Print this Article


තාවකාලික සතුට හා සදාකාලික දුක

තාවකාලික සතුට හා සදාකාලික දුක

බුදු දහමට අනුව සැපය ලාභයකි. සාමාන්‍ය ජීවිතයේ දී බොහෝ පිරිස් ප්‍රාර්ථනා කරනුයේ මේ තත්ත්වයයි. මොන ඉන්ද්‍රිය මෙහෙයවා ක්‍රියා කළ ද සැප හෝ දුක දැනෙනුයේ මනසටයි. සැපය ලැබීමට භෞතික සම්පත් මෙන් ම සිතිවිලි කළමනාකරණය කර ගැනීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා බොහෝ ඉගැන්වීම් බුදු දහම දේශනා කරයි. බෞද්ධයකුගේ පරම සැපය, සදාකාලික සැපය නිවන වන අතර ඊට මෙහා ධාර්මික සීමාවන් තුළ ලබන සැපය බුදුදහම අනුමත කරයි. මෙහිදී ධාර්මික යනු මිනිසාට මෙන්ම ස්වභාව දහමට හානි නොකර ලබන විවිධ ලාභයන් ය.

සිතිවිලි කළමනාකරණය

භෞතික සම්පත් කළමනාකරණයේ දී සැපය ලැබීම පිළිබඳ විශේෂයෙන් අණන සූත්‍රය සුවිශේෂී වේ. තමාට ලැබෙන උපයන දේ තනිව ම භුක්තිවිඳීම නුසුදුසු ය. එය ස්මරණය කළ හැකි තත්ත්වයක් නොවේ. එසේ මතක් කළ ද ඇතිවනුයේ කළකිරීමකි. සම්පත් ලැබෙනුයේ තමා විසින් ම පරිභෝජනය කර අවසන් කිරීමට හෝ ආත්මාර්ථකාමීත්වයෙන් යුතුව අල්ලා ගැනීමට නොවේ. එසේ අල්ලා ගැනීම නිසා සැපයක් නැත. මේ ලෝක වශයෙන් සංසාරික ලැබිය යුතු සැප හතරක් අණන සූත්‍රයේ දී දක්වයි. එම සැපයන් ලැබීමට නම් ලැබෙන සම්පත් මෙන්ම සිතිවිලි කළමනාකරණය කළ යුතු ය.

එම සැප හතර මෙසේ ය.

අත්ථි සුඛ , භෝග සුඛ , අණන සුඛ , අනවජ්ජ සුඛ

යම් ආර්ථික සාමාජික ශක්තියක් අතැයි ඇතිවන සතුට අත්ථි සුබයයි. තම ජීවිත පැවැත්ම සඳහා අවශ්‍ය කරන මූලික සාධක සම්පූර්ණ වීම කෙනකුට අත නොපා ආත්ම ගෞරවය සහිත ජීවිතයක් ලැබීම සියල්ලෝ ම අපේක්ෂා කරති. ධර්මයෙහි මෙම ලාභය හඳුන්වන්නේ භව සමුදය ලෙසයි. උප උපන් ආත්ම භාවයන් තුළ (භවය) සමෘද්ධිමත් ව ශක්ති සම්පන්න ව කටයුතු කිරීම අවශ්‍ය ය. එසේ ශක්තියක් නොමැති නම් අනෙක් සියලු කාරණා ඇණ හිටී.

බෞද්ධයකුගේ අවසාන ප්‍රාර්ථනාව වූ නිවන ලැබීමට හෙවත් භව නිරෝධයට පත්වීම සඳහා ද භව සමුදය අවශ්‍ය ය. මෙහිදී විශේෂයෙන් අත්ථි සුඛය ලෙස දක්වන්නේ භව භෝග සම්පත් ය. එය අහසින් එක පාර කඩා වැටෙන්නක් නොව සකසා ගත යුත්තකි. ශක්තිය හැකියාව යනු ක්‍රම ක්‍රමයෙන් සකසා ගත යුත්තකි. එසේම වැය කිරීමේ දී පවා ක්‍රමවත් විය යුතු ය. එසේ නොමැති විට අත්ථි සුඛය ලද නොහැකි ය. භෞතික සම්පත් මනාව කළමනාකරණය කිරීම තුළ ඉහත දක්වන ලද සැපය අත්පත් කර ගැනීම පහසු ය.

බෙදාහදා ගැනීම

සැප අතර වඩා වැදගත් වන්නේ භෝග සුඛයයි. තමන් සතු දෑ බෙදා හදා ගනිමින් භුක්ති විඳීම නිසා ඇතිවන තෘප්තිය භෝග සුඛයයි. බොහෝ පිරිසකට මෙම සතුට ඇත්තේ නැත. මිල මුදල් භව භෝග සම්පත් ඇති බොහෝ දෙනකු තමා සැපවත්වීමට උත්සාහ කරනවා මිස අනුන් සැපවත් කිරීමට කටයුතු නොකරයි. එසේම තමාට ලැබුණ දේට වඩා නොලැබුණ දේ පිළිබඳ ශෝක ඇති කරගනී.

තමා ලද දේ තමන් නිවැරැදි ව පරිභෝජනය කරන ගමන් ම මව්පියන් දරුවන්, බිරිඳ, ඥාති හිතවත් මිය ගිය ඥාතීන් සේ ම අයබදු සඳහා වෙන් කළ යුතු ය. තමාගෙන් පරිසරයට, සතා සිව්පාවාට විය යුතු කාර්යය නොපිරිහෙළා ඉටුකළ යුතු ය. අනුන්ගෙන් තමාට ලැබිය යුතු සම්පත් පිළිබඳව නොව තමාගෙන් බාහිර පාර්ශ්වවලට ඉටුවිය යුතු කාරණාවන් මනාව සිදුකළ යුතු ය. මෙම කාරණාවන් පිළිබඳ සිහිපත් කර සොම්නසක් ඇති වන්නේ නම් එය භෝග සුඛයයි.

වංචාව, නාස්තිය තුළින් සාහසික, තාවකාලික සතුටක් අත්විය හැකි ය. නමුත් සදාකාලික දුකක් අත්වීම සාමාන්‍ය වේ. එවන් පිරිස් මිය යන්නේ ද සිහිමුලාවෙනි. එවිට භෝග සුබයක් ඇති වන්නේ කෙසේද?

ණයකරුවකු වුණොත්

මොනයම් කාරණාවක් නිසා හෝ කිසිදු පාර්ශ්වයකට මෙන්ම සමස්ත ලෝකයට ණය කාරයකු නොවේ නම්, ඒ තුළ ඇතිවන්නේ සැපයකි. බුදු දහම අණන සුඛය ලෙස විස්තර කරනුයේ මෙම තත්ත්වයයි.

හැදූ වැඩූ මව්පියන්ට මෙන් උපන් බිමට, ජාතියට, ආගමට, ගහකොළට, සතා සිව්පාවාට තමා ණය කාරයෙක් නොවේ නම් එය සැපයකි. සරලව පවසතොත් කූට බඩු නිසා හෝ වෙනයම් අවශ්‍යතාවක් නිසා ලෝකයට ණය කාරයකු නොවේ නම්, එතැන පවතිනුයේ අණන සුඛයයි. සියල්ලන්ට ම එම ගුණය ඇති වන්නේ නැත. මෙහිදී අනවජ්ජ සුඛය ලෙස විස්තර වන්නේ කර්මය කර්ම ඵල විශ්වාස කිරිම මත යහපත් ක්‍රියාකාරකම් සිදුකිරීමයි. නරකින් ඉවත්ව ඉතා නිවැරැදිව ජීවන පැවැත්මක් සකසා ගැනීම නිසා යමකු සතුටු වන්නේ නම්, එය සැපයකි. ඒ සඳහා බාහිර මෙන්ම ආධ්‍යාත්මික ක්‍රියාකාරකම් යහපත් විය යුතු ය. කෙසේ හෝ කොහොම හෝ ජීවත් වනවාට වඩා නිවැරැදි ලෙස ජීවත්වීම වැදගත් ය. එම තෘප්තිය ධර්මයෙහි හඳුන්වන්නේ අනවජ්ජ සුඛය ලෙසයි.

සැපය රඳා පවතින හැටි

සැපය රඳා පවතිනුයේ හුදෙක්ම බාහිර ක්‍රියාකාරකම් මත නොවේ. බාහිර වස්තු හෝ ක්‍රියාකාරකම් මනසින් කළමනාකරණය කර ගැනීම මත ය. සැපය තුරන් වීමට බලපාන ප්‍රධාන හේතුව සිතිවිලි නිවැරැදිව කළමනාකරණය කර ගැනීමට නොහැකි වීමයි. මේ බව විශේෂයෙන් නොයෙකුත් අවස්ථාවන් හි දී බුදුරදුන් අවධාරණය කළහ. සැපය ඇතිකර ගැනීමට හා එම සැපය නැතිවන අයුරු ධම්මපදයේ සුඛ වග්ගයේ දී අවධාරණය කෙරේ. පුද්ගලයා තුළ පවතින කෙලෙස් හෙවත් අයහපත් සිතුවිලි සැපය නැති වීමට හේතු වේ.

කෙලෙස් නිසා රෝගී වන ඇතැමුන් අතර එසේ නොවීමට හැකි නම් එය සැපයකි. වෛරයෙන් පිළිතුරු දෙන සමාජයට මෛත්‍රියෙන් කටයුතු කළ හැකි නම්, එකට එක කරන මිනිසුන් අතර එසේ නොකර සිටිය හැකි නම් එය සැපයකි. එකිනෙකා පරදා ජයග්‍රහණ සොයන මිනිසුන් අතර එසේ නොවී උපේක්ෂාවෙන් සිටිය හැකිනම් එය සැපයකි. එකිනෙකා පරයමින් අධික ව මහන්සිවී අනවශ්‍ය සම්පත් ගොඩගසා නොගෙන අවශ්‍යතාවේ සීමාව හා පරිභෝජන රටාව තේරුම් ගන්නේ නම් එය සැපයකි.

සීමා තිබිය යුතු තැන්

බොහෝ ගැටලු ප්‍රශ්න පැන නඟින්නේ පුද්ගලයා තුළ පවතින කය වචනයන්හි සීමාව හඳුනා නොගැනීම තුළ ය. සංයුක්ත නිකාය ජටා සූත්‍රයේ දී බුදුරදුන් දේශනා කරනුයේ ද සීලයෙහි පිහිටා චිත්ත සමාධිය නිර්මාණය කරගෙන ප්‍රඥාව ඇතිකර ගැනීම තුළ ප්‍රශ්න ගැටලු පැන නොනඟින බවයි.

මෙහිදී සීලය ලෙස දක්වනුයේ කය වචනයන්හි සංවරයයි. ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට සීමා තිබිය යුතු ය. සියල්ල තමාට ය. තමන්ට හිමිවිය යුතු ය. තමා විසින්ම භුක්ති විඳිය යුතුය. ලෙස කල්පනා කරමින් කටයුතු කිරීම බොහෝ ගැටලු ප්‍රශ්න පැන නැඟීමට හේතුවකි. සිතුවිලි මෙන්ම සම්පත් ද නිසි අයුරින් කළමනාකරණය වීම තුළ සැපය නිතැතින්ම නිර්මාණය වේ.

අතීතය පිළිබඳ ශෝක කිරීම හෝ අනාගතය පිළිබඳ අසීමාන්තික බලාපොරොත්තු නිර්මාණය කර ගැනීම අනවශ්‍ය ය. මහ පොළොවේ යතාර්ථය තේරුම් ගැනීම අතිශය වැදගත් ය. එසේම වර්තමානයේ නිවැරැදිව ජීවත්වීම වැදගත් ය. එවිට කායික පැහැපත් බව මෙන්ම, අනවශ්‍ය ලෙස සම්පත් අපතේ යාමක් සිදු නොවේ. තමන් වහන්සේ ගේ සම මෙතරම් පැහැපත් වූයේ අතීතය පිළිබඳ ශෝක නොකිරීමත්, නොපැමිණි අනාගතය පිළිබඳ අසීමාන්තික බලාපොරොත්තු නොවීමත්, වර්තමානයේ හොඳින් ජීවත්වීම නිසා බවත් බුදුරදුන් දේශනා කළේ එහෙයිනි. පි‍්‍රය වස්තු වැඩිවෙන්න වැඩිවෙන්න ඇතිවන්නේ දුකකි. එහෙයින් හැකිතාක් දුරට ජීවිතය සරල හෙවත් අල්පකෘත්‍යයන් ඇත්තෙක් විය යුතු ය. සියල්ල බදාගෙන පරිභෝග කරනවා වෙනුවට බෙදා ගැනීමට හුරුවිය යුතු ය. ලද දෙයින් සතුටුව අරපිරිමැස්මෙන් යුතු ජීවිතයක් සකසාගත යුතු ය.

බන්ධුල මල්ලිකාව බිමට වැටුණු එළඟිතෙල් බිංදු කිහිපය ගනු ලබන්නේ ලෝභකමකට නොවේ. ආනන්ද හිමියන්ට එතුමිය පවසන්නේ ඒ අරපිරිමැස්මට බවත් ය. ජීවිතයේ සෑම ක්‍රියාවක් ම වඩාත් නිවැරැදි වේ නම් එතැන පවතිනුයේ සැපයකි සතුටකි. සියල්ලෝ ම වෙර දරනුයේ මෙම තත්ත්වය ඇති කර ගැනීම සඳහා ය.