Print this Article


පින්පෙට්ටිය හොරු අරගෙන

පින්පෙට්ටිය හොරු අරගෙන

තරමක් දුෂ්කර ගම්මානයක පුංචි පන්සලක් තිබුණි. එහි වැඩ සිටියේ ලොකු හාමුදුරුවොත් පොඩි හාමුදුරුවොත් පමණි. ග්‍රාමීය බව මුලුමනින් ම තිබූ එම ගම් පියසේ ස්වභාව සෞන්දර්යන් ද, පෞරාණික සිරිත් විරිත්වලින් ද අනූන ය.

ලොකු හාමුදුරුවෝ කිසි ශිල්ප ශාස්ත්‍රයක් නොලැබුවත්, විභාග පාස් නො කළත්, අත්දැකීම් සමුදායකින් පිරිපුන් සිල්වත්, ගුණවත් හිමි නමකි. සැහැල්ලු ජීවිතයක් ගත කළ ලොකු හාමුදුරුවෝ නිරන්තරයෙන් ම ආගම දහමට ලැදිව වත් පිළිවෙත් ද අකුරට ම සිදු කරන අයුරු ද පන්සලට යන එන කාට වුවද දැකිය හැකි ලක්ෂණයකි.

දිනපතා සන්ධ්‍යා කාලයේ දී දහ පහළොස් දෙනකුගෙන් සැදුම් ලත් පිරිසක් බුදුන් වැඳීමට පන්සලට එනු ඇත. ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවොත් සමඟ දායක පින්වතුන්ගේ වැඩි ප්‍රසාදය සඳහා බුදුන් වැඳීමට යෑම සිරිතක් ව පැවතිණි. පොඩි හාමුදුරුවෝ තරමක් සෙල්ලම් වයසේ පසු වුව ද දායක පින්වතුන්ගේ ආදර, ගෞරවයට පාත්‍ර වීම හේතුවෙන් පොඩි හාමුදුරුවන්ට තනිකමක් ද, පාළු බවක් ද නොදැනුණි. ගමේ පුංචි ළමයි දඹ, හිඹුටු, කෝන් වැනි පලතුරු කඩා ගෙනැවිත් පොඩි හාමුදුරුවන්ටත් දී පොඩි හාමුදුරුවොත් සමඟ සෙල්ලම් කළ ද ලොකු හාමුදුරුවෝ කිසිම දිනක සැර වැර පෑමක් හෝ දඬුවම් කිරීමක් නොකළේ පුංචි අයගේ මානසිකත්වය හඳුනාගෙන ය.

පොඩි හාමුදුරුවෝ තරමක් ළඟ පාත පිරිවනක දෙවැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ද ලබමින් පසු විය. ගමන් අපහසුව හේතුවෙන් පොඩි හාමුදුරුවෝ පයින්ම වැඩම කළ ද ටික දුරක් යන විට ගමේ දායක පින්වතුන් බයිසිකලයකින්, මෝටර් සයිකලයකින් හෝ අත් ට්‍රැක්ටරයකින් වැනි ගමේ දුකට පිහිට වන වාහනයකින් ගමන් කළහොත් පොඩි හාමුදුරුවොත් පිරිවනට රැගෙන යෑමට අමතක නොකරති.

පොඩි හාමුදුරුවන්ට පිරිවෙන් යෑම සඳහා පුංචි මුදලක් එකතු කර ගැනීමට ලොකු හාමුදුරුවෝ පින් පෙට්ටියක් සාදවා එය බෝධිය ළඟ තබා තිබුණි.

දිනපතා සන්ධ්‍යා කාලයේ දී බුදුන් වැඳීමට එන දායක පින්වතුන් රුපියල් පහ දහය පින් පෙට්ටියට දැමීමට පුරුදු විය. එය පොඩි හාමුදුරුවන්ට පොත් පත් ගැනීමටත් පිරිවෙන් වැඩම කිරීමටත් ඉතා ප්‍රයෝජනවත් වන බව දායක පින්වතුන්ට ද ටිකෙන් ටික වැටහී ගියේ ය. සවස් කල ගමේ දායක පින්වතුන් බුදුන් වැඳ ගිය විගසම පොඩි හාමුදුරුවෝ පින් පෙට්ටිය සංඝාවාසයේ සාලය මැදට ගෙනැවිත් විවර කර එම සුළු මුදල රැගෙන ලොකු හාමුදුරුවන්ට නිවැරැදිව කීමටත්, දීමටත් පුරුද්දක් කර ගත්හ. ලොකු හාමුදුරුවෝ කිසි දිනක එහි ඇති මුදල් නොගත් අතර “පොඩි හාමුදුරුවනේ මේ මුදල් නාස්ති නොකර පොත් පත් ගන්ඩ, පිරිවෙන් යන්ඩ තියාගන්ඩ ඕනෑ” යනුවෙන් පමණක් ප්‍රකාශ කිරීම සිදු කළහ.

එක් දිනක් පොඩි හාමුදුරුවන්ට ඇඟ පතේ මහන්සිය නිසා දිගු නින්දක් ගැනීමට සිදු විය. එම නින්ද යෑම නිසා සන්ධ්‍යා කාලයේ පින් පෙට්ටිය ගෙනැවිත් එහි මුදල් ගැනීමට නොහැකි විය. පසු දා උදේ අවදි වී බෝධිය ළඟට ගොස් බලන කල පින් පෙට්ටිය වෙනදා තිබෙන තැන නොතිබෙන අයුරු දැක පොඩි හාමුදුරුවෝ කම්පාවට පත් විය. ලොකු දුකක් හිතට ඇති වීමත් සමඟ පොඩි හාමුදුරුවන්ගේ නෙත්වලට කදුළු පිරුණි. අඬමින් ම ලොකු හාමුදුරුවෝ ළඟට ගොස් ලොකු හාමුදුරුවනේ මගේ පින් පෙට්ටිය හොරු අරගෙන කියා හඬමින් ම කීවේ ය.

ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන්ගේ හිස අතගාමින් “ඒක නැති වුණාට අපි අලුත් පින් පෙට්ටියක් හදා ගනිමුකෝ” කියමින් පොඩි හාමුදුරුවන්ගේ සිත සැනසූහ.