Print this Article


උසස් ශාසනික සේවයක් සිදු කිරීම එකම ප්‍රාර්ථනාවයි

උසස් ශාසනික සේවයක් සිදු කිරීම එකම ප්‍රාර්ථනාවයි

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා මහෝපාධ්‍යාය අමරපුර ශ්‍රී කල්‍යාණිවංස පාර්ශ්වයේ මහානායක ධූරන්ධර විපස්සනා කම්මට්ඨානාචරිය අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය

ශ්‍රී ලංකා අමරපුර කල්‍යාණිවංස පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වශයෙන් වැඩසිටින ඔබ වහන්සේ ගේ පැවිදි ජීවිතය අර්ථවත් කර ගැනීමට ආභාසය ලැබුණේ කුමන ආකාරයෙන් ද?

මම 1939 වර්ෂයේ දෙසැම්බර් 20 වැනිදා දොඩම්පහල අළුත්ගොඩදී උප්පත්තිය ලැබුවා. එදිරිවීර පටබැඳීගේ සරණේලිස් සිල්වා මහතා සහ එදිරිසූරිය පටබැඳීගේ මිසිනෝනා උපාසිකා මාතාව බොහොම ශ්‍රද්ධා බුද්ධි සම්පන්න සදාදරණීය මව්පිය දෙපළක්. කුඩා කාලයේ දී දොඩම්පහළ මධ්‍ය මහා විද්‍යාලයෙන් 4 වැනි ශ්‍රේණිය දක්වා මූලික අධ්‍යාපනය ලබා ගත්තා. වැල්ලවත්ත ජයතිලකාරාම දහම් පාසල තුළින් දහම් අධ්‍යාපනය ලැබුවා. මේ කාල වකවානුවේ දී කුඩාවැල්ලේ වාලුකාරාමාධිපති මාතර ශ්‍රී සද්ධාරාම නාහිමිපාණන් වහන්සේ අපේ සීයාත් සමඟ ඉතා සමීපව ඇසුරු කිරීම නිසා උන්වහන්සේ විටින් විට නිවසට වැඩම කළා. ඒ කාලයේ පුඤ්ඤරතන නමින් පැවිදි වී පසුව උපැවිදිවුණ අබේසූරිය ඥාතිවරයාගේ මඟ පෙන්වීමත්, කුඩාවැල්ලේ හාමුදුරුවන් වහන්සේගේ සමීප ඇසුරත් නිසා පැවිදිවීමේ ආසාවක් ඇති වුණා. 1950 වර්ෂයේ මුල් භාගයේ කුඩාවැල්ලේ හාමුදුරුවන්ගේ මඟපෙන්වීම ඇතිව මාතර ජයමහා විහාරස්ථ වීරබා පිරිවෙනින් ගිහි අධ්‍යාපනය ලබාගෙන මාස කිහිපයක් සාමණේර බණ දහම් පොත ප්‍රගුණ කළා.

1950 වර්ෂයේ නොවැම්බර් 25 වැනිදා මාතර නූපේ ජයමහා විහාරාධිපති විද්‍යාවිශාරද පණ්ඩිත මාතර මේධානන්ද නාහිමිපාණන් වහන්සේගේ හා කුඩාවැල්ල වාලුකාරාමාධිපති මාතර ශී‍්‍ර සද්ධාරාම නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් දොඩම්පහළ චන්ද්‍රසිරි යන උතුම් ශාසනික නාමයෙන් කුඩාවැල්ල වාලුකාරාම විහාරස්ථානයේ දී පැවිදි බව ලබාගෙන නැවතත් මාතර වීරබා පිරිවෙන වගේම ගාල්ල විද්‍යාලෝක පිරිවෙනින් පිරිවෙන් අවසානය දක්වා ධර්ම ශාස්තී‍්‍රය අධ්‍යාපනය ලැබුවා. ඒ වගේම කුඩා කාලයේ සිටම පිණ්ඩපාතයේ වැඩම කරමින් වත් පිළිවෙත් ඉගෙන ගනිමින් අධ්‍යාපනය ලබාගෙන අල්පේච්ඡ ජීවිතයට හුරුපුරුදු වුණා. 1962 වර්ෂයේ ජූනි 17 වැනි දින ශී‍්‍ර කල්‍යාණිවංස නිකායේ එවකට මහානායක ධූරන්ධර කීර්තී ශී‍්‍ර මාතර මේධානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් මාතර ශී‍්‍ර සද්ධාරාම නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් මාතර නිල්වලා නදී උදකුක්ඛේප සීමාමාලකයේ දී උතුම් උපසම්පත්තිය ලබාගැනීමට පුණ්‍යවත්ත වුණා.

ඒ වගේම කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයට වැඩම කරමින් කහටපිටියේ සුමතිපාල නාහිමියන්ගෙන් භාවනා පුහුණු කරමින් කම්මට්ඨානාචරිය යන ගෞරව නාමයෙන් පිදුම් ලැබුවා. දෙමටගොඩ මහා විසුද්ධාරාම ති‍්‍රපිටක ධර්මායතනයෙන් ති‍්‍රපිටක ධර්මය හැදෑරීමට කටයුතු කළා.

1982 වර්ෂයේදී ශ්‍රී කල්‍යාණිවංස මහා නිකායේ කරක සංඝ සභාවට පත්වෙලා එම වර්ෂයේදී ම තපෝවන සංඝ සභාවේ සභාපති පදවියත්,මාතික මාතා සමිතියේ යාවජීව අනුශාසක ධූරයත් , සමස්ත ගෝතම තපෝවන සේනාසනයන්හි අනුශාසකත්වයටත් පත්වුණා. 1983 වර්ෂයේ දී දොඩන්දූව ශෛලබිම්බාරාම මූලස්ථානයට රැස් වූ ශී‍්‍ර කල්‍යාණිවංස නිකායේ මහා සංඝ සභාව වංගීස වංසාලංකාර කම්මට්ඨානාචරිය ගෞරව නාම සහිතව තපෝවන ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබුවා. ගෝතම තපෝවන මූලස්ථානයට රැස් වූ භදත්ත ශී‍්‍ර අනෝමදස්සී මහ නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සංඝ සභාව අමරපුර ශී‍්‍ර කල්‍යාණිවංස නිකායේ අධිකරණ සංඝ නායක පදවිය පිරිනැමුවා. ඒ වගේම බටපොල ශී‍්‍ර සුභද්‍රාරාම විහාරස්ථානයට රැස් වූ කාරක මහා සංඝ සභාව ශී‍්‍ර කල්‍යාණිවංස මහා නිකායේ අනුනායක ධුරයට පත්කළා. 1996 වර්ෂයේ මාර්තු 31 වන දින දොඩන්දූව ශෛලබිම්බාරාම මහා විහාරයට එක්රැස් වූ මහා කාරක සංඝ සභාව කල්‍යාණිවංස කීර්තී ශී‍්‍ර වංගීස වංශාලංකාර විපස්සනා කම්මට්ඨානාචරිය යන ගෞරව නාමය සහිතව මහානායක ධූරයට පත්කර ගත්තා. 2013 වර්ෂයේ පෙබරවාරි 23 දින ශී‍්‍ර ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පදවියේ අක්තපත්‍ර ප්‍රදානය එවකට අතිගරු ජනාධිපති වර්තමාන අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

ඔබ වහන්සේගේ විදේශීය ධර්මදූත සේවයත්, ජාතික ආගමික ශාසනික කටයුතු පිළිබඳවත් පැහැදිලි කරනවා නම්,

ඉන්දියාව, නේපාලය, තායිලන්තය. මියන්මාරය, තායිවානය චීනය , සිංගප්පූරුව,වියට්නාමය එංගලන්තය, අමෙරිකාව, කැනඩාව වගේම මැදපෙරදිග රටවලත් ධර්මදුත කටයුතු සඳහා වැඩම කර තිබෙනවා. 1962 සිට කලපළුවාව ගෝතම තපෝවනයේ ඉදිකිරීම් කටයුතු සඳහා පූර්ණ දායකත්වය ලබාදුන්නා.

ගෝතම තපෝවන නිර්මාතෘවර කුඩාවැල්ලේ වංගීස නාහිමිපාණන් වහන්සේ සමඟ 1965 වර්ෂය වන විට දිවයින පුරා තපෝවන ශාඛා මධ්‍යස්ථාන කිහිපයක්ම ඇති කළා. මිහින්තලේ කළුදිය පොකුණ තපෝවනය මුලින් ම ආරම්භ කළා. 1966 වන විට කෑගල්ල අභයභූමි තපෝවනයත්, 1967 දී පදවිය පදවිපුර තපෝවනයත්,1968 දී මහනුවර උඩවත්ත කැලේ ශී‍්‍ර දළදා තපෝවනයත්, ආරම්භ කළා. ඒ වගේම මව්වරුන් වෙනුවෙන් මාතික මාතා තපෝ සෙවණත්,කුමාර කාශ්‍යප ළමා නිවාසයත් වංගීස හිමියන් සමඟ ආරම්භ කළා.

ශ්‍රී වංගීස මූලික පිරිවෙන ආරම්භ කරමින් තපෝවනයේ අධ්‍යාපන සේවය ද, උසස් මට්ටමින් පවත්වාගෙන යෑමට කටයුතු කළා. ඒ අනුව නාහිමිපාණන් වහන්සේගේ අදහස් මුදුන්පත් කිරීමට ආරම්භ කළ ශී‍්‍ර වංගීස පිරිවෙන නිසා සිදුවන සේවය විශාලයි. ආදි කර්තෘ කුඩාවැල්ලේ වංගීස ගුරුදේවයන් වහන්සේ ගේ තුන්මස ගුණ සමරු පින්කම වෙනුවෙන් නාහිමිපාණන් වහන්සේ ආරම්භ කරන්නට යෙදුන ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ ගේ වැඩ අවසන් කිරීමට හැකිවීමත් සතුටු විය හැකි කරුණක්. මාගේ එකම අධිෂ්ඨානයත්,බලාපොරොත්තුවත් අන්‍යයන් වෙනුවෙන් සේවය කොට ලෝක ශාසනයටත්, සමාජයටත් සේවයක් සැලසීම යි. මා ලබන එකම සතුටත් එයමයි. අපවත්වී වදාළ අප ගුරුදේව නාහිමිපාණන් වහන්සේ විසින් උදාර අදහස් රාශියක් මුල්කරගෙන මෙම ආයතන, සිසු පිරිස, දායක පිරිස ඇති කළා. මගේ එකම ප්‍රාර්ථනාව එම සේවාවන් නොපිරිහෙළා ඉදිරියට ගෙන යාමයි. මූලස්ථානය ප්‍රධාන ශාඛා මධ්‍යස්ථානවලින් සිදුවන උසස් සේවය ඉදිරියටත් ඒ ආකාරයෙන් ම අප හැමදෙනා ම එක්ව ගෙනයාම මගේ එකම අධිෂ්ඨානය යි. ඒ වගේ ම පොදුවේ සියලු නිකායික භික්ෂුන් වහන්සේලා සමඟ සමඟි සම්පන්නව හැමදෙනාට ම උපකාර වෙමින් උසස් ශාසනික සේවයක් ඇතිකරලීම මගේ එකම උතුම් ප්‍රාර්ථනාව යි.

ශාසනභාරධාරී මහ තෙරනමක් වශයෙන් වැඩසිටින ඔබ වහන්සේ ලබාගත් අත්දැකීම් අනුව නූතන භික්ෂු පරපුරට ලබාදෙන අවවාද අනුශාසනා මොනවගේ ද?

අපි කුඩා කල සිටම හැදුණේ වැඩුණේ ගුරු හාමුදුරුවන් වහන්සේලාගේ ඇසුරේ. එම ඇසුර උත්තරීතර පැවිදි ජීවිතයක් ලබා ගැනීමට බොහෝ සේ ඉවහල් වුණා. වර්තමානය වන විට බෝහෝ ස්ථානවල එවැනි ස්වභාවයක් දකින්න නැහැ. ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම් රටාව දකින විට කනගාටුවක් ඇති වෙනවා. කෙතරම් උපාධි ලැබුවත්, විශ්ව විද්‍යාලවල ඉගෙන ගත්තත් ඵලක් නැහැ. භික්ෂු ආකල්ප නැත්නම් උගත්කම් කෙතරම් තිබුණත් භික්ෂුවක් වන්නේ නැහැ, ඒ නිසා මේ ථේරවාදී සම්ප්‍රදාය තුළ හොඳ ගුණධර්ම ඇති භික්ෂු පිරිසක් බිහිකර ගැනීමට අප උත්සාහවත් විය යුතුයි. එවැනි පිරිසක් අනාගත ශාසන භාරකාරිත්වයට පත්විය යුතුයි.