Print this Article


අංගුත්තර නිකායෙන් 15 : ඒකක නිපාතය

අංගුත්තර නිකායෙන් 15 :

ඒකක නිපාතය

සූත්‍ර අංක - 54
මෙත්තා භාවනා සූත්‍රය

මහණෙනි, ඉදින් යම් භික්ෂුවක් අසුරු සනක් පමණැති කාලයක් මෛත්‍රී සිත වඩාද, මහණෙනි, ඒ භික්ෂුව හිස් නොවූ ධ්‍යාන ඇත්තේ ය. ශාස්තෘන් වහන්සේගේ අවවාද අනුශාසනා රකින්නේ ය. රට වැසියන්ගේ පිණ්ඩපාතයට සුදුස්සෙකු වී වළඳන්නේ ය. යම් භික්ෂුවක් බහුල වශයෙන් මෛත්‍රිය වඩන්නේ ද එහිලා කවර කතා ද?

සූත්‍ර අංක - 55
මෙත්තා මනසිකාර සූත්‍රය

මහණෙනි, ඉදින් යම් භික්ෂුවක් අසුරු සනක් පමණැති කාලයක් හෝ මෙත් සිත මෙනෙහි කෙරේද, මහණෙනි, ඒ භික්ෂුව හිස් නොවූ ධ්‍යාන ඇත්තේ ය. ශාස්තෘන් වහන්සේගේ අනුශාසනා අවවාද රකින්නේ ය. රටවැසියන් පුදන පිණ්ඩපාතයට සුදුස්සෙකු වී වළඳන්නේ ය. යම් භික්ෂුවක් බහුල වශයෙන් මේ මෛත්‍රිය මෙනෙහි කරන්නේ ද එයින් ලැබෙන ආනිසංස ගැන කවර කථා ද?

සූත්‍ර අංක - 56
අකුසලභාගියා සූත්‍රය

මහණෙනි, යම් ධර්ම කෙනෙක් අකුසල් වෙත් ද, අකුසල් භජනයෙහි, අකුසල් පක්ෂයෙහි වැටෙත් ද ඒ හැම ධර්මයෝ සිත පෙරටු කොට ඇත. සිත ඒ ධර්මයන්ට පළමු කොට උපදී. ඒ හා එක්විට ම අකුසල ධර්මයෝ උපදිත්.

අටුවාව - පළමුව සිත ඉපදී පසුව චෛතසිකයෝ උපදී යැයි නො ගත යුතු ය. එක්ව ම උපදී. එක්ව ම නිරුද්ධ වේ. යම් සේ රජු නික්මුණේ යැයි කියන ලද කල්හි සෙසු රාජ සේනාව නික්මුණේ ද නොනික්මුණේ දැයි විමසිය යුතු කරුණක් නොවේ. සියලු සේනාව නික්මුණේ යැයි අදහස් වේ.

සූත්‍ර අංකය - 57
කුසලභාගියා සූත්‍රය

මහණෙනි, යම්කිසි ධර්ම කෙනෙක් කුසල ධර්මයෝ වෙත් ද, කුසල භජනයෙහි, කුසල පක්ෂයෙහි වැටෙත් ද ඒ සියලු ධර්මයෝ සිත පෙරටු කොට ඇත. සිත ඒ ධර්මයන්ට පළමුව උපදනේ ය. ඒ හා එක්වී ම ම කුසල ධර්මයෝ ද උපදිත්.