Print this Article


රෝග උවදුරු නිසා මානසික පීඩාවෙන් ද? බුදු දහමෙන් උපදෙස්

රෝග උවදුරු නිසා මානසික පීඩාවෙන් ද? බුදු දහමෙන් උපදෙස්

නිරෝගි බව උතුම් ලාභයයි. රෝගී වන විට කොතරම් දේ ලැබුණත් ඒවා ප්‍රයෝජනවත් ව පවත්වාගත හැකි නොවේ.

බුදු දහමේ දක්වන මෙම කරුණු යථාර්ථයක් කළ අවස්ථාවක් ලෙස නූතන ලෝකය යටපත් කරගෙන ඇති කොවිඩ් 19 වයිරසය හඳුන්වා දිය හැකි ය. ලෝකයේ දියුණුයැයි සම්මත කළ නොහැක්කක් නැත, වශයෙන් ඉතාමත් උද්දාමයට පත්ව ඇති බලයෙන් පරිපූර්ණ රටවල් ද වර්තමානයේ මෙම කොරෝනා වසංගතය හමුවේ අසරණ වී ඇත. දිනකට ලක්ෂ ගණන් ආසාදිතයන් හා දහස් ගණන් මරණ වාර්තාවීමෙන් ඔවුන්ගේ අසරණභාවය ලොවට කියාපායි. මෙම වසංගතය හමුවේ ලොව සියලු දෙනාගේ ම සාමාජීය, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික සියලු අංශයන් කඩා වැටීමට හේතු වී ඇත. මෙකී කායික රෝගි වීම නිසා මිනිසුන් මානසිකව ද කඩා වැටීමට ලක්වී ඇත.

විශේෂ වශයෙන්ම පසුගියදා ලොව බොහෝ රටවල් මෙම වසංගතය හමුවේ තම රටවල් තධජඬඤධඹද කිරීම නිසා මහජනයා නිවසට කොටු වීමෙන් ඔවුන්ගේ මානසික තත්ත්වයන් ද ඉතාම පහළ මට්ටමකට කඩා වැටෙන්නට විය. එනිසා නිවෙස් තුළ ගෘහස්ථ හිංසනය ද වර්ධනය වීමට හේතු වී ඇත. එවන් තත්ත්වයක් ඇතිවීමට හේතු වී ඇත්තේ මෙම රෝගය හමුවේ මිනිසුන් මානසික ව කඩා වැටීම නිසාවෙනි.

අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති යන බුදු වදන අනුව සිතූ දේ නොම වෙයි. නොසිතූ දෙයක්ම වෙයි යන යතාර්ථයට මුහුණදීමට අප හැම දෙනාම පුරුදු විය යුතු ය. නොසිතූ මොහොතක ලෝකෙට ඇතිවූ එම කොරෝනා වෛරසය හමුවේ පීඩාවට පත්ව ඇත. එකී පීඩාවන් මධ්‍යස්ථ ලෙස විඳ දරා ගනිමින් ඒවාට මුහුණ දීමට උත්සාහ කළ යුතු ය. එහිදී මානසික ව ඇතිවන පීඩාකාරි තත්ත්වයන් අවම කර ගැනීමට බුදු දහමෙන් ලැබෙන පිටුවහල පිළිබඳ විමසා බැලිය යුතු ය.

බුදු දහමේ ප්‍රධාන වශයෙන් උගන්වන මූලික කරුණක් වනුයේ යෝනිසෝ මනසිකාරය ය. එළඹ සිටි සිහියෙන් යුතුව කටයුතු කිරීමයි. වර්තමානයේ දී බොහෝ දෙනා මෙම වෛරසය රෝගය හමුවේ එකිනෙකා අතර සම්බන්ධතාවය පවත්වා ගැනීමේ දී ඉතා බියක් දක්වයි. එහිදී කිසිවකු යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්නේ නම් තමා පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද මොනවාදැයි හෙතෙම නිවැරැදිව දැන කටයුතු කරයි.

එමඟින් සිතෙහි ඇතිවන අනිසි බිය අවම කර ගැනීමේ ද හැකියාවක් පවතී. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු නොකිරීම හමුවේ බොහෝ දෙනා නොදැනුවත්ව ම මෙම වෛරසයට ගොදුරු වෙමින් පවතී.

විශේෂ වශයෙන්ම කෙනකුට මානසික පීඩාවෙන් දුරස්වී සිටීමට සිතෙහි සතුට තිබිය යුතු ය. සන්තුට්ඨි පරමං ධනං ලෙස බුදුරදුන් වදාළේ සතුට උතුම්ම ධනය බවයි. කෙනකුට කොතරම් වස්තුව තිබුණත් සතුටක් නොවේ නම් ඔහුට ඔහුගේ ධනයෙන් තෘප්තියක් නැත. එබැවින් වර්තමානයේ පවතින වෛරසය හමුවේ දී සියලු දෙනාම තමන්ගෙ සතුට පවත්වා ගැනීම තුළින් ඇතිවන පීඩාව අවම කරගත හැකි ය.

බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ අණන සූත්‍රයේ දී පුද්ගලයකුට ලෞකික ලැබිය හැකි සැප 4ක් පිළිබඳ විස්තර කරයි. එනම් අත්ථි සුඛ, අණන සුඛ, භෝග සුඛ, අනවජ්ජන සූඛ වශයෙනි.

අත්ථි සුඛ යනු තමා වෙත ඇති ආර්ථික සමෘද්ධිමත් භාවයෙන් සතුටු වීමයි. දිනකට රුපියල් දාහක් සොයන කෙනකු නම් ඉන් ඔහුගේ වියදම ඊට වඩා අඩු වියදමක් අනුව ජීවන බර සකසා ගත යුතුය. ඉන් තමාට ඇති තත්ත්වය මත සතුටු විය හැකි ය.

වෛරසය හමුවේ ආර්ථිකය කඩා වැටී ඇති මොහොතක නිවසට අවශ්‍ය ආහාර තම ගෙවත්තේ ම සකසා ගැනීම තුළින් ආර්ථික අඩුපාඩු නිසා ඇතිවන මානසික පීඩාව දුරු කරගත හැකි ය.

දෙවැන්න භෝග සුඛයයි. එනම් තමන් වෙත ඇති සම්පත් කළමනාකරණයෙන් යුතුව පරිභෝග කිරීමෙන් ලබන සතුටයි. තමා විසින් ම අවශ්‍ය එළවළු වැනි ආහාර සකසා පරිභෝග කිරීමෙන් සතුටු විය හැකි ය.

සිඟාලෝවාද සූත්‍රයේ දී වදාළ පරිදි තමා උපයන ධනයෙන් කොටසක් පරිභෝජනයටත්, කොටස් දෙකක් ආර්ථික දියුණුවටත්, සිව්වන කොටස ආපාදවක් පැමිණි විට ගැනීම සඳහා තැන්පත් කළ යුතු ය.

මෙකී කළමනාකරණ න්‍යාය අනුගමනය නොකරමින් තමාට නැති ආර්ථික බලයක් පෙන්වීමට සමාජය හමුවේ රඟ දැක්වීම නිසා බොහෝ දෙනා හට අණන සුඛය නැතිවී ඇත. එනිසා බොහෝ දෙනා එමඟින් මානසික පීඩාවන්ට පත්ව ඇත.

එබැවින් යමකු සමජීවිකතා නම් වූ මනා කළමනාකරණයක් ඇති කර ගන්නේ නම් ඇතිවන මානසික පීඩාවන් අවම කර ගැනීමට යම් දුරට හැකියාවක් ඇත. එසේම අනවජ්ජ සුඛ නම් නිවැරැදි දිවි පෙවෙතක් ඇතැයි සතුටුවීමයි. එනම් ධර්මානුකූල ජිවිතයක් ගත කිරිමයි. නූතනයේ ඇතැම්හු මෙම වෛරසය හමුවේ තම ආර්ථික

දුෂ්කරතා මඟහරවා ගැනීමට සමාජ විරෝධි ව්‍යාපාර අනුගමනය කරයි . ඉන් තාවකාලික සතුටක් ලැබුණත්, පසුව නීතිය හමුවේ ජීවිත කාලය පුරාවට මානසික පීඩාවන්ට ලක්වීමට බලපායි. එබැවින් මෙැවනි වසංගත තත්ත්වය හමුවේ වුව ද යමකු ධාර්මික රැකියාවක් කරමින් කටයුතු කරන්නේ නම් ඉන් ඔහුට මානසික සතුටක් ලැබිය හැකි ය.

තවද කොරෝනා වෛරසය හමුවේ සමාජ සංකීර්ණතාවය තුළ මානසික පීඩාව අවම කර ගැනීමට බුදුදහමේ උගන්වන අල්පේච්ඡතා ගුණය ද සුදුසු විධි ක්‍රමයකි.

තමාට ඇති සම්පත් ගැන සතුටු වෙමින් ඒ සම්පත් අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කළ යුතු ය. තමාට නොලැබෙන දේ පිළිබඳ කනස්සල්ලට පත්වීම, මැසිවිලි නැඟීම තවකකුට සාප කිරීම නොකළ යුතු ය. ලැබුණූ දේ පිළිබඳ සතුටු විය යුතු ය. ඒ බුදු දහමේ සන්තුට්ඨිතා ගුණය ලෙස ද හැඳින්වේ. එසේම මහිච්ඡතාව හෙවත් වැඩි වැඩියෙන් යම් යම් දේ ප්‍රාර්ථනා නොකළ යුතු ය. එමඟින් ඉතිරි වන්නේ මානසික පීඩා පමණි.

නිරෝගී පුද්ගලයකු වීමට බුදු දහමේ ඉගැන්වෙන සප්පාය ධර්මයන් අනුගමනයෙන් ද, වර්තමානයේ කොවිඩ් වෛරසය හමුවේ ඇතිවන මානසික පීඩාවන් අවම කරගැනීමට යම් පිටුවහලක් ලබා ගත හැකි ය.

ආහාර සප්පාය

(සුදුසු ආහාර පරිභෝජනය)

විහරණ සප්පාය

( නිවැරැදි ඉඳුම් හිටුම් මෙන්ම

නිවැරදි හැසිරීම් රටා)

උතු සප්පාය

(ශරීරයට හිතකර ඍතු පරිහරණය)

අජඣාසය සප්පාය

( හොඳ අදහස් ඇති කර ගැනීම)

නූතනයේ බොහෝ දෙනකුගේ ශාරිරික ප්‍රතිශක්තිය අවම වීමට හේතු වී ඇත්තේ අහිතකර ආහාර පරිභෝජනයයි. ඉස්සර නම් අපට කැස්ස, හෙම්බිරිස්සාවක් හැදුණු විට වෙනිවැල් ,කොත්තමල්ලි, ටිකක් බීමෙන් ඒවා සමනය වූ බවත්, දැන් දැන් සිටින දරුවන්ට එසේ නොවන බවත් අපේ මුතුන් මිත්තන් ප්‍රකාශ කරන්නේ ද යහපත් ආහාර රටාව නිසා පුද්ගලයා තුළ තිබූ ප්‍රතිශක්තිය හීන වී යාම පිළිබඳවයි. එබැවින් වර්තමානයේ බොහෝ දෙනා සුදුසු ආහාර රටාවක් අනුගමනයෙන් මාසික පීඩාවන්ගෙන් දුරුවීමක් ලැබිය හැකි ය. එසේම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද මගින් යහපත් විහරණයක් ඇති කරමින් මානසික පීඩ අවම කරගත හැකි ය.

විශේෂ වශයෙන් ම මෙහි දක්වන අජඣාසය සප්පාය හෙවත් හොද අදහස් ඇති කර ගැනීම වැදගත් ම කරුණකි.

සිතෙහි ඇතිවන සිතුවිලි පාලනය කර ගත යුතු ය. එනම් ලෝභය, ද්වේශය, තරහව, කෝපය ක්‍රෝධය, කේන්තිය වැනි අවස්ථා මඟින් මානසික පීඩාව වැඩි කරයි. මෙසේ ඇතිවන මානසික පීඩාවන් දුරු කරගත යුතු විධික්‍රම පිළිබඳව මජ්ක්‍ධිම නිකායේ විතක්ක සන්ඨාන සූත්‍රය උගන්වයි.

කිසියම් වැරදි හැඟීමක් ඇති වන විට ඊට ප්‍රතිවිරුද්ධ හැඟීම් මෙනෙහි කිරීමෙන් එය දුරු කිරීම ද,

හැඟීමෙහි ආදීනව මෙනෙහි කිරීම,

වෙනත් අරමුණකට සිත යොමු කොට වැරදි හැඟීම් අමතක කොට දැමීම

එම හැඟීමේ මුලික හේතුව කුමක්දැයි සොයා බලා එය දුරු කිරීම හා කායික හා මානසික අධිෂ්ඨාන ශක්තිය යොදා ආවේග පාලනය කිරීම ය.

බුදු දහමේ උගන්වන මෛත්‍රි භාවනාව, ආනාපාන සති භාවනාව වැනි භාවනාවන් දිනකට වරක් හෝ යමකු ප්‍රගුණ කරන්නේ නම්, සිතෙහි ඇතිවන ආවේගශීලිතාවයන් අඩුවේ. ඉන් වර්තමාන සමාජ සංකීර්ණත්වයට ගැටලුවකින් තොරව මුහුණ දීමට හැකියාවක් ඇත.