Print this Article


අසිරිමත් ශාස්තෘන් වහන්සේ

අසිරිමත් ශාස්තෘන් වහන්සේ

මෙම ලිපියේ මුල් කොටස වෙසක් පුන් පෝදා (26) පත්‍රයේ පළ විය

වක්කලී හාමුදුරුවන් බුදුරජාණන් වහන්සේගේ රූප සම්පත්තියට වසඟ වී මහණදම් නො පුරා සිටින විට බුදුරජාණන් වහන්සේ වක්කලී හාමුදුරුවන්ට තෙවරක් අවවාද කරලත් කීකරු නො වූ විට අපෙහි “වක්කලී ” යනුවෙන් බුදුරදුන් කී විට වක්කලී හාමුදුරුවෝ,

බුදුරදුන් නො දැක ජිවත් වෙනවාට වඩා සිය දිවි නසා ගන්න එක හොඳයි කියා හිතලා ගිජ්ඣකූට පර්වතයට නැඟ පනින්ට සුදානම් වූ විට බුදුරජාණන් වහන්සේ වක්කලී හාමුදුරුවන් ගැන කල්පනාකාරි ව සිට එතැනට වැඩ දහම් දෙසා වක්කලී හාමුදුරුවන් නිවැරැදි මඟට ගත්තේ කෙතරම් මානුෂික දයාවකින් ද? දරුවන්, ගෝලයන් හදන අයට කෙතරම් නම් ප්‍රබල ආදර්ශයක් දෙමින් ද? මෙවැනි තත්වයන් මිනිසත් බව ඉක්ම වූ චර්යාවන් නො වන්නේ ද?

බුදුරජාණන් වහන්සේගේ ශරීර වර්ණනාව ගැන බැලුවොත් එය ද මිනිසත් බව ඉක්ම වූ තත්වයක් නො වන්නේ ද? දවසක් දා විශාලා මහනුවර මහ වනයේ ගසක් මුල වැඩ සිටි බුදුරජාණන් වහන්සේ අසලින් අවි ආයුධ රැගෙන ලිච්ඡවි රාජ කුමාරවරුන් සුනඛ රැලක් දක්කාගෙන දඩයමේ යමින් සිටියා.

බුදුරජාණන් වහන්සේ ගැනවත්, බුදුගුණ ගැනවත්, බුදු බණ ගැනවත් දැනීමක්, හැඟීමක් නැතිව ගමන් ගත් මේ තරුණ පිරිස බුදුරජාණන් වහන්සේගේ රුව ඔවුන්ගේ ඇහැට ටැටුණ විගස ම අතේ තිබුණ දුනු ඊ තල බිම හෙළා සුනඛ රැලත් යන අතක යන්ට හැරලා බුදුරදුන් වට කර ගෙන තබ්බිරිවෙලා වගේ බුදුරුව දෙස ඇසිපිය නො හෙළමින් එක දිගට බලා සිටින්නට පටන් ගත්තා.

මේ අවස්ථාවේ මේ අසලින් යමින් සිටි මහානාම ලිච්ඡවී රජතුමා මේ චණ්ඩ තරුණ තක්කඩි කොලු රැල දක්වන මේ සංවර බව දැක පුදුමයට පත් වුණා. මේ බුදුරුවේ අසිරිමත් බව පිළිබඳ අසිරිමත් ස්වභාවය යි. මෙය මනුෂ්‍යත්වය ඉක්මවා ඇති තත්වයක් නො වන්නේ ද? වක්කලී හාමුදුරුවෝ බුදුරුවට වශී වුණෙත් මේ ශරීරයේ අසිරිමත් බව නිස යි. සාමාන්‍ය මිනිසකුගේ ශරීරයක නො මැති දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නිසා ම උන්වහන්සේගේ ශරීරය අසිරිමත් බවකින් යුක්ත වුණා.

මහාගෝවින්ද සූත්‍රයේ දී ශක්‍ර දේවෙන්ද්‍රයා විසින් තව්තිසා දෙව් ලොව දෙවියන් අමතා පෙන්වා දෙනු ලබන යථාභුච්ච වර්ණනාව තුළින් බුදු රජාණන් වහන්සේ මිනිසත් බව ඉක්මවා ගිය ගුණයන්ගෙන් සමන්විත වූ ආකාරය පෙන්වා දෙන්නට පුළුවන්.

එහි දී පළමුවැන්න වූයේ බුදුරජාණන් වහන්සේ තරම් වෙනත් කිසිදු ශාස්තෘවරයෙක් බොහෝ දෙවි මිනිසුන්ගේ යහපත හිත සුව වෙනුවෙන් ජීවිතය වෙන් කළ මේ මිහි පිට පහළ වී නොමැති බව.

දෙවැන්න වූයේ උන්වහන්සේ යම් දහමක් ලොවට පැහැදිලි කළා නම් එය අදත් හෙටත් ගත වූ අතීතයෙත් වෙනස් නො වූ අකාලික සන්දිට්ඨික වු බව නැතිනම් මෙලොව දිම ප්‍රතිඵල පෙන්වා ඇති බව. තෙවැන්න වූයේ බුදුරජාණන් වහන්සේ තරම් හොඳ නරක, කුසල් අකුසල්, කළයුතු නො කළ යුතු දේ, පෙන්නුම් කළ වෙනත් කිසිදු ශාස්තෘවරයකු නො වූ බව. උන්වහන්සේ පෙන්වා දුන් පරම විමුක්තිය නිවනත් ඊට යා හැකි මාර්ගයත් පැහැදිලි ව පෙන්වා දුන්නා. එහි කිසිදු පරස්පර බවක් නැති බව බුදුරජාණන් වහන්සේට ලැබුණු ලාභ කිර්ති ප්‍රහංසා පිළිබඳ මැනීමක් ප්‍රමාණ කිරීමක් කිරීමට කිසිවෙකුට අද දක්වා ත් පිළිවන් වී නැත යන්න පස්වෙනි ගුණය ලෙස යි ශක්‍ර දේවෙන්ද්‍රයා පෙන්වා දුන්නේ.

හය වෙනි ගුණය ලෙස ශක්‍ර දේවෙන්ද්‍රයා ප්‍රකාශ කළේ බුදුරජාණන් වහන්සේගේ නයකත්වය පිළිගෙන උන්වහන්සේ පසුපස ගමන් කළේ ශ්‍රේෂ්ඨ වූ ආර්ය පිරිසක්. එය වෙනත් කිසිදු ශාස්තෘවරයකුට නො වු උත්තරීතර පිරිසක් ම වුණා. හත්වැනිගුණය ලෙස ශක්‍ර දේවෙන්ද්‍රයා පෙන්වා දුන්නේ උන්වහන්සේගේ යථාවාදි තථාකාරි ගුණය යි. කියන දේ කරන දේ පැහැදිලි ව කියන ශ්‍රේෂඨ නායක ගුණය යි එයින් ප්‍රකාශ කරලා තිබෙන්නේ.

අටවැනි ගුණය ලෙස ප්‍රකාශ වුණේ බුදුරජාණන් වහන්සේ ලොව පවත්නා සියලු ම දේ පිළිබඳ කිසිදු සැකයක් නො මැතිව යමක් ප්‍රකාශ කරන ලෝකයේ සිටි ශ්‍රේෂ්ඨ ම ශාස්තෘවරයා විම.

මේ චරියා, ශරීර හා ගුණ වර්ණනා තුළින් ද බුදුරජාණන් වහන්සේ පිළිබඳ ව මුලින් කිය වුණු අතිශය සීමිත කරුණු කිපයෙන් පවා ද ප්‍රකාශ වන්නේ උන්වහන්සේ මේ මිහිපිට මනුෂ්‍යත්වය ඉක්මවා වැඩවිසූ අසිරිමත් උත්තරීතර ශාස්තෘන් වහන්සේ බව නො වන්නේ ද?