Print this Article


පාලි අට්ඨකථා විවරණය කළ ටීකා සාහිත්‍යය

පාලි අට්ඨකථා විවරණය කළ ටීකා සාහිත්‍යය

ලංකාවේ පාලි සාහිත්‍ය හා සම්බන්ධ ඉතිහාසය අනුව බුද්ධ වචනය නිර්වචනය කළ

පළමු සාහිත්‍ය අංගය වන්නේ පාලි අට්ඨකථාවන් ය. එය අනුරාධපුර යුගයට අයත් වේ. ඒ අනුව එම අවදිය අට්ඨකථා යුගය යනුවෙන් හැඳීන්වේ.

පාලි අට්ඨකථාවල අන්තර්ගත ගැඹුරු දහම් පද තවදුරටත් විවරණය කරමින් රචිත ටීකා සාහිත්‍යය පොළොන්නරු යුගයට අයත් වේ. මේ නිසා පොළොන්නරු යුගය ටීකා අවදිය ලෙස නම් කෙරේ.

ටීකා සාහිත්‍ය ලංකාවට පමණක් සීමා වූවක් නොවේ. ථෙරවාද බෞද්ධ රටක් වන බුරුමයේ විසූ ටීකාචාර්යන් වහන්සේලා විසින් සම්පාදිත ටීකා සාහිත්‍යයක් ද පවතී. බුදුරදුන් වදාළ සාතිශය ගැඹුරු දහම අධ්‍යනයෙහිලා අට්ඨකථාවල මෙන්ම ටීකාවලත් සහය අවශ්‍ය වේ. මෙබඳු ග්‍රන්ථ රචනා වීමෙන් පැහැදිලි වන්නේ ධර්මය හා විනය විවරණය කිරීමෙහිලා ථෙරවාද බෞද්ධ උගතුන් අතර පැවැති උනන්දුව යි.

ටීකාවකින් අපේක්‍ෂා කරන්නේ අටුවාවලින් ඉදිරිපත් කරන ලද අපැහැදිලි තැන් තවදුරටත් විවරණයකොට පැහැදිලි කිරීමයි. පාලි සාහිත්‍යයට අයත් ටීකා ප්‍රධාන වශයෙන් විනය ටීකා, සූත්‍ර ටීකා, අභිධර්ම ටීකා, ප්‍රකරණ ටීකා, ජන්දෝලංකාර ටීකා, ව්‍යාකරණ ටීකා යනුවෙන් ප්‍රභේද පහක් යටතේ වර්ගීකරණය කළ හැකි ය.

ත්‍රිපිටක අට්ඨකථා සඳහා ලියැවී තිබෙන ටීකාවලින් ධර්මයේ නොපැහැදිලි තැන් තවදුරටත් පැහැදිලි කරනු ලැබේ. ව්‍යාකරණ හා සම්බන්ධ ගැටලු තැන් විවරණය කිරීම ව්‍යාකරණ ටීකාවල අරමුණ වී තිබේ.

පාලි ටීකා සාහිත්‍යයේ ආරම්භය සිදු වන්නේ පොළොන්නරු පරාක්‍රමබාහු රාජ්‍ය කාලයේ දී ය. මෙම අවදියේ දිඹුලාගල කාශ්‍යප හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැතී සංඝ සංශෝධනයෙන් අනතුරුව ඇරඹි පාලි අට්ඨකථාවලට ටීකා ලිවීමේ පිළිවෙත ක්‍රමයෙන් වර්ධනය වන්නට විය. ටීකා සම්පාදනය කළ ආචාර්යවරුන් අතුරින් බදරතිත්ථ විහාරවාසී ධම්මපාල හිමියෝ ප්‍රධාන වෙති. උන්වහන්සේ විසින් බුද්ධඝෝස හිමියන්ගේ විසුද්ධිමග්ගයට පරමත්ථමංජුසා යනුවෙන් සුවිශේෂ ටීකාවක් සම්පාදනය කරන ලදි.

සෙසු ප්‍රධාන ටීකාචාර්යවරුන් දෙදෙනා වන්නේ සාරිපුත්ත හිමියන් හා ආනන්ද වනරතන හිමියන් ය. පොළොන්නරු අවදියේ වාසය කළ මෙම ආචාර්යන් වහන්සේලා දෙනමගේ ශිෂ්‍යයන් විසින් ද ටීකා ග්‍රන්ථ රැසක් සම්පාදනය කරනු ලැබ තිබේ.

ටීකා කරණයෙහි නියුක්ත ආචාර්යවරුන් අතුරින් වජිරබුද්ධි, චෝලිය කාශ්‍යප, සංඝරක්ඛිත, බුද්ධනාග, වාචිස්සර, සුමංගල, සද්ධම්මජෝතිපාල, ධම්මකිත්ති, බුද්ධරක්ඛිත, මේධංකර යන ලාංකික හා බුරුම ථෙරවාදි අචාර්යන් වහන්සේලා ප්‍රධාන වෙති.

බුරුම හා ලාංකික ථෙරවාදී ටීකාචාර්යන් වහන්සේලා විසින් සම්පාදිත ටීකා සාහිත්‍ය සුවිශාල ය. විවිධ විෂයයන්ට අයත් වේ. පාලි අට්ඨකථා සඳහා සම්පාදිත ටීකා අතුරින් සාරත්ථදිපනී, විමතිවිනෝදනී, විනයත්ථමංජුසා කංඛාවිතරණ ආදි ටීකා තුන විනය පිටකය හා සම්බන්ධ ය.

ලීනත්ථප්පකාසිනී යනුවෙන් හැඳීන්වෙන දීඝ මජ්ක්‍ධිම සංයුත්ත නිකායවලට අයත් ටීකා තුන ආචාර්ය ධම්මපාල හිමියන් විසින් සම්පාදිත ය.

සාරත්ථ මඤ්ජුසා නම් අංගුත්තර ටීකාව ටිකාචාර්ය සාරිපුත්ත හිමියන්ගේ රචනයකි. අභිධර්ම අටුවා සියල්ලම වෙනුවෙන් සම්පාදිත පරමත්ථප්පකාසිනී නම් අභිධම්ම මූල ටීකාව ටිකාචාර්ය ආනන්ද වනරතන හිමියන්ගේ රචනයකි. මෙම ප්‍රධාන ටීකා හැර වෙනත් ටීකා රැසක් ද ලංකාවේ මෙන්ම බුරුමයේ විසූ ටීකාචාරීන් වහන්සේලා විසින් සම්පාදනය කරනු ලැබ තිබේ. ඒ අනුව සමස්ත ටීකා සාහිත්‍යය නියෝජනය කෙරෙන මෙම ටීකාවලින් පාලි අට්ඨකථාවල එන ගැඹුරු ධර්ම කරුණු තවදුරටත් පැහැදිලි කිරීම හා විවරණය කිරීම සිදුව තිබේ.

සාරත්ථදීපනී ටීකාව සමන්තපාසාදිකා විනය අටුවාවට ලියවුණු ටීකාවයි. එහි රචකයා පොළොන්නරු යුගයේ විසූ සාරිපුත්ත මහා ස්වාමීන් ය. මෙයට අමතරව විමතිවිනෝදනී හා විනයත්ථ මංජුසා හෙවත් කංඛාවිතරණා යනුවෙන් විනය ටීකා දෙකක් ද රචනා වී තිබේ. එයින් පළමු වැන්න චෝළියකාශ්‍යප මහාතෙරුන් වහන්සේ විසින් සම්පාදිත ය. දෙවැන්න සම්පාදනය කරන ලද්දේ බුද්ධනාග තෙරුන් විසිනි.

මෙම විනය ටීකා අතුරින් සාරිපුත්ත හිමියන්ගේ සාරත්ථදීපනී විනය ටීකාව ශාසනික ඉතිහාසය හැදෑරීමේ දී බෙහෙවින් වැදගත් වේ. එයට හේතුව වෙනත් මූලාශ්‍රයක සඳහන් නොවන තෙවන සංගායනාව පිළිබඳ තොරතුරු එහි ඇතුළත් වන හෙයිනි.

සාරත්ථ මංජුසා නම් අංගුත්තර ටීකාව ද සාරිපුත්ත හිමියන්ගේ රචනයකි. අටුවාචාරීන් වහන්සේලා අතර ප්‍රධානත්වය බුද්ධඝෝස හිමියන්ට ලැබෙන අතර ටීකාචාර්යන් අතර ප්‍රමුඛතාව ලැබෙන්නේ පොළොන්නරු යුගයේ විසූ සැරියුත් හිමියන්ට ය.

ත්‍රිපිටකයේ ප්‍රධාන අට්ඨකථාවලට ලියවුණු ටීකාවලට අමතරව ටීකා සාහිත්‍යයට අයත් වෙනත් ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් ද හඳුනාගෙන තිබේ. ලංකාවේ අභිධර්මය හදාරණ ගුරු ශිෂ්‍ය දෙපිරිස ම විසින්ම බහුල වශයෙන් භාවිත කරනු ලබන අභිධර්ම ග්‍රන්ථය වන්නේ අනුරුද්ධ හිමියන් විසින් ලියන ලද අභිධම්මත්ත සංගහයයි. අභිධර්මාර්ථ සංග්‍රහය යනුවෙන් සිංහලට පරිවර්තනය කොට ඇති මෙම ජනප්‍රිය ග්‍රන්ථය සඳහා සාරිපුත්ත හිමියන්ගේ ශිෂ්‍යයකු වන ටීකාචාර්ය සුමංගල නම් හිමිනමක් විසින් අභිධම්මත්ථවිභාවිනී යනුවෙන් ටීකාවක් සම්පාදනය කර ඇති අතර එය ද අභිධර්මය හදාරන්නවුන් විසින් පරිශීලනය කරනු ලැබේ.

පාලි භාෂාවේ ව්‍යාකරණ ග්‍රන්ථ සඳහා සම්පාදිත ටීකා ග්‍රන්ථ රැසකි. රූපසිද්ධිටිකා බලාවතාර පුරාණ ටීකා ආදිය එයට නිදසුන් වේ. පාලි භාෂාවේ ව්‍යාකරණ හා සම්බන්ධ ගැටලු තැන් නිරවුල් කිරීමෙහිලා මෙම ටීකා ග්‍රන්ථ බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

දිවයිනේ ඉතිහාසය හා සමාජ සංස්කෘතික ජීවිතය පිළිබඳ අධ්‍යනය කිරීමේ දී ටිකා සාහිත්‍ය ඓතිහාසික මූලාශ්‍ර ලෙස භාවිත කළ හැකිය. මහාවංසය සඳහා සම්පාදිත වංසත්තප්පකාසිනී නම් මහාවංස ටීකාවෙහි ඇතුළත්වන තොරතුරු ඓතිහාසික වශයෙන් බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. ටීකාවල අන්තර්ගත නිදසුන් කතා බොහෝමයක් ලංකාව හා සම්බන්ධ ය. එබැවින් ලංකා ඉතිහාසය මෙන්ම ලංකා සමජය පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී මෙම කතා බෙහෙවින් වැදගත් වේ.

ධර්ම විනය සම්බන්ධයෙන් ටීකාචාර්යවරුන් අතර විවිධ මතවාද පැවති බව විමතිවිනෝදනී ටීකාව ලියූ චෝළිය කාශ්‍යප හිමියන් සාරිපුත්ත හිමියන්ගේ සාරත්ථදීපනියේ අන්තර්ගත ඇතැම් මතවාද හා විවරණ විවේචනයට භාජනයකර තිබේ. මෙයින් පැහැදිලි වන්නේ ධර්ම විනය උගත් භික්‍ෂූන් අතර පැවැති බුද්ධිමය සංවාදයේ ස්වභාවයයි.

ඉහතින් දැක්වූ පරිදි අටුවා මෙන්ම ටීකා සම්පාදනයේ අරමුණ වූයේ ත්‍රිපිටක බුද්ධ වචනය තවදුරටත් විවරණය කොට පැහැදිලි කිරීම ය. පාලි අට්ඨකථා රචනා වූයේ ත්‍රිපිටකය සඳහා පමණි. ත්‍රිපිටකය හැර පාලි භාෂාව හා එහි ව්‍යාකරණය සම්බන්ධයෙන් ද ටීකා ග්‍රන්ථ සම්පාදනය වී තිබේ.

ත්‍රිපිටක බුද්ධ වචනය පැහැදිලි කළ හා විවරණය කළ අට්ඨකථාවට මඟහැරුණු ධර්ම කොටස් මෙන්ම අපැහැදිලි තැන් නිරවුල් කිරීමේ අරමුණින් ලියවී ඇති ටිකා ග්‍රන්ථ බෞද්ධ සාහිත්‍යයට අයත් තවත් සුවිශේෂී සාහිත්‍යය අංගයක් ලෙස නම් කළ හැකි ය.