Print this Article


මාර සේනාව හඳුනා ගත යුතු ඇයි

මාර සේනාව හඳුනා ගත යුතු ඇයි

තෘෂ්ණාව බරපතළම මාරයා වේ. අපේ ඉන්ද්‍රියයන් මාර උවමනාවන් වෙනුවෙන් නොයොදන්නේ නම් මාරයා අපට පරාජය වේ. මාරයා අප පින් කරනවාට අකමැති නැත. ඔහු අකමැති වන්නේ කුසල් වඩනවාට ය. මන්ද යත් පින් කළත්, පව් කළත් මරණය ළඟාවන නිසා ය.

පවිටු මාර යනු කෙලෙස් මාරයා ය. දහමට අනුව දසමාර සේනාව අයත් වන්නේ පවිටු මාර ගණයට ය. මාර සේනාව පිළිබඳ තොරතුරු ඇතුළත් වන්නේ මහා පධාන සූත්‍රයේ ය.

බෝසතාණන් වහන්සේ බුද්ධත්වය සඳහා කුසල් වඩන අතරතුර මාරයා උන්වහන්සේ ඉදිරියේ පෙනී සිට තථාගතයන් වහන්සේට සඳහන් කරනුයේ ඔබේ ඇඟ කෘෂවී ඇත.

ඔබ සතු බ්‍රහ්මචාරී ජීවිතයත් සමඟ ගිනි දෙවියන් පුදා පිනක් දහමක් සිදු කළා නම් සැප විඳිය හැකි බවයි.

දස මාර සේනාව

එවිට බුදුරදුන් මාරයා අමතා සඳහන් කරන්නේ එවැනි පිනකින් තමන් වහන්සේට ප්‍රයෝජනයක් නැති බවයි. තථාගතයන් වහන්සේ නැවත මාරයා අමතා දක්වනුයේ, පාපිෂ්ට මාරය නුඹට මාර සේනාව දහයක් ඇති බව ය.

මෙම පුද්ගල මාර සහ පවිටුමාර ඉගැන්වීමෙහි දාර්ශනික හරය තම ජීවිතවලට එකතු කරගන්නේ නම් ජීවිත වල්මත් නොවී මිනිස් දිවියේ සැබෑ අරුත ළඟා කරගත හැකි වේ. එය සැබෑම වෙසක් සැමරුමයි.

බුදුරදුන් මාරයා අමතා දේශනා කළ ඉහත දැක්වූ මාර සේනාව වර්තමානයේ දී අප හඳුනාගත යුත්තේ එයින් වැළකීම පහසුවන නිසාවෙනි. හඳුනාගත් සතුරාට මුහුණදීම ඉතා පහසුය. යම් විටෙක මාර සේනාව හඳුනා නොගැනීම මත බොහෝ ප්‍රශ්න ගැටලු ඇතිවීම ස්වභාවික ය. ගිහි පැවිදි දෙපක්ෂයටම මෙයින් ලැබෙන සහනය අති විශාල වේ.

සතුරා හඳුනාගන්න

මහා පධාන සූත්‍රයේ දී දක්වනු ලබන මාර සේනාව මෙසේ ය. කාමය, අරතිය, සාපිපාසාව, සැකය, බිය, ථිනමිද්ධය, දැඩිබව ගුණමකු බව, තෘෂ්ණාව, වැරදි ලෙස ලබන කීර්ති ගෞරව සම්මාන, තමා උසස් කොට අනෙකා පහත් කිරීම ය.

කාමය තේරුම් ගැනීමේ දී වස්තු කාමයට වඩා ක්ලේෂ කාමය බලවත් ය. ඉන්ද්‍රියයන් පිනවීම මත බොහෝ අවැඩ සිදුවීම විශේෂිත ය. හැඟීම් දැනීම් මෙන් ම අවශ්‍යතා බහුල තාරුණ්‍යම විනාශවීම කාමයේ ඇති බරපතලකමයි.

ජිවිතයේ ඇති හරය ඉතාම සීමිත ය. මේ ශරීරයෙන් වැගිරෙන කිසිවක් සුවඳ හමන දෑ නොවේ. විඳීම සිහිනයක් බඳු ය. එය ඇතැම්විට තත්පර කිහිපයකි. ශරීරයේ එක ඉන්ද්‍රියයක් නිසා සමස්තයට හානි සිදු කරගැනීම අයෝග්‍ය වේ. යම් විටෙක එවැනි සිතිවිල්ලක් ඇති වූ විට මෙය කාමය නැමති මාරයාගේ බලපෑම මත සිදුවන්නක් බව හඳුනා ගන්නේ නම් බොහෝ ගැටලු ඇතිවීමට පෙර ඉවත් කරගත හැකිවේ.

කුසල් දහම් කරන්න ඇති අකමැත්ත අරතිය වේ. එවිට කුසල් වැඩූ අසූ මහා ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ නිවීම මතකයට ගැනීමත් ථේර ථේරී ගාථා තුළ උන්වහන්සේලාගේ නිවීමේ ආස්වාදය මත මුදිතාව සකසා ගන්නේ නම් අරතිය දුරුවේ.

කුසල් වැඩීමේ දී මෙන් ම භාවනා කටයුතුවල නිරතවීමේ දී පිපාසය බඩගින්න ඊට බාධා පමුණුවයි. එහි දී තේරුම්ගත යුත්තේ උදාරතර අරමුණුවලට යාමේ දී බඩගින්න, පිපාසය අමතක කළ යුතු බවත්, එය මාරයෙක් බවත් ය. කෑම ආහාර කොතෙක් කෑවද හෙටත් බඩගින්න එසේ ම ය. එහෙයින් ලද ජීවිතය සුවපත් කරගැනීම වැදගත්කෙට, සිතීම ධනාත්මක සිතිවිල්ලකි.

සැබෑ ආස්වාදය

පිරිසුදු ව නිවන් මඟ දේශනාවේ දක්වා තිබේ. එහෙත් ඇතමකුට විවිධ කෙටි මාර්ග, අලුත්, සොයා ගැනීම් පිළිබඳ වරින් වර විශ්වාසය ඇතිවේ. එසේ ම බුද්ධාදී අටතැන් සම්බන්ධයෙන් සැක උපදී. එහි දී යායුතු මඟ තිබිය දී වෙනත්, වෙනත් මාර්ග, ඔස්සේ ගමන් කරයි. මෙහි දී සිදුවන්නේ තමා නොදැනුවත් ම වයසට යෑම පමණි. මෙසේ සැක ඇතිවන විට එය මාරයා ලෙස හඳුනාගත හොත් සැබෑ දර්ශනයේ ආස්වාදය ලද හැකි ය.

ජීවිතාපේක්ෂාව අත්හැර ආධ්‍යාත්මය දියුණු කිරීමට කටයුතු කරන්නේ නම්, මාරයා පරාජය වේ. කායික මානසික කම්මැලිකම ථීනමිද්ධ යයි. එය දහම උපමා කරනුයේ පාසි බැඳුණ ජලයට ය. ආධ්‍යාත්මය සකසා ගත යුත්තේ සවිශක්තිය ඇති කාලයේ දී ය. එය පසුවට කල් නොතැබිය යුතු ය. ඒ අරුතින් ථීනමිද්ධය මාරයෙකි.

දැඩිව මතවාද තුළ එල්බ සිටීම ද, අනතිමානි ගුණය නැති බව මාරයෙකි. නම්‍යශීලී නොවී දෙ ලොව සුගතිය අත්කරගත නොහැකි ය. එය මාරසේනා වේ ප්‍රබලම මාරයෙකි. විශේෂයෙන් තරුණ වයසේ දී මෙය බෙහෙවින් ජීවිතවලට බලපානු ලැබේ. දැඩිමතවාද තුළ නොසිට නම්‍යශීලිවීම වැදගත් වන්නේ ඒ තුළ මාරයා පරාජය වන නිසා ය.

කළ උපකාර අමතක කර දැමීම, අකෘතඥවීම මාරයෙකි. අම්ම, තාත්ත, ගුරුවරු, උපන් රට, පරිසරය පිළිබඳ නොහිතා කටයුතු කිරීමට රුචිකත්වයක් දැක්වීම මාර ස්වභාවයයි. යම් හෙයකින් ගුණමකුවීමට සිතක් උපන්නොත් එය මාර බලපෑම බව සිතා ඉන් ඈත්විය යුතු වේ.

මාරයාගේ කැමැත්ත

වරෙක මාරයා බුදුරදුන් ධර්ම දේශනා කරන ස්ථානයට පැමිණ ප්‍රකාශ කරන්නේ ඔය ඇස් කන් නාසාදිය මගේ බවයි. එනම් අප අපේ ඉන්ද්‍රිය අවභාවිත කිරීම මාර කැමැත්තයි.

තෘෂ්ණාව බරපතළම මාරයාවේ. අපේ ඉන්ද්‍රියන් මාර උවමනාවන් වෙනුවෙන් නොයොදන්නේ නම් මාරයා අපට පරාජය වේ. මාරයා අප පින් කරනවාට අකමැති නැත. ඔහු අකමැති වන්නේ කුසල් වඩනවාට ය. මන්ද යත් පින් කළත්, පව් කළත්, මරණය ළඟාවන නිසා ය.

තෘෂ්ණාව ඇතිවන සෑම විට ම එය මාරයෙක් බව තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. අසම්මත ව විවිධ මුදල් දී අනවශ්‍ය ප්‍රතිරූප ගොඩනඟා ගැනීම මාරයෙකි. එවැනි සිතිවිල්ලක් ඇතිවන විට මෙය මාරයාගේ වැඩක් ය. යන්න තේරුම් ගන්නේ නම්, එය පැසසිය යුතු අවස්ථාවකි.

තමා උසස් ය. අනෙකා පහත් ය යන්න අත්තුක්කංසන පරවම්භනයෙන් යුක්තවීම මාරයෙකි. ඒ තුළ බොහෝ පාප කර්ම සිදු කරගනු ලබයි. මෙම දස මාර සේනාව හමුවෙහි අප සිහියෙන් කටයුතු කිරීම ඉතා වැදගත් ය.