු ආභාසය මොනවගේ ද ? අපේ හාමුදුරුවනේ.

රත්නායක මුදියන්සේලාගේ ලොකු බණ්ඩාර නිලමේ උපාසකතුමා සහ දසනායක මුදියන්සේලාගේ සෝමාවතී මැණිකේ මහෝපාසිකා මාතාව යන දෙපළ සදාදරණීය මව්පියන් කොට 1960 වර්ෂයේ සැප්තැම්බර් 17 වෙනි දින කෑගල්ල දිස්ති‍්‍රක්කයේ බොහොම සුන්දර ගමක් වන රඹුක්කන කොටගම ග්‍රාමයේ ජන්ම ලාභය ලැබුවා. ඒ වගේම සහෝදර සහෝදරියන් දොළොස් දෙනකු සිටි බවත් සිහිපත් කළ යුතුයි. රඹුක්කන මුවපිටිය මහා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපන කටයුතු සිදු කළා.

එවකට විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු වූ කොටගම වාචිස්සර නායක හිමිපාණන් වහන්සේ මගේ පියාගේ බාල සහෝදරයකු වශයෙන් ඥාති සම්බන්ධතාවයක් තිබුණා. උන්වහන්සේගේ පැවිදි ජීවිතයේ උත්තරීතරත්වය දැකීමත්, ඒ පැවිදි රුව කෙරෙහි මගේ සිත ඇලුම් කිරීමත් නිසා පැවිදිවීමට මගේ සිතේ තිබුණ ආසාව තවත් වැඩි වුණා. උන්වහන්සේ වැඩසිටි කාලයේ පැවිදිවීමට නොහැකි වුණත්, 1973 වර්ෂයේ ඔක්තෝබර් 01 වෙනිදා පොල්ගහවෙල දෙනගමුව බෝධිගුප්ත පිරිවෙන් පරිවේණාධිපති ව වැඩ සිටි පාරඹේ රේවත නායක හාමුදුරුවන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන්, අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත අලවතුරේ ධම්මකිත්ති නායක හාමුදුරුවන් වහන්සේගේ හා එවකට රත්මලාන පිරිවෙන් ගුරු විද්‍යාලයේ විදුහල්පති ව වැඩ සිටි යටියන්තොට නන්දාරාමාධිති බොස්සැල්ලේ ධම්මාවාස නායක හාමුදුරුවන් වහන්සේ යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් උත්තරීතර ප්‍රව්‍රජ්‍යාභාවයට පත් වුණා .

පොල්ගහවෙල දෙනගමුව බෝධිගුප්ත පිරිවෙනේ එවකට වැඩසිටි නායක හාමුදුරුවන් වහන්සේ යටතේ මූලික පිරිවෙන් අධ්‍යාපනයත්, එවකට පරිවේණාධිපති ව වැඩ සිටි ආචාර්ය මැදගොඩ සුමනතිස්ස නායක හාමුදුරුවන් වහන්සේ යටතේ පැපිළියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙනින් උසස් අධ්‍යාපනයත් ලබා ගත්තා.

1981 වර්ෂයේ දී උසස් පෙළ කලා අංශයෙන් කොළඹ දිස්ති‍්‍රක්කය තුළ ප්‍රථමස්ථානය ලබාගෙන 1982 වර්ෂයේ දී ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. එම කාලයේ දී ම විසි වයස් සම්පූර්ණවීමත් සමඟ මල්වතු මහා විහාරයේ දී ගුරු හාමුදුරුවන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් වාහලනාග ගෞරව නාමයෙන් යුක්තව උතුම් වූ අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබා ගැනීමට පුණ්‍යවන්ත වුණා. 1986 වර්ෂයේ දී දෙවන පෙළ ඉහළ සමාර්ථයක් සහිතව විශේෂවේදී උපාධිය ලබාගැනීමත් සමඟ කැස්බෑව ශී‍්‍ර නන්දන පිරිවෙන ආරම්භ කරමින් ප්‍රථම ගුරු පත්වීම ලබා ගත්තා. 1987 වර්ෂයේ මුල් භාගයේදී නුගේගොඩ සුභද්‍රාරාම පිරිවනේ ගුරුවරයකු වශයෙන්, 1988 වර්ෂය වන විට යටියන්තොට සිරිවර්ධන මහා විද්‍යාලයේ රජයේ පාසල් ගුරුවරයකු වශයෙන් සේවය කරමින් සිට වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා කොළඹට වැඩම කළා. එම වකවානුවේ දී කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය හැදෑරුවා.

පසුව කොළඹ ඉසිපතන විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවය කළත් ඉන් සමුගෙන 1989 වර්ෂය වන විට නිට්ටඹුව සාරිපුත්ත අධ්‍යාපන විද්‍යාපීඨයට සහකාර කථිකාචාර්යවරයකු වශයෙන් පත්වීම් ලබා ගත්තා.1991 වර්ෂයේ දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ලබා ගැනීමට කටයුතු කළා. අනතුරුව ක්‍රමයෙන්, කථිකාචාර්යවරයකු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කළ කාලවකවානුවේ දී උසස් අධ්‍යාපන කටයුතු සඳහා 1995 වර්ෂයේ දී ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයට වැඩම කරනු ලැබුවත් දෙමළ ත්‍රස්තවාදී කලබල පැවැති කාල පරිච්ජේදයක් නිසාම අඛණ්ඩව අධ්‍යයන කටයුතු කරගෙන යාමට අපහසු වුණා. එම නිසා වසරක කාලයක් ප්‍රංශ භාෂාව පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීමට පමණක් කටයුතු කළා. නැවතත් විද්‍යාපීඨයේ උප පීඨාධිපති, පීඨාධිපති වශයෙන් දීර්ඝ කාලයක් සේවය කරමින් , දඹදෙණිය අධ්‍යාපන විද්‍යාපීඨයත් නිට්ටඹුව සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයත් යන පීඨ දෙකේම පීඨාධිපති වශයෙන් වසර 10 ක් සේවය කළා වගේම සම්පූර්ණ වශයෙන් වසර 34 ක කාලයක් සේවය කරමින් 2020 වර්ෂයේ විශ්‍රාම ලබා ගත්තා. ඒ වගේම පිරිවෙන් ගුරුවරයකු වශයෙන් කටයුතු කළ අවධියේ සිටම විභාග උප පරීක්ෂක, ප්‍රධාන පරික්ෂක, පාලක පරීක්ෂක වශයෙන් වසර ගණනාවක් කටයුතු කළ බවත් සිහිපත් කළ යුතුයි.

ඔබ වහන්සේගේ ධර්ම ශාස්තී‍්‍රය සේවය වගේම විදේශීය ධර්මදුත කටයුතු සිදු වූ ආකාරයත් සිහිපත් කරනවා නම්,

බුදු දහම හා බෞද්ධ දර්ශනයට අනුකූල වන පරිදි ජාතික පුවත්පත් වගේම බෞද්ධ පුවත්පත් සඟරා ආදියට දීර්ඝ කාලීනව විශාල වශයෙන් ශාස්තී‍්‍රය ලිපි සම්පාදනය කළා. ස්වාමීන් වහන්සේලාගේ අභිනන්දන ශාස්තී‍්‍රය සංග්‍රහයන් වගේම සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ශාස්තී‍්‍රය සංග්‍රහය ආදී වශයෙන් ශාස්තී‍්‍රය ලේඛන විශාල ප්‍රමාණයක් සංස්කරණය කළා. ධර්ම ශාස්තී‍්‍රය, අධ්‍යාපනික, ආගමික, ශාසනික සේවය වෙනුවෙන් මල්වතු මහා විහාරයේ මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සංඝ සභාව විසින් කෝරළ තුන හා පහළ බුලත්ගම දෙපළාතේ ප්‍රධාන සංඝනායක ධූරය පිරිනැමීමට කටයුතු කළා..

මගේ ගුරු හාමුදුරුවන් වහන්සේ නමක් වුණ පැරිස් බෞද්ධ විහාරාධිපති කොන්ගස්දෙණියේ ආනන්ද නායක හාමුදුරුවන් වහන්සේගේ ආශිර්වාදය යටතේ ප්‍රංශයේ ධර්ම ප්‍රචාරක කටයුතු සිදුකළා. ඒ වගේම අමෙරිකාව, නවසීලන්තය, සියලුම යුරෝපා රටවල ධර්මදූත සේවය සිදු කළා වගේම සෑම වසරකම ප්‍රංශයේ ධර්ම දූත සේවය සඳහා වැඩම කරනු ලබනවා.

විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳ පුළුල් අත්දැකීම් සම්භාරයක් ලබා ඇති ඔබ වහන්සේගේ එම අත්දැකීම් අනුව ඉදිරි ශාසනික අභිවෘද්ධිය පිළිබඳ දරන මතය සඳහන් කරමින් සාකච්ජාව අවසන් කරමු හාමුදුරුවනේ.

තරුණ භික්ෂුන් වහන්සේලාගේ භික්ෂු ආකල්පත්, ගුරුවරයකු වශයෙන් තිබිය යුතු ආකල්ප සමුදායත් ,ගුරු භූමිකාවට අයත් කුසලතා ආදියත් සංවර්ධනය කරමින් වසර 34 ක කාලයක් සාරිපුත්ත ජාතික අධ්‍යාපන පීඨයේ ගුරුවරයකු වශයෙන් ලබාදුන් දායකත්වයට අනුව ඉතා පුළුල් අත්දැකීම් සම්භාරයක් ලබා තිබෙනවා. විවිධ ප්‍රදේශ, විවිධ විහාරස්ථාන, විවිධ පිරිවෙන් තුළින් අධ්‍යාපනය ලබාගත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් තමයි ආයතනයට ඇතුළත් වෙන්නේ.

තරුණ භික්ෂූන් වහන්සේලාගේ සිත් අවබෝධ කරගෙන , ගැටලු තේරුම් ගෙන ඒවාට විසඳුම් ලබා දෙමින් උන්වහන්සේලාට කාරුණිකව ආමන්ත්‍රණය කරමින් කටයුතු කිරීම බොහොම සංකීර්ණ කාර්යයක්. උන් වහන්සේලා අවබෝධකොට ගෙන කිසිදු ගැටුමක් ඇතිනොවන ආකාරයෙන් කටයුතු කිරීමට හැකි වුණා. ඒ පිළිබඳව ඉතා උසස් ලෙස දායකත්වය ලබාදුන් ගිහි පැවිදි කථිකාචාර්ය මණ්ඩලයක් සේවය කිරීමත් ඉතා පහසුවක් වුණා.

එම වාතාවරණයත් සමඟ සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය ඉතා ඉහළ ස්ථානයකට රැගෙන ඒමට හැකි වුණ බව අධ්‍යාපන අමාත්‍යාංශය වගේම සමස්ත සමාජයම දන්නා කරුණක්.

අප අධ්‍යාපනය ලබාගත් අවධිය බොහොම දූෂ්කර කාලයක් බවත් සිහිපත් කළ යුතුයි. පොතපත , පෑන් පැන්සල් සොයා ගැනීමත් අපහසුයි. වර්තමානයේ මෙන් පහසුකම් නොමැති වුවත්, ඉතා හොඳීන් වෙහෙස මහන්සිවෙලා අධ්‍යාපනය ලැබුවා. මව්පියන්ගෙන් ලබා තිබුණු ආභාසයට, ශික්ෂණයට අනුව උත්සාහවත්ව ගුරු හාමුදුරුවන් වහන්සේලාගෙන් ලබාගත හැකි සියලු දැනුම් සම්භාරයන් ලබාගෙන ගුරු ගෞරවයෙන් යුක්තව ඉතාම දුෂ්කර කාලයක දී වුවත් උනන්දුවෙන්, කැපවීමෙන්, සාර්ථකව අධ්‍යාපන කටයුතු සිදු කළා. අපේ තරුණ ස්වාමීන් වහන්සේලා ආදර්ශවත්ව වගකීමෙන් යුතුව පැහැදුන අයගේ පැහැදීම වැඩිවීමටත්, අපැහැදුන අයගේ පැහැදීම ඇතිවන ආකාරයටත් කටයුතු කළ යුතුයි.