Print this Article


මාර සංග්‍රාමය ජයගත් ශ්‍රේෂ්ඨ වීරයාණෝ

මාර සංග්‍රාමය ජයගත් ශ්‍රේෂ්ඨ වීරයාණෝ

බෝසතාණන් වහන්සේ ගිහි කාලයේ දී සියලු සැප සම්පත්වලින් අනූනව කල් ගෙවූහ. රම්‍ය, සුරම්‍ය, සුභ වැනි මාළිගා අතර ඉඳ සියලුම කම් සැප විඳිමින් සිටි උන්වහන්සේ සතර පෙර නිමිති දැකීමත් සමඟ ම ගිහි ජීවිතය අත්හැර පැවිදි ජීවිතයට පත් වීමට සිතූහ.

එසේ සිතා සියල්ල අතහැර අභිණිෂ්ක්‍රමණය සිදුවූ දිනයේදී ම තව දින 7කින් සක්විති රාජ සම්පත්තිය ලැබෙන බවත්, ඒ සඳහා වැඩ ඉන්නා ලෙසත් ආරාධනාවක් ලැබිණ. එය කෙළ පිඩක් සේ ප්‍රතික්‍ෂේප කොට සිදුහත් බෝසතාණෝ එම ගමනට පිටත් වූහ. බුදු බව පතා යෑමට ආරම්භ කිරීමේ දී ම එය වැළැක්වීමට බාධක ආව ද එය පසෙක ලා සිදුහත් තවුසාණෝ ඉදිරියට ම ගියහ.

එසේ අභිණිෂ්ක්‍රමණය කොට දුෂ්කරක්‍රියා කරන බෝසතාණන් වහන්සේ වෙත දිනක් මාරයා පෙනී සිට

“ඔබ දැන් ඉතා කෙට්ටු යි. අවලස්සන යි. මරණය ඔබ ළඟම යි. ජීවත් වීමට බලන්න. ජීවත් වුවොත් පින්කර ගත හැකියි. මෙබඳු දුෂ්කරක්‍රියා කිරීමෙන් පලක් තිබේද?” ආදී වශයෙන් බෝසතාණන් වහන්සේගේ උත්සාහය නැවැත්වීමට පෙළඹවීමක් කළේ ය. එවිට බෝසතාණන් වහන්සේ

“පව්කාර මාරය, මම නුඹ හඳුනමි. නුඹ මෙහි ආවේ කුමකට දැයි මම දනිමි. නුඹ ඔය කියන පින්වලින් මට පලක් නැත. නුඹේ මාර සේනාවන් මම හඳුනමි. බියගුල්ලකුට නම් ඔබේ මාර සේනාවට පැරදවිය නොහැකි ය. නොපසුබස්නා සූර පුරුෂයකුට පැරදවිය හැකිය. ජීවිතය කෙරෙහි මගේ ආශාවක් නැත යැයි සිදුහත් බෝසතාණෝ පැවසූහ. එවිට මාරයා නොපෙනී ගියේ ය.

මේ ආදී වශයෙන් අභිනිෂ්ක්‍රමණයේ සිට බුදු බව ලබා ගන්නා අතර කාලය තුළ උන්වහන්සේට, මාරයාට හා මාර සේනාවන්ට නොයෙක් වර මුහුණ දෙන්නට සිදු විය. ඔවුන් සිදුහත් බෝසතාණන්ගේ බුදුවීම වැළැක්වීමට නොයෙක් උපක්‍රම සිදු කළහ. පස් වන සතියේ දී ම බුදුරජාණන් වහන්සේගේ සිත සසල කිරීමට සිතූ මාරයා වරෙක මහා ඇතකු ලෙස ද, තවත් අවස්ථාවක අවතාර සේ වූ ස්වරූපයක් ද මවා ගෙන පැමිණ ඇත. එහෙත් ඒ මාරයා යැයි බුදුරජාණන් වහන්සේ විසින් හඳුනා ගනු ලැබූ විට ඔහු දොම්නසට පත්විය.

අනතුරුව තණ්හා, රතී, රඟා යන මාර දූවරු තිදෙනා ද පැමිණ උන්වහන්සේ රාගයෙන් පොළඹවා ආපස්සට හැරවීමට රැඟුම් දැක්වූහ. ඔවුන්ගේ රූප විලාසය දකින පුහුදුන් පුද්ගලයෝ උන්මාදයට පත්වෙති. මිහිරි වූ බොළඳ රසමුසු වදන් තෙපළමින් රඟන්නට වුවද බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ ලීලා විලාසය ජරපත් වැඳීරියන්ගේ රැඟුමක් සේ සිතා සමාධි ගත සිතින් වැඩහුන් සේක. මාර දූවරු පැරද පළා ගියහ.

මේ ආකාරයෙන් බුද්ධ චරිතය දෙස විමසිලිමත් ව බැලීමෙන් පැහැදිලි වන්නේ දුෂ්කර ක්‍රියාවේ පටන් බුදුබව දක්වාත්, ඊට අනතුරුවත් මාර සේනාවන්ගේ බාධක අභියෝග හා වැළැක්වීම්වලට ලක් වූ බවයි. නමුදු බුදුරජාණන් වහන්සේගේ චරිතය තුළ කිසිදු තැනෙක මාරයාට හෝ මාර සේනාවකට යටත් වීමක් හෝ ඔවුනට බියේ යන ගමන නැවැත්වීමක් සිදුකර නැත. තවත් තැනක දසමාර සේනාවක් ගැන ද සඳහන් වේ. එනම්, කාමය, රතිය, සාපිපාසාව, ථීන මිද්ධය, බිය, ගුණමකු බව, සැකය, තෘෂ්ණාව, සත්කාරය, ලාභය, ප්‍රශංසාව මගින් ලැබූ යසස, අනුන් හෙළා දැකීම සහ තමන් හුවාදැක්වීම ය.

මේ සියලුම මාර සේනාවන් ජය ගැනීමට අප තථාගත බුදුරජාණන් වහන්සේට ශක්තිය ලැබීම ගැන ශ්‍රාවකයින් වශයෙන් අප කවුරුත් සතුටු විය යුතු ය. එය සාමාන්‍ය කෙනකුගේ ජීවිතයට ද සම්බන්ධ කරගැනීමෙන් අභියෝග ජය ගැනීමට පුළුවන්කමක් ඇත. ඒ ගැන කිසිදු සැකයක් නැත. බුදුරජාණන් වහන්සේට මුහුණ දීමට සිදු වූ අභියෝගවලින් සියයට එකක්වත් අපට මුහුණ දීමට නොමැති වන්නට පුළුවන. එයට හේතුව උන්වහන්සේ ඒ ගමන ගියේ මුළු මහත් සත්වයා වෙනුවෙන් ම වීමය. උන් වහන්සේ මුළු මහත් සත්වයා වෙනුවෙන් ම අපමණ දුක් විඳීමින් බුද්ධත්වය ලබා ගැනීම සිදුකළ ද එය මාර සේනාවන්ගේ දහසක් අභියෝග මතින් කළ වීර්ය ක්‍රියාවකි. එය හොඳීන් ම පැහැදිලි වන තැනක් ලෙස බුද්ධත්වය ලබාගෙන එය සාමාන්‍ය ජනතාවට දේශනා කිරීමට යෑමේ දී බුදුරජාණන් වහන්සේ තුළ ඇති වූ සිතුවිල්ල දැක සහම්පති බ්‍රහ්ම තෙමේ කළ ප්‍රකාශය හැඳින්වීමට පුළුවන. එනම්,

“මාර සංග්‍රාමයෙන් ජයගත් මහෝත්තමයන් වහන්ස, ලෝසතුන් කෙරෙහි අනුකම්පාවෙන් අමා දහම දේශනා කරන සේක්වා. නැඟී සිටිනු මැනවි. ධර්මය දැන ගන්නෝ බොහෝ වෙති.” ආදී වශයෙනි.

එම සහම්පති බ්‍රහ්මයාගේ ප්‍රකාශය තුළින් ම බුදුරජාණන් වහන්සේ මාර සංග්‍රාමයෙන් ජය ගත් බව පැහැදිලි වේ. මාර යුද්ධයක් ජය ගැනීම බුදුරජාණන් වහන්සේ සිදු කළ ආකාරය විශ්මය ජනක ය. එසේ නම් බුදුරජාණන් වහන්සේගේ මාර සංග්‍රාමය ගැන සිහිකොට ත්‍රිපුණ්‍ය ක්‍රියා හා ආගමික චාරිත්‍ර සිදු කරන අතරම ජීවිතයකට එන ඕනෑම අභියෝගයක් ජය ගෙන තම ඉලක්කය කරා යෑමට ද බුද්ධ චරිතය තුළ ඇති “මාර සංග්‍රාමයෙන් ජය ගැනීමේ” උතුම් පණිවිඩය ආදර්ශයට ගැනීමට සිතට ගත යුතු ය.

ඒ තුළින් මොලොව ජය ගැනීම, පරලොව ජය ගැනීම හා නිවන ක්‍ෂාත් ක්‍ෂාත් කරගනීමට ද අධිෂ්ඨාන කර ගත යුතු ය.