Print this Article


දස මාර සේනාව හමුවේ සිහියෙන් සිටීම

දස මාර සේනාව හමුවේ සිහියෙන් සිටීම

අප තථාගතයන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන උතුම් වෙසක් පොහොය අදයි. විශේෂයෙන් ලෝක සත්වයා දුකින් මුදවාගැනීමේ අරමුණින් බුද්ධත්වය ලැබුවේ අද වැනි උතුම් දිනයක දී ය. දීපංකර පාද මූලයේ දී නිවන් ලද හැකි වූව ද ලෝකසත්වයා කෙරෙහි තිබූ අපමණ කරුණාව හේතුවෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පිරූහ. උන්වහන්සේගේ කරුණාව ඉතා සුවිශේෂී ය. (කරුණා සීතල හදයං) සුමේධ තාපසව උන්වහන්සේ තිර අදිටනින් කටයුතු කළහ.

බුද්ධෝහං බෝධයිස්සාමි
මුත්තෝහං මෝචයේ පරේ
තිණ්ණෝහං තාරයිස්සාමි
සංසාරොඝා මහබ්භයා

මෙම උදාරතර අරමුණ සහිතව සිදුහත් බෝසතාණන් වහන්සේ ලෙස වසර 35 දී තරුණයකු ලෙස උතුම් බුද්ධත්වය ලැබූහ. බුද්ධත්වය ලැබීමේ දී මෙන් ම වසර 45 ක් පුරාවට උන්වහන්සේට අභියෝග කළ ප්‍රබල කෙනෙක් වේ, නම් ඒ මාරයා ය.

වර්තමාන ලෝකයේ වැඩි වශයෙන් කතා කරන මාරයා පිළිබඳව අද වැනි උතුම් දිනක යථාර්ථවත් ව කතා කිරීම කාලෝචිත ය. දහමට අනුව මාරයා අවස්ථා දෙකකදී විස්තර කෙරේ.

එනම් පුද්ගල මාර සහ පවිටු මාර ලෙස ය, වර්ණ, ප්‍රඥා, බල දශකවල ජීවත්වන තාරුණ්‍යය විසින් මානය අත්හැර මේ යතාර්ථය නිවැරැදිව තේරුම් ගැනීම ඉතා වැදගත් වේ.

පුද්ගල මාර සංකල්පයේ දී මාරයා දිව්‍ය පුත්‍රයකු ලෙස හැඳීන්වේ. මාරයා යනු ලස්සන දිව්‍ය පුත්‍රයකි. එහෙත් ඔහු තුළ ප්‍රඥාව නැත. ඔහු තම බලය පතුරුවන්නේ නරකින් ය. අනෙකා පීඩාවට පත්කිරීම ඔහුගේ උවමනාවයි.

දහම පැහැදිලි කරනුයේ “ප්‍රමාද වූ අප සියලු දෙනාගේම මිත්‍රයා මාරයා බවයි. මෙහි දී ප්‍ර මාදය යනු කුසල් වැඩීමට ඇති ප්‍රමාදය, සදාචාරවත් දිවි පෙවතක් පැවැත්වා ගැනීමට ඇති ප්‍රමාදය, පංචශීලය, රැකීමට, එකිනෙකාට උදව්කිරීමට ඇති ප්‍රමාදයයි.

කෙටියෙන් පවසතොත් ලද මිනිස් දිවියට සාධාරණය ඉටුකිරීමට ඇති ප්‍රමාදයයි. එමෙන් ම මේ ලෝකයෙහි ඉතා බලසම්පන්න අදෘශ්‍යමාන ශක්තිය මාරයා විසින් මරන ලදුව ඉතිරි වූ ඇටකටු ගොඩක් ලෙස ගතහොත් ගිජ්ඣකූටයට, වේභාර, ඉසිගිලි පර්වතවලට වඩා විශාල ය.

බුදුරදුන්ගේ පළමු බුද්ධ වචනය වූයේ ද මාර පරාජය පිළිබඳ පී‍්‍රතියයි.

අවසාන බුද්ධ වචනය වන නොපමාව කුසල් සම්පාදනය කරගන්න යනුවෙන් දක්වනුයේ ප්‍රමාද වූ විට මාරයා මිත්‍රයා වන නිසාවෙනි.

මාරයා සහ සක්‍රයා තේරුම් ගත යුත්තේ එකම සීමාවක සිට ය. මන්ද යත් වර්තමානයේ අප සක්‍රයා ලෙස හඳුන්වන්නේ මඝමානවක ය. එමෙන් ම නාගිත අපදානයට අනුව නාගිත හිමියන් අවස්ථා ගණනක දී සක්‍රයාව උපත ලබා ඇත. මාරතජ්ජනීය සුත්‍රයට අනුව මුගලන් මහ රහතන් වහන්සේ ද එක් සමයක දී දුසීනම් මාරයාව උපත ලබා ඇත.

ඉතිරි කොටස වෙසක් අව අටවක ජූනි 02 කලාපයේ පළවේ