Print this Article


අනුබුදු මිහිඳු මාහිමියන් වැඩ විසූ මිහිඳු ගුහාව

අනුබුදු මිහිඳු මාහිමියන් වැඩ විසූ මිහිඳු ගුහාව

මහා වෘක්ෂ, මහා පර්වත, හිරු, සඳු වන්දනා කරමින් ජීවත්වූ ලාංකේයයන් උතුම් වූ බුද්ධ දර්ශනයේ පහසින් නැණවත් ගුණවත් විචාරශීලී මිනිසුන් පිරිසක් බවට පත්වීමේ ආරම්භය සිදුවන්නේ මහින්දාගමනයත් සමඟ බව අප සැවොම පිළිගන්නා කරුණකි.

ඒ අනුව සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේත්, ලාංකේය සංස්කෘතික ප්‍රවේණියේත් උල්පත ලෙස හඳුනා ගන්නේ මිහිඳු මාහිමියන් වැඩමකළා වූ මිහින්තලය යි.

තුන්වෙනි ධර්ම සංගායනාව අවසානයේදී එයට ප්‍රධානත්වය ලබාදුන් මොග්ගලී පුත්තතිස්ස තෙරුන් සහ අනුග්‍රහය ලබාදුන් ධර්මාශෝක රජු විදේශයන්හි බුද්ධ දර්ශනය ප්‍රචළිත කිරීමට අදිටන් කරගන්නා ලදි. ඒ අනුව ලක්දිවට මිහිඳු මාහිමියන් ප්‍රමුඛ ඉට්ඨිය, උත්ථිය, සම්බල, භද්දසාල, සුමන සාමණේරයන් සහ භණ්ඩුක උපාසක යන පිරිස පිටත්කර එවන ලදි.

එසේ මෙරටට වැඩම කළ පිරිස එකල මෙරට පාලකයා වූ දේවානම්පියතිස්ස රජුට මුණගැසෙන්නේ මිහින්තලාවේ දී ය. සොළොස්මස්ථාන අතරින් එකක් සේ සැලකෙන මිහින්තලය “අම්බස්තලය” එනම් අඹතලය යන නාමයෙන්ද හඳුන්වනු ලබන අතර තවද සෑගිරිය, චේතියගිරිය හා මිස්සක පව්ව යන නාමයන් ද භාවිත වේ.

අනුරාධපුර නගරයේ සිට කිලෝමීටර් 11ක් පමණ දුරින් එයට ඊශාන දිශාවෙන් මිහින්තලා පුද බිම පිහිටා තිබෙන අතර මුහුදු මට්ටමේ සිට මීටර 309.27ක් උස් වූ මෙම ඓතිහාසික ශේෂ කන්ද ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් මේ දක්වාම දිවෙන දිගු ඉතිහාසයක් හිමි ඉතා වැදගත් පූජනීය ස්ථානයකි. අක්කර 450ක පමණ භූමි ප්‍රදේශයක පැතිර පවතින ශුද්ධ භූමියක් වූ මෙහි විවිධ රාජ පාලන කාලයන්හි දී ඉදිකරන ලද වාස්තු විද්‍යාත්මක හා කලාත්මක නිර්මාණ රාශියකගේ නටඹුන් අදට ද දැකිය හැකි ය. ඒ අතරින් කණ්ඨක චේතිය, අටසැට ලෙන්, සිංහ පොකුණ, නාග පොකුණ, ඉදිකටු සෑය, දාන ශාලාව, මහා සෑය, මිහිඳු සෑය, අම්බස්තල දාගැබ, මිහිඳු රජතුමාගේ පුවරු ලිපිය, දා ගෙය, ආරාධනා ගල, කළුදිය පොකුණ, සන්නිපාත ශාලාව, ඇත්වෙහෙර හා කඳු පාමුල පිහිටි ආරාමික නටඹුන් සමූහය වැදගත්වේ.

වංශකතා සාධක අනුව මෙහි තිබූ ලෙන් 68ක් සංඝයා වහන්සේගේ වාසය සඳහා පිළියෙල කර පූජාකර ඇත. මින් එක් ලෙනක මිහිඳු මාහිමියන් වාසය කර ඇති බවත් එය වර්තමානයේ මිහිඳු ගුහාව ලෙසත් ජනවහරේ ප්‍රචළිතය.

මිහිඳු මාහිමියන් යනු ගිහිකල ධර්මාශෝක රජුගේ එකම පුත්‍රයා ය. ධර්මාශෝක රජු පැළලුප් නුවර අධිරාජයා බවට පත්වන විට මහින්ද කුමරුගේ වයස අවුරුදු 14ක් වූ අතර ඉන් වසර 6කට පසු එනම් කුමරු වයස අවුරුදු 20දී පැවිදි දිවියට ඇතුළත්වී තිබේ. මහණදම් පිරීම අරඹා වසර කිහිපයක් ගිය කල උන්වහන්සේ රහත්භාවයට පත්ව ඇත. සසර මඟ කෙටි කරගත් මහින්ද මහරහතන් වහන්සේ තම පියාගේ ඉල්ලීම පිරිදි උතුම් වූ බුද්ධ දර්ශනයේ හරය රැගෙන ලක්දිවට වැඩම කරවන ලදි. ඉන් පසුව බුද්ධ දර්ශනය මෙරට රාජ්‍ය ආගම බවට පත්වන අතර අරිට්ඨ කුමාරයාගේ පැවිදිවීමෙන් මෙරට භික්ෂූ ශාසනයද සඟමිත් තෙරණිය යටතේ අනුලා දේවියගේ පැවිදිවීමෙන් මෙරට භික්ෂුණී ශාසනය ද ඇරැඹිණි. ගස් ගල් අදහමින් සිටි මිනිසුන් මෙම නව්‍ය ආගම වටා රොක්වන්නට වූ අතර සසර මඟ කෙටිකර ගැනීමේ අරමුණින් බොහෝ පිරිස් පැවිදිවන්නට වූහ.

මෙරට එකල දියුණු වාස්තුවිද්‍යාත්මක ඉදිකිරීම් නොවූ හෙයින් ආරම්භයේ ද ී ස්වභාවික ගල් ලෙන් පිරිසිදු කර කටාරම් කොටා ජලය ඇතුලට ගලා ඒම වලකා භික්ෂූන් වහන්සේලාගේ වාසය සඳහා පූජාකර ඇත. මිහිඳු මාහිමියන් ඇතුළු භික්ෂු පිරිවර තමන්ගේ වාසස්ථානය ලෙස මිහින්තලා පුදුබිමම තෝරා ගන්නා ලද අතර ඒ අනුව දේවානම්පියතිස්ස රජතුමා විසින් ලෙන් 68ක් ඉදිකර පූජාකර තිබේ. මෙම ලෙන්වල කොටා ඇති ලෙන් ලිපිවලට අනුව දේවානම්පියතිස්ස රජතුමා විසින් ද, ඔහුගේ භාර්යාව විසින් හා සොහොයුරු උත්තිය රජු විසින් ද, රජ පවුලේ සාමාජිකයන් හා සැදැහැවතුන් ද මෙම ලෙන් සතර දිගින් පැමිණෙන නොපැමිණෙන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පූජාකර ඇත.

අම්බස්තල දාගැබේ සිට නැඟෙනහිර දිශාවට ගමන්කරන විට එම ස්ථානයෙන් පහළට යොමු වූ අඩි පාරක් දැකගත හැකිවේ. ස්වභාවික ගල් පිහිටීම් හා තැනින් තැන ගොඩනැගූ ශිලාමය පියගැට පේළි ඔස්සේ මෙම මඟ සකස්වී ඇති අතර එම මඟ ඔස්සේ ටික දුරක් ගියවිට මිහිඳු ගුහාව දැකගත හැකිය. මිහිඳු ගුහාවට එම නම ලැබීමට හේතුව ලෙස ජනප්‍රවාදයේ සඳහන් වන්නේ එය මිහිඳු මාහිමියන් වැඩ සිටි ලෙන යන්නයි. මෙම ජනප්‍රවාදයේ නිරවද්‍යතාවය සනාතවන සාධක ලෙන තුළින් මෙන්ම ලෙන අවට පරිසරයෙන්ද ලැබෙන බව පෙනේ. මිහින්තලා කන්දේ එක් බෑවුමක පිහිටි මෙම ලෙන තුළ සිටින අයකුට හාත්පස දක්නට ලැබෙන්නේ ඉතාම සුන්දර දර්ශනයකි. ලෙන අවට ස්වාභාවික පරිසරයේ චමත්කාරය දෙනෙතට අසුවන ඕනෑම අයෙකුගේ සිතට සැනසීම ගෙනදෙනවා නොඅනුමාන ය. රහතන් වහන්සේ නමකට මෙම නිදහස් පරිසරය තම මනස දියුණු කරගැනීමට මනා පිටුවහලක් වන බව පැවසීම උචිත ය. මෙම ලෙන මිහින්තලා කඳු අරණේ පිහිටි අනෙකුත් ලෙන් අතරින් වෙනස්වන සුවිශේෂී පිහිටීමකින්ද යුක්ත වේ. ඒ අනුව මෙම ලෙන සකස්වී ඇත්තේ ගල් දෙකක් ඉහළින් එකට බද්ධවූ ආකාරයට වන අතර එම නිසා ඇතුළත දෙපසින්ම පරිසරයට විවෘතව පවතී. එම පිහිටීම නිසාම ලෙන තුලින් නිරන්තරයෙන් සිහිල් සුළඟක් හමායනු ලැබේ. මෙම අපූර්වතම ලෙන තුල පිහිටි ගලේම මනාව ඔප දැමූ ගල් ආසනයක් සකස් කර ඇති අතර එය මිහිඳු මාහිමියන් භාවනායෝගී ව සිටීමට හා සයනය කිරීමට උපයුක්ත කරගන්නට ඇතැයි ජනප්‍රවාදයේ පවතී.

සිංහල ථූපවංශයේ සඳහන් වන්නේ මිහිඳු මාහිමියන් බොහෝදෙනාට අවවාද කරමින් මිහින්තලයේම වැඩ විසූ බවයි. ඒ අනුව පැහැදිලිවන කරුණ වන්නේ පොසොන් මස මෙරටට වැඩමකළ උන්වහන්සේ ඉන් මසකට පසු උදාවන වස් කාලයේ මිහින්තලයේම වස් වසන්නට ඇති බව ය. සෙසු භික්ෂූන් අටසැට ලෙන්හි වස් වසන කල මිහිඳු මාහිමියන් මෙම මිහිඳු ගුහාවේ වස් වසන්නට ඇති බව සිතීම යුක්ති සහගත ය.

මිහිඳු මාහිමියන් අසූවසක් ආයු වළදා චේතියගිරි පර්වතයේදී එනම් මිහින්තලයේදී පිරිනිවන් පෑ බව මහාවංසය සඳහන් කරන අතර ඒ අනුව උන්වහන්සේ වෙනුවෙන්ම වෙන්වූ ලෙනක් මෙම ආරාම සංකීර්ණයේ පැවැතුණේ යැයි ජනප්‍රවාදයේ එන අදහස යුක්ති සහගත බව පෙනේ. එසේනම් මිහින්තලා පූජා භූමියට පැමිණෙන සැදැහැවතුන් අනිවාර්යයනේම දැක බලාගත යුතු පූජනීය ස්ථානයක් ලෙසට මිහිඳු ගුහාව හැඳීන්වීම වටී.