Print this Article


විදේශීය ධර්ම ප්‍රචාරයට වගේම මාතෘභූමිය ත්‍රස්තවාදීන්ගෙන් ආරක්ෂා කිරීමටත් දායක වුණා

විදේශීය ධර්ම ප්‍රචාරයට වගේම මාතෘභූමිය ත්‍රස්තවාදීන්ගෙන් ආරක්ෂා කිරීමටත් දායක වුණා

උදාර පැවිදි දිවියක පියසටහන් ඔස්සේ මෙවර සාකච්ජා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන සංඝ නායක ලොස් ඇන්ජලීස් ධර්මවිජය බෞද්ධ විහාරාධිපති කැලිෆෝනියා සංඝ සම්මේලනයේ සභාපති ත්‍රිපිටක විශාරද, ධර්මකීර්තී ශ්‍රී සද්ධර්ම ශිරෝමණි ත්‍රිපිටකවාගීශ්වර, ශ්‍රී සද්ධර්ම සේනාපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොල පියනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය

විශිෂ්ට විදේශීය ධර්ම දූත ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් චිරප්‍රසිද්ධ ඔබ වහන්සේගේ විදේශ ධර්මදූත සේවය සිදු වූ ආකාරය පැහැදිලි කරමින් ම සාකච්ජාවට ප්‍රවේශ වෙමු අපේ හාමුදුරුවනේ.

1970 වර්ෂයේ සිට 1972 වර්ෂය දක්වා විද්‍යෝදය විශ්ව විද්‍යාලය හා කොළඹ විශ්ව විද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරයකු වශයෙන් කටයුතු කළා. එම අවධියේදී ම 1972 වර්ෂයේ දී පොදුරාජ්‍ය මණ්ඩලීය උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වයක් ලැබීම නිසා ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමට

ඉන්දියාවේ කල්කටා විශ්ව විද්‍යාලයට වැඩම කළා.

අධ්‍යාපනය ලබන අතරතුර මහා බෝධි සමාගමේ ප්‍රධානියා ලෙස වැඩ සිටි ඉන්දියාවේ අධිකරණ සංඝ නායක නෙළුවේ ශ්‍රී ජිනරතන නායක හාමුදුරුවන් වහන්සේගේ ලේකම් ස්වාමීන් වහන්සේ වශයෙන් සමස්ත ඉන්දියාවේ ම බෞද්ධ කටයුතු කිරීමට සිදුවුණ නිසා ධර්ම දූත කටයුතු කෙරෙහි මගේ සිත යොමු වුණා. 1976 වර්ෂයේ දී ලැබුණු ආරාධනාවකට අනුව අමෙරිකාවට වැඩම කළා. මම අමෙරිකාවට වැඩම කළ කාලය වන විට එම ප්‍රාන්තයේ කිසිදු ස්වාමීන් වහන්සේ නමක් වැඩ සිටියේ නැහැ. සමස්ත ඇමරිකාවට ම හාමුදුරුවන් වහන්සේලා හතර නමක් පමණයි වැඩ සිටියේ.

මම අමෙරිකාවේ නෝර්ත් වෙස්ටර්න් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියත් හදාරමින් ධර්ම දූත සේවය සිදු කළා. ඒ අනුව 1979 වර්ෂයේ දී අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ප්‍රථම ශ්‍රී ලාංකීය බෞද්ධ මධ්‍යස්ථානය ලෙස ලොස් ඇන්ජලීස් බෞද්ධ විහාරය ආරම්භ කළා. පසුව සියලු විහාරාරාංගයන්ගෙන් සමන්විත වන ආකාරයට ධර්ම විජය බෞද්ධ විහාරය ඉදිකරමින් ථේරවාදී බුදු දහම අමෙරිකාව පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කළා. ධර්ම දූතයන් වහන්සේලා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් වශයෙන් වර්තමානය වන විට ධර්මවිජය විහාරස්ථානය ලෝකයේ ම ප්‍රසිද්ධියක් ලබා තිබෙනවා. ඒ ආකාරයෙන් ආරම්භ කළ ධර්ම දූත මෙහෙවරට මේ වන විට පුරා වසර 40 කට අධික කාලයක් සම්පූර්ණ වෙලා තිබෙනවා.

සුපේෂල ශික්ෂාකාමී ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ඔබ වහන්සේට මේ තරම් සාර්ථකව දීර්ඝ ගමනක් යාමට ගුරු හාමුදුරුවන් වහන්සේලාගෙන් ලැබුණු ආදර්ශත්, පාරිවේණික අධ්‍යාපනයත්, උසස් අධ්‍යාපනයත් කොතෙක් දුරට ඉවහල් වුණා ද ? හාමුදුරුවනේ.

මම 1943 ඔක්තෝම්බර් මාසයේ 02 වැනි දා ගාල්ල වල්පොල ගමේ ජන්මලාභය ලබාගෙන 1955 වර්ෂයේ දී ප්‍රව්‍රජ්‍යා භූමියට පත්වෙලා 1970 දී උතුම් අධිශීල සංඛ්‍යාත උපසම්පදා භූමියට පත් වුණා.

මගේ කරේ සිවුරු පටිය බැඳපු ගම්පහ අත්තනගල්ල රජමහා විහාරයේ වැඩ සිටි පූජනීය කෝන්ගොඩ පේමානන්ද නායක හාමුදුරුවන් වහන්සේ නිතරම ප්‍රකාශ කළේ නොනැවතී ඉදිරියට ම යා යුතුයි කියන අදහස යි. ඒ වගේම විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ කුලපතිව වැඩ සිටි

පඤ්ඤාසාර නායක හාමුදුරුවන් වහන්සේගේ අවවාදය වුණේ කෙතරම් ඉහළට ගියත් නිතරම නිහතමානි අයෙකු වෙන්න කියලයි. උන්වහන්සේ පරිසරයෙන් උදාහරණ පෙන්වා දෙමින් ප්‍රකාශ කළේ ගසක ගෙඩි බරවෙන්නා සේ දැනීම ඇතිවෙන්න ඇතිවෙන්න ඔබ වහන්සේලා නිහතමානි වෙන්න යන උපදේශය යි. ඒ වගේ සම්භාවනීය වියත් ගුරු හාමුදුරුවන් වහන්සේලාගෙන් ලැබුණ ආදර්ශ, උපදෙස්,මගපෙන්වීම් පැවිදි ජීවිතයට ඉතාම වැදගත් වුණා.

කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර හාමුදුරුවන්, කොටගම වාචිස්සර නායක හාමුදුරුවන් වැනි බොහෝ ගුරු දේවයන් වහන්සේලාගේ ආධාර මගපෙන්වීම වගේම මොරවක්තුඩුවේ නායක හිමියන්ගේ ධර්මදේශනා ඇසීමෙන් බොහෝ ධර්ම රසය විඳීමටත් ඒ මග ගමන් කිරීමටත් ආසාව ඇති වුණා. ඌරාපොල බෝපැත්ත සිරිසඟබෝ පිරිවෙනින් මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබාගත් අවධියේදීත් එම පිරිවෙනේ වැඩ සිටි ආචාර්ය උඩුනුවර ධම්මරක්ඛිත හාමුදුරුවන් වහන්සේගේ මග පෙන්වීම මත හංවැල්ල, කිරිදිවැල, අත්තනගල්ල, අල්ගම ආදී ප්‍රදේශවලට වැඩම කරමින් කට පාඩමින් බණ කිව්වා. මම පොඩි පෙනුමක් තිබුණ පුංචි හාමුදුරුවන් වහන්සේ නමක් නිසා ප්‍රචාරක දැන්වීම්වල සඳහන් කර තිබුණේත් ‘සත් හැවිරිදි සාමණේර නමක් බණ දෙසති යි’ කියල යි. ධම්මපදට්ඨ කථා, ධම්මපදය,ජාතක කථා ගොනු කරගෙන තමයි බණ කිව්වේ.

ඒ මඟ පෙන්වීමට කටයුතු කළ ඌරාපොල සිරිසඟබෝ පිරිවෙනේ ආචාර්ය උඩුනුවර ධම්මරක්ඛිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු සියලු දෙනා වහන්සේට මම අදත් පින්දෙනවා. පසුව මම මිනුවන්ගොඩ අස්වාන ධර්මරත්නෝදය, මහමෝදර පිරිවෙන, විද්‍යෝදය, විද්‍යාලංකාර ආදී පිරිවෙන් තුළින් අධ්‍යාපනය ලබාගෙන 1963 වර්ෂයේ දී විද්‍යාලංකාර සරසවියට ඇතුළු වුණා. 1967 වසරේ දී බෞද්ධ සංස්කෘතිය පිළිබඳව ගෞරව උපාධියත්, ඉන්දියාවේ කල්කටා විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, අමෙරිකාවේ නෝර්ත් වෙස්ටන් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියත් ලබාගැනීමට කටයුතු කළා.

බෞද්ධාගමික,ශාසනික, ධර්මප්‍රචාර, ශාස්ත්‍රීය මෙන් ම සමාජීය සේවාවන් අගයමින් ඔබ වහන්සේ ජාත්‍යන්තර සම්භාවනාවට පාත්‍ර වුණා. ඒ පිළිබඳ විස්තර කරනවා නම්,

අමෙරිකා එක්සත් ජනපදයේ පමණක් නොවෙයි ,බටහිර යුරෝපීය රටවල්, තායිලන්තය, බුරුමය, වියට්නාමය, කාම්බෝජය, ලාඕසය ආදී පෙරදිග රටවල ජනතාවටත් නිර්මල බුදු දහම ලබාදෙමින් ඔවුන්ගේ අධ්‍යාත්ම සංවර්ධනයට දායක වුණා. ථේරවාදී බුදු දහම ඇමෙරිකාව පුරා ව්‍යාප්ත කිරීම සඳහා සියලු ප්‍රාන්ත ආවරණය වන ආකාරයෙන් විහාරස්ථාන 5 ක් ආරම්භ කළා. විදේශීය ධර්ම දූත සේවාව සඳහා උගත් භික්ෂූන් වහන්සේලා පුරුදු පුහුණු කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළා. ඒ වගේම බෞද්ධ ධර්ම ග්‍රන්ථ රාශියක් රචනා කළා. -THUS WE EARD(Recollection of the life of the Buddha), SAFFRON DAYS IN L.A., THE BODHI TREE GROWS IN L.A. යන ග්‍රන්ථ සංගායනා හා නිකාය භේදය, අමෙරිකාවේ කසාවත, අමෙරිකාවේ රන්සළු, මහරහතුන් වදාළ බුද්ධ චරිතය යනුවෙන් සිංහල භාෂාවට ද පරිවර්තනය කර තිබෙනවා. බොහෝ රටවල ථේරවාදී බුදු දහම ව්‍යාප්ත කරමින් ශාසනික හා ශාස්ත්‍රීය වශයෙන් සිදු කළ සේවය අගයමින් මියෙන්මාර් රජය විසින් අග්ගමහා පණ්ඩිත ගෞරව නාමයෙන් පිදීමට කටයුතු කළා.

ඒ වගේම විශේෂයෙන් ම ප්‍රකාශ කළ යුතු කාරණාවක් තිබෙනවා. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැප වුණා වගේ ම එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්ගේ ජාත්‍යන්තර ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයකු වශයෙන් ශ්‍රී ලංකාවට විරුද්ධව ක්‍රියාත්මක වන විදේශීය බලවේග, තර්ජන හා කුමන්ත්‍රණ පිළිබඳව අවධියෙන් ඒවා දුරලීමට කටයුතු කළා. දෙමළ ත්‍රස්තවාදී කණ්ඩායම් වලට එරෙහිව ත්‍රස්තවාදය නිමාකිරීමේ අවසන් සටනේ දී අපගේ ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු වීරෝධාර ත්‍රිවිධ හමුදා රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කරගැනීම සඳහා හමුදා කඳවුරුවලට වැඩම කරමින් කළ හැකි සෑම උත්සාහයක් ම ගැනීමත් අප්‍රමාණ සතුටක්.

සම්බුද්ධ ශාසනයත්, සිංහල ජාතියත් ආරක්ෂා කරගැනීම සඳහා එළාර සමඟින් දුටුගැමුණු කළ සටනේදීත් භික්ෂූන් වහන්සේලා යුද සේනාවේ චිත්ත ශක්තිය වර්ධනය කිරීමට වැඩම කළා. ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරය වගේ ම රට ත්‍රස්තාවාදීන්ගෙන් රැකගැනීමටත් දායකත්වය ලබාදුන් බව සිහිපත් කළ යුතුයි.

බහුශ්‍රැත, චිරරාත්‍රඥ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් පුරා දශක හතරකට අධික කාලයක් සිදු කළ ධර්ම දූත මෙහෙවර තුළින් ලබාගත් අත්දැකීම් අනුව ධර්ම දූත සේවයේ නියැළීමට බලාපොරොත්තු වන ස්වාමීන් වහන්සේලාට ලබා දෙන්නේ මොනවගේ උපදේශයන් ද? හාමුදුරුවනේ

ජාත්‍යන්තර භාෂාවන් පිළිබඳ ඇති නිපුණතාව ධර්ම දූතයකුට ඉතාම වැදගත්. ඉංග්‍රීසි භාෂාව මෙන් ම ප්‍රංශ චීන භාෂාවන් පෙරමුණේ තිබෙන නිසා තරුණ භික්ෂූන් වහන්සේලා පිරිවෙන් හෝ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අතරතුර අතිරේකව පැය කිහිපයක් වැය කොට අඩුම වශයෙන් එක භාෂා සුදුසුකමක් වත් ලබා ගැනීම අවශ්‍ය යි. බොහෝ දෙනෙක් රටකට ගියාට පසුව භාෂාව හැදෑරීමට කල්පනා කිරීම ප්‍රායෝගික නැහැ. තම රටේදී ම සුදුසුකම් සපුරා ගැනීම වඩාත් පහසුයි. මානසික ආතතියෙන් මිදීමට විදේශිකයන් බෞද්ධ දර්ශනය හැදෑරීමට පෙර භාවනාවට නැඹුරු වෙන්න කැමැති නිසා භික්ෂුන් වහන්සේලාගෙන් එම පුහුණුව බලාපොරොත්තු වෙනවා. එය නිවැරැදිව පහදා දීමට හසළ පුරුද්දක් තිබීම අවශ්‍ය යි. එනිසා ධර්ම දූත සේවයේ දී භාවනා පුහුණුව අත්‍යාවශ්‍ය ම කාරණයක්. එම ප්‍රායෝගික පුහුණුව ලංකාවේ භාවනා මධ්‍යස්ථාන තුළින් ලබා ගත හැකි බව මා අත්දැකීමෙන් ම දන්නවා.

ආචාර්ය වල්පොල පියනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට තෙරුවන් සරණින් චිරාත් කාලයක් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා.