Print this Article


පහන් සිතක කවි

අවීචියේ හැටි

නිරයේ හැටි දැනගන්නට
හිමිවරු ආවා කුටියට
මිලක්ක තිස්ස ගුරු හිමියනි
කියා දෙන්න නිරයේ හැටි

වියළුණ දර ගොඩක් ගසා
තව කුණු රොඩු එයට දමා
මම එනතුරු වැඩ කරන්න
‘නිරය’ කියා දෙමි ඔබලට

මිලක්ක තිස්ස අරහත් හිමි
සැනෙකින් නිරයට වැඩියා
කදෝපැණියකුටත් කුඩා
ගිනි පුපුරක් අරං වැඩියා

මහ දර ගොඩ උඩ
ගිනි පුපුරකි හැඩ
සැනෙකින් අළු ගොඩ
නිරා ගින්නෙ වැඩ

නොනවත්වා ගිනි ඇවිලෙන
අවීචියේ හැටි ඔහො ම ය

ගුරු ඔවදන අවසානයි
සිසු හැම මන පුබුදාලයි
ගුරු කම ගර කම කරන්න
ඒවා රටට හොඳ පාඩම්

****

නකුල මාතාවනි

විටෙක ඔබ දියණියකි, ඔබේ සැමියා වෙතට
විටෙක ඔබ මවක් විය සෙනෙහෙබර සැමියාට
විටෙක ඔබ යෙහෙළියකි ඔහුට බැඳි පේ‍්‍රමයට
දිනෙක කවි පද බැඳෙයි ඔබ පිරූ පිළිවෙතට

****

මෙවර ජයග්‍රාහී කවිය

අමා ගඟ

සල් මල් සුවඳයි ලුම්බිණි අරණ
සිත් පියුමන් මත කුමරකු වඩින
අබිමන් සිහ නද ගුවනට නඟින
මෙකුමරු මතු දින බුදු බව ලබන

නියත ව සතවෙත යහපත සදන
අරුතින් සිදුහත් යන නම ලබන
සිදුහත් ගිහිගෙය ගැන කළකිරෙන
සුර සැප බඳු රජ සැප අතහරින

දේවිය සහ පුතු යහනෙහි නිදන
නෙතඟින් බලමින් සෙත්සිරි පුදන
අසු සරසන්නට චන්නට පවසන
කන්ථක සහ ගරු ගමනක යෙදෙන

හිරු සඳු කිරණින් කාලය ගෙවෙන
සිදුහත් වන මැද පාරමී පුරන
පාරමි විකසිත මොහොත උදාවන
බෝසත් ගෝතම ලොව්තුරු බුදුවන

නේරංජන ගඟ සැනහී ගලන
ගයාවෙ බෝපත් නලවැද සැලෙන
සවනක් රශ්මී ගුවනෙහි සරන
සත වෙත මෙත දෙන අම ගඟ ගලන

****

නොනිමි සසර

සසර ගමනෙ ඉම තවම නුදුටු අපි
දැන්වත් ඒ ගැන නොසිතන්නේ
අමා දහර දම් ගඟුල තිබෙද්දිත්
නොදැක කොහේදෝ මේ යන්නේ

මිහිර සොයන්නට දිවිය පුරා අපි
මෙතරම් ඇයි මේ වෙහෙසෙන්නේ
නෙත් හැර බලනෙමු දිවියෙ නිසරුබව
මිරිඟුව පසුපස දිවයන්නේ

****

උපත මරණය - නිවන

මගේ බුදුපියාණන් දෙසූ සත්‍ය ධර්ම ය
ජීවිතය අනියත ය මරණය නියත ය
අප මෙයට මුහුණ දුන් වාර අපමණ ය
සැනසෙන්න නිවනින් මෙය මෙනෙහි කළ යුතු ය

ඉපදීම දුකයි මරණයේ දුක අප සිතට වේදනා බරය
එයයි බුදු දහම අපට දුන් අගනාම පණිවුඩය
පි‍්‍රයයන්ගෙන් වෙන්වීම හද පාරන දුකක් ම ය
ඒ දුක නිවීමට බුදුවදන් දිව ඔසුවක් ම ය

අස්ථිර ලෝකයේ තිර කිසිවක් දක්නට නොමැත
ඇතිවීම නැතිවීම සොබා දහමට එක්ව ඇත
මරණය අභියස කිසිවකුත් ජයගෙන නොමැත
කර්මය මුල් ව අවසන් ගමන යනු ඇත

තණ්හා ආශාව පොදි බඳිමින් ඉන්නේ
රාග ද්වේශ මෝහය සිත වඩ වන්නේ
කෙලෙසුන් එකතු කරමින් දිවි සරසන්නේ
මිනිසුන් මුලා වී සසරට දිව යන්නේ

රිය සක සමඟ කැරකෙන රෝදය ලෙසට
කැරකෙයි භවය දුක දී සැම ලෝ සතට
කෙලෙස් සතුරා බිඳ විරාගී සුව ලබනට
එයයි ජය මාවත යන්න නිවන් පුරයට

****

නපුරු සිත් හමුවී

එකම එක් සිතිවිල්ලක
වෙළී එකම පැතුමක
පැමිණ දුර
නපුරු වී සිත්
සඟවලා හිස
අතැර ගැහෙන කඳ
නසා සිය දිවි.
මැරී සිත්
වැටි මහා නිරයක
ගෙවා දුර සසර මඟ
යළි හමුව සිත්
විඳ කම් සැප
යළි යළිදු භව පුරුදු
සිදුව සිත් නපුරුකම්
නොපෙනී,
උතුම් නිවන් දොර
විඳී දුක් අපමණ
දැවි දැවී
“නපුරු සිත්”
සදා කල්හිම
නොලැබ,
උතුම් මිනිස් දිවියක් ........

****

දහම් උගනිමු

දුර්ගුණ අතහැර දමලා
හොඳ ගුණදම් මතු කරලා
හොඳින් බලමු ඇස් ඇරලා
දහමින් මුළු රට පිරිලා

දම් පාසල් යන්නේ
දහම් ඉගෙන ගන්නේ
හොඳ මිනිසුන් ෙ වන්නේ
ලෝකය බැබළෙන්නේ

****

ධම්මපදයෙන්

සිතිවිලිවල ඇරඹුම මනස ම වේ
පව් හැඟුමන් දිව රෑ දුක් සිදු වේ
ගැල් සක බැඳි ගොනු සහ එන විල සේ
පවෙහි විපා අප සහ එයි නොල සේ

පිවිතුරු පිරිසුදු සිතිවිලි මන සේ
ඇතිකර ගැනුමෙන් සැපතම සැල සේ
උවමකි සම්බුදු හිමි දෙසු විල සේ
කුසල් විපා සැප සෙවනැල්ලක සේ

****

කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.