Print this Article


සුපහන් සිතින් වෙසක් සමරමු

සුපහන් සිතින් වෙසක් සමරමු

2565 වන වෙසක් මංගල්‍යය සමරන අප කායික මානසික අංශද්වයෙන් ම පිළිවෙත් සම්පූර්ණ කරන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ අප්‍රමාණ ගෞරවරවය ප්‍රධාන කොටගෙන ය. වෙසක් මංගල්‍යය ලෝක බෞද්ධ ජනයාට ම සුවිශේෂී වූ දිනයක් වන්නේ තම ශාස්තෘවරයාණන් වහන්සේගේ ජීවීතය හා බැඳුණු ඉපදීම, සම්බුද්ධත්වයට පත් වීම, පිරිනිවන් පෑම යන ත්‍රිවිධ මංගල්‍යයත් අද වැනි උතුම් දවසක සිදු වීම හේතුවෙනි.

මෙම උතුම් සිදුවීම් ත්‍රිත්වය ම සොබාදහමට බද්ධ ව සිදු වීම ආධ්‍යාත්ම නායකත්වයේ සංකේතයක් ලෙස අර්ථ දැක්වීමට හැකි වන්නේ බුදුන් වහන්සේගේ ජීවන චරිතයේ ශ්‍රේඨත්වය මත ය.

කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක යන තුන්ලෝකයටම ශාස්තෘත්වය විදහා දැක්වූ අප බුදුරජාණන් වහන්සේ සෑම විටම සියලු දුක්ඛයන් ප්‍රහීන කොට ලබාගත හැකි උතුම් වූ පරම සුවය වූ නිර්වාණය ම මූලික පරමාර්ථ කොට ගෙන ධර්ම දේශනා කළහ.

ප්‍රතිපත්ති පූජාව යනු

ලෝක වසංගත තත්වයකට මුහුණ පා සිටින මේ අවස්ථාවේ දී ඉතා උත්කර්ෂවත් අයුරින් සැමරූ වෙසක් මංගල්‍යය තම නිවසට පමණක් සීමා වෙමින් පවුලේ හිතවතුන් සමග ප්‍රතිපත්ති පූජාවන් සිදු කිරීමට සිදු වී ඇත. අද දවසේ ඔබ කළයුතු වන්නේ නිවසේ දී බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සැබෑ ලෙස හදවතින් ගෞරව කරමින් කුසල් සිත් උපදවා හැකි පමණ කුසල් දහම් හි නිරත වීම ය. තථාගතයන් වහන්සේගේ සැබෑම ඉගැන්වීම නම් ප්‍රතිපත්ති ගරුකවීම ය. ප්‍රතිපත්ති පූජාව නම් කුමක්ද යන්න විස්තර ඇතුළත් සූත්‍රයක් වන්නේ මහා පරිනිබ්බාන සූත්‍රය යි.

යම් භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ ධර්මානුධර්ම ප්‍රතිපන්න ව සම්‍යක් ප්‍රතිපන්න ව, අනුධර්මචාරී ව වෙසෙයි ද හේ පරම පූජායෙන් තථාගතයන් වහන්සේට සත්කාර කරයි, ගරු කරයි, බුහුමන් කෙරෙයි, පූජා කෙරෙයි, අපචායන කෙරෙයි, එබැවින් මෙහි ලා ධර්මානු ධර්ම ප්‍රතිපන්න ව, සම්‍යක් ප්‍රතිපන්න ව, අනුධර්මචාරී ව වාසය කිරීම ධර්මානු ධර්ම ප්‍රතිපදාව නම් වේ.

මෙම පැහැදිලි කිරීමේදී දක්වා ඇති ආකාරයට අප විසින් නිවැරැදිව සිදු කළ යුතු පූජාව නම් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තුළ තම ජීවීතය හසුරුවා ගැනීමය. එය තමන් වහන්සේට කරන පරම පූජාව ලෙසයි දක්වනුයේ.

සරලව පවසතොත් සැබෑ බුද්ධ වන්දනාව ලෙස තථාගතයන් වහන්සේ දක්වන්නේ තමන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව සෑම මොහොතක්ම සම්මා දිට්ඨිය හෙවත් නිවැරදි දැනීමෙන් හා දැකීමෙන් යුතුව ධර්මයට සමීපවම තම ජීවීතය පවත්වා ගැනීම එබැවින් ඔබ ඒ සඳහා මෙම කාලය ප්‍රයොජනයට ගෙන කටයුතු කරන්න.

වේදනාවක් නොවන සතුට

සතුට පරම ධනය වන අතර නීරෝගීකම උතුම්ම ලාභය නම් වන බව සම්බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම වූහ. මෙහිදී දක්වා ඇති සතුට ඔනෑම දෙයක් කිරීමෙන් ලබන සතුට නම් නොවේ. ආධ්‍යාත්මිකව ලබා ගන්න සතුට උතුම් සතුට වන බවයි දේශනා කොට වදාළේ. ආධ්‍යාත්මික සතුට ඔබ ඔබේ ජීවිතයේ එක්වරක් හෝ විඳ තිබේද. එය ලබා ගන්නේ කෙසේද? ඒ සඳහා අපි කළ යුත්තේ කුමක්ද? එය ලබා ගැනීමෙන් ඇතිවන ප්‍රයෝජන කුමක් ද? යන ප්‍රශ්න ඔබ ඔබගෙන් විමසන්න.

මෙම විමසීම තුළ දී සැබෑ සතුට නම් කිසි දින ආපසු වේදනාවක් දෙන දෙයක් නොවන බවත් එම සතුට ලැබීමෙන් පමණක් සදා කාලික සැනසීම උදා කරගත හැකි බවත් ඔබට අවබෝධ වේවි.

නීරෝගීකම අපට ඇති විශාලම ලාභය බව දේශනා කළේ මීට වසර දෙදහස් පන්සියය කට පෙර ය. එය එදාට මෙන් ම අදටත්, හෙටටත් අකාලික පැහැදිලි කිරීමක් බව සනාථ වන්නේ අදට උදා වී ඇති මෙම වසංගත තත්ත්වයෙහි ස්වභාවය හා එයට මුහුණ පෑමට සිදු වී ඇති ආකාරය අනුව ය. මෙහිදී ඔබ මෙම වසංගතයට හෝ වෙන කිසිම පාර්ශ්වයකට චෝදනා කිරීමෙන් වැළකී සිටිය යුතු වන්නේ ඔබගේ මනස සංසුන් ව පවත්වා ගැනීම වාඩා වැදගත් වන බැවිනි.

කැපවීමේ ප්‍රමාණය

නීරෝගී භාවය නම් කායික මානසික දෙඅංශයේ ම සුව පහසු බවයි. එබැවින් වසංගත යනු අදට පමණක් සීමා වුවක් නොව එය සෑම කාලයට ම පොදු වූ තත්ත්වයකි. මෙහිදී වැදගත් වන්නේ අප එය ජය ගැනීමට සිදු කරනු ලබන කැප කිරීම හා අප එහි වාහකයකු නොවී අප මෙන්ම අනෙක් සාමාජිකයන් එයින් ආරක්‍ෂා කිරීම සඳහා කොපමණ ආත්ම ශක්තියකින් කටයුතු කරනවා ද යන කාරාණාව මත ය.

මොහොතක් ගෙන විමසන්න. සැබෑ බුද්ධ ගෞරවය ප්‍රතිපත්තිය තුළ පිහිටා කටයුතු කිරීම නම්, පරම ධනය සතුට නම් උතුම්ම ලාභය නිරෝගී කම නම්, මෙම උතුම් දවසේ ඔබ කෙලෙස මේ දේවල් ලබා ගන්නේ ද? කෙලෙස බුදුරජාණන් වහන්සේට උපහාර කරන්නේද යන්න පිළිබඳ සිතා කටයුතු කරන්න.

ප්‍රතිපත්ති පූරණය කිරීමේ දී පංච ශීලයට මූලිකත්වය ලබා දෙමින් එය ආරක්‍ෂා කිරීමට වෙහෙසෙන්න. සැබෑම සීලය නම් කරුණාව වේ. මහාකාරුණිකයන් වහන්සේ යනුවෙන් අප බුදු රජාණන් වහන්සේ හඳුන්වන්නේ උන්වහන්සේ තුළ තිබූ අපමණ කරුණා ගුණය, අපමණ සිල්වත් කම හේතුවෙනි. ඔබ ඔබට මෙන් ම අනෙක් ලෝ සතුනට කරුණාවෙන් සලකන්න. එය පංචශිල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමකි.

කරුණාව ඔබ පුහුණු පුරුදු කරන්නේ නම් ආධ්‍යාත්මික සතුට හා නීරෝගී උදාකර ගත හැකි ය. එබැවින් ඔබ පසුතැවිලි නොවන්න පන්සල් යෑමට, දන්සැල් දීමට, වෙසක් නැරඹීමට හෝ සංවිධානය කිරීමට මෙම වසංගතය හේතුවෙන් නොහැකි වූ බව සිතමින් ඔබගේ අර්ථවත් කාලය කැප නොකරන්න. නිවසේ සිටින සියලු දෙනා වෙනුවෙන් කරුණාවෙන් ආහාරවේල සකසා දී හැකි පමණ සියලුම දෙනා වෙනුවෙන් කරුණාවෙන් බලන්න, කතා කරන්න, හැසිරෙන්න. නිවසේ සියලුම දෙනා එක්ව එකාවන් ව බුද්ධ වන්දනාව සිදු කරන්න. සැමට මෙත් සිත පතුර වන්න. පරිසරයට ආදරය කරන්න. තෙමඟුලෙහි ප්‍රධාන පණිවිඩය නම් සොබාදහමට ගරු කිරීම හා සියලු දේ අනිත්‍ය බව සිහිපත් කර වීමය. එනිසා ඔබත් සැබෑ බෞද්ධයකු ලෙස සොබා දහමට සැම විට ස්තූති පූර්වක ගරු කිරීමක් ඇතිව කටයුතු කරන්න. කිසිවක් සදා කාලික නොවන බව සිහිපත් කරමින් මෙම වසංගත තත්ත්වය ද අනිත්‍ය වෙමින් විනාශ වී යන බව සිතන්න. සැම විටම සිතට සතිමත් බව පුහුණු කරමින් මෙම වසංගතය වසංකොට උතුම් තෙමඟුල වඩා අර්ථවත් ව මෙම අවස්ථාවේ සැමරීම සඳහා සුපහන් සිතිවිලි හදවතේ දල්වා ගනිමින් කටයුතු සිදු කරන්න.