Print this Article


පහන් සිතක කවි

මෙවර ජයග්‍රාහී කවිය

උපන්දින තෑග්ග

හැට තුන් වසක දිවි ගමනට පය තැබුණා
එනමුදු එකී දිවියෙහි අඩුවක් දැනුණා
තෙවලා දහම කියවන්නට මුල පිරුණා
එය මගෙ උපන්දින ත්‍යාගයකැයි සිතුණා

සැමදුක් නසන අම නිවනට යොමු කරන
ලැබ ගෙන කසාවත සිල් ගුණයෙන් පිරුණ
වෙහෙරක අධිපති ව බුදු සුවඳම හමන
ඇයි තව පමා ඇසි දිසි මානයෙ නිවන

රා දොස් මෝහයෙන් ගිනි ගත් හිත නිවනා
සිව් දෙස දනෝ බුදුගල වෙහෙරට ඇදුණා
මගේ සිතට ඒ බුදු සිසිලම දැනුණා
කය මෙහි තිබියදී සිත ඒ මඟ ඇදුණා

එක එක කරුණු කියමින් වී පසුබෑම
සිදු වුවහොත් නොමැත සසරින් ගැලවීම
අතහැර දමා මේ රැස් කළ හැම දේම
අප යා යුතුයි යා යුතු මග තනියේ ම

****

සුවඳ මලින් මුනිඳු පුදමු

මුළු ලොව දිනූ ඒ තිලෝගුරු මුනින්දා
මෙත් ගුණ පතුරා සිරිලක වැඩි හින්දා
ලක් වැසි දනන් ජය පිට ජය කොඩි බන්දා
කැලණියෙ විහාරේ අපි සතුටින් වැන්දා

යහපත් දේ ම කර රට දැය රැක ගනිමු
දිවි මග සරු කරගෙන අපි දිවි රකිමු
තෙරුවන් ගුණ දැන නිති පන්සිල් රකිමු
සුවඳ මලින් අපි බුදු සමිඳුන් පුදමු

****

මතු පැතුම

භව භව ගානෙ අසරණයන් සොයා ගියා
ගිය ගිය වාරෙ සත සිත දුක නිවා තියා
තව තව හිතේ ඇති කරුණා දයා නියා
පෙනි පෙනි අම නිවන් අත හැරි තිලෝ පියා

පුර පුර පාරමී ආ ඒ ගමන අගේ
සිඳ බිඳ දැමූ කෙලෙසුන් සම්බුදුනි අගේ
එල එල මහා කරුණා දැල දැමුව මගේ
තව තව ඈත ඈතට මම ගියා වගේ

පිට පිට එකට හිමියනි ඔබ මඟ හැරුණා
තැවි තැවි නො ඉද යමි ඔබ ගත් මඟ කරුණා
ගොඩ ගොඩ කුසල දම් පුරවා ගෙන වඩිනා
මතු මතු මෙතේ බුදු හිමි දකිනෙමි එදිනා

****

ලෝ දහම

නෙතට හසුවන මායිමේ ඇති
සියල්ලෙ ම මුල් සිඳී යනවා
ලොවට දහමක් කියාදී එය
දිනෙක සදහට තුරන් වෙනවා
සිතට උපදින උතුම් සිතුවිලි
සදාකල්හි ම පිබිද එනවා
ඇසට නොපෙනෙන ලෝකයක් තුළ
ආත්මය පරිශුද්ධ වෙනවා

****

උතුම් නිවන

තිළකුණු පසක් කර
විදසුන් වඩන උතුමන්
පස් උපාදානස්කඳ
නසා එළැඹෙයි රහත් ඵලයට
එතැනට උපත නිම වෙයි
ඒ නම් උතුම් නිවනයි