Print this Article


භාග්‍යවතුන් වහන්සේගේ විශාරද ඤාණ සතර

භාග්‍යවතුන් වහන්සේගේ විශාරද ඤාණ සතර

අපගේ ශාස්තෘන් වහන්සේ කෙලෙස් රහිත විතරාගී, වීතදෝෂී, වීතමෝහී උතුමන් වහන්සේ නමකි. භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍යය අවබෝධ කොට වදාළේ ස්වයංභූ ඤාණයෙනි.

එනම් තමන් වහන්සේගේ උත්සාහයෙන් ම,යෝනිසෝ මනසිකාරය තුළින් උපදවාගත් ඤාණයෙනි. දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුළ සුවිශේෂී වූ ඤාණ බල සතරක් පිහිටා තිබූ අතර ඒවා හැඳීන්වූයේ විශාරද ඤාණ යනුවෙනි.

අභීත තැන වැඩසිටින භාග්‍යවතුන් වහන්සේ

“පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ හට විශාරද ඤාණ සතරක් ඇත. ඒ විශාරද ඤාණයන්ගෙන් යුක්ත වූ තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රතිඥා දෙයි. පිරිස් මැද සිහ නද පතුර යි. ශ්‍රේෂ්ඨ වූ චක්‍රය වන ධර්ම චක්‍රය කරකවයි. (චත්තාරිමානි භික්ඛවේ තථාගතස්ස වේසාරජ්ජානි. යේහි වේසාරජ්ජේහි සමන්නාගතෝ තථාගතෝ ආසභං ඨානං පටිජානාති. පරිසාසු සීහනාදං නදති. බ්‍රහ්මචක්කං පවත්තේති.) ඒ සුවිශේෂී වූ අසිරිමත් ඤාණ සතරේ පළමු ඤාණය ශාස්තෘන් වහන්සේ වදාළේ මෙලෙසිනි.

“ගුරූපදේශ රහිතව සම්මා සම්බුද්ධත්වයට පත්වූ බවට ප්‍රතිඥා දෙන නමුත් ඔබ විසින් මේ මේ ධර්මයෝ අවබෝධ නො කරන ලද්දාහුය’ වශයෙන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ දෙවියෙක් හෝ මාරයෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ ලෝකයෙහි කිසිවෙකු හෝ කරුණු සහිතව මාහට චෝදනා කරන්නේ ය යන කරුණ පිළිබඳ ව නිමිත්තක්වත් මම නොදකිමි. එබඳු නිමිත්තක්වත් මම නොදකින්නේ භය නැති තැනට පත්වී සිටිමි. නිර්භය ව සිටිමි. විශාරද බවට පත් වී වාසය කරමි.”

බුදුරජාණන් වහන්සේ ගුරූපදේශ රහිතව චතුරාර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කළ බව පළමු විශාරද ඤාණය යි. දිනක් සිංසපා නම් ඇට්ටේරියා වනයේ දී ඇට්ටේරියා කොළ මිටක් අතට ගෙන භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාගෙන් මෙසේ විමසා වදාළා.

“මහණෙනි, මේ මගේ අතේ තිබෙන කොළ ද වැඩි, වනාත්තරයේ තිබෙන කොළ ද වැඩි?” කියා. “ස්වාමීනී, අතේ තිබෙන කොළ ස්වල්පය යි. වනාත්තරයේ තිබෙන කොළ ප්‍රමාණය ඉතා විශාලයි.” කියා පිළිතුරු ලැබුණා. “පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේගේ අවබෝධය මේ වනාන්තරයේ කොළ මෙන් ඉතා විශාලයි. මම අවබෝධ කළ දෙයින් ඔබට දේශනා කරන්නේ අතට ගත් කොළ ප්‍රමාණය මෙන් ස්වල්පය යි. එය ඔබට ධර්මාවබෝධය පිණිස ප්‍රමාණවත්” යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළා. භාග්‍යවතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය එතරම් ම පරිපූර්ණ වූවක් නිසා “සම්මා සම්බුදු වුණත් ඔබ වහන්සේ මේ මේ දේ අවබෝධ කර නැහැ” කියා කිසිවෙකුටත් හේතු සහිතව අභියෝග කළ නොහැකියි. එය භාග්‍යවතුන් වහන්සේගේ පළමු විශාරද ඤාණය යි.

ආශ්‍රවයන් ක්ෂය වීම පිළිබඳ අභියෝග නොමැත

“මහණෙනි, මම ආශ්‍රවයන් ක්ෂය කළ කෙනෙක්මි යි ලොවට ප්‍රතිඥා දෙමි. මෙහිලා ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා මාරයෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා ලෝකයෙහි අන් කවරෙක් හෝ සත්‍ය කරුණු පදනම් කොටගෙන ‘ඔබ විසින් මේ මේ ආශ්‍රවයෝ ක්ෂය කොට නැත්තාහ’ කියා මට චෝදනා කරන්නේය යන්න පිළිබඳව නිමිත්තක්වත් ඒකාන්තයෙන් මම නොදකිමි. මහණෙනි, මෙබඳු නිමිත්තක්වත් නොදක්නා මම අභීත බවට පත්ව සිටිමි. බිය රහිතව සිටිමි. විශාරදව සිටිමි. මෙසේ රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කොට සියලු ආශ්‍රවයන් නසා ගුරු උපදේශ රහිතව රහතන් වහන්සේ නමක් බවට පත්වීම භාග්‍යවතුන් වහන්සේගේ දෙවැනි විශාරද ඤාණය යි. බුදුරජාණන් වහන්සේගෙන් පසු සියලු දෙනා අරහත්වයට පත්වූයේ ගුරු උපදේශ සහිතව ම යි. නමුත් බුදුරජාණන් වහන්සේ සියලු ආශ්‍රවයන් දුරු කළේ තමන් වහන්සේ තුළින් ම උපදවාගත් ස්වයංභූ ඤාණයෙන් ම යි. භාග්‍යවතුන් වහන්සේ සියලු දුකින්, සියලු බන්ධනයන්ගෙන්, සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වූ උතුමෙකි. බුද්ධගයා බෝධි මූලයේ දී, වෙසක් පුන් පොහෝ දා සම්බුද්ධත්වය ලබන මොහොතේ දී උන්වහන්සේගේ සිත කිසිවක් අල්ලා නොගෙන සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වී ගියේ ය. ඒ විතරාගී, වීතදෝෂී, වීතමෝහී නික්ලේශී බව සම්බන්ධයෙන් කිසිදු අභියෝගයක් නොමැති බව භාග්‍යවතුන් වහන්සේගේ දෙවන විශාරද ඤාණය යි.

නිවන් මඟට අනතුරුදායක දේ පිළිබඳ අභියෝග නොමැත

“මහණෙනි, නිවන් මගට අන්තරායකර වූ යම් මේ අකුසල ධර්මයෝ තිබෙති’යි මා විසින් වදාරන ලදහ. මෙහිලා ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා, ලෝකයෙහි අන් කවරෙක් වේවා සත්‍ය කරුණු පදනම් කොට, ඒ අන්තරායකර අකුසල ධර්මයන් සේවනය කරන්නහුට නිවන් අවබෝධයට බාධාවක් නැත්තේය කියා මට චෝදනා කරන්නේය යන්න පිළිබඳව නිමිත්තක්වත් ඒකාන්තයෙන් මම නොදකිමි. මහණෙනි, මෙබඳු නිමිත්තකුදු නොදක්නා මම අභීත බවට පත්ව සිටිමි. බිය රහිතව සිටිමි. විශාරදව සිටිමි.”

බුදුරජාණන් වහන්සේ සංසාර ගත සත්වයා කෙරෙහි අනුකම්පාවෙන්, තමන් විසින් අනුදැන වදාළ ධර්මය තුළින් අනතුරුදායක දේවලින් වැළකී සිටින ලෙස අනතුරු අඟවා තිබෙනවා. සතර අපායන්හි දුක් විඳීන කෝටි ප්‍රකෝටි සත්ව ජීවිත දැක උපන් මහා කරුණාවෙනුයි උන්වහන්සේ එසේ පෙන්වා දී තිබෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ එසේ ඉවත් වී සිටිය යුතු අකුසල් ලෙස පෙන්වූ සියල්ල කිසිම දිනක කරුණු සහිතව අනතුරක් නැතැයි කියා ඔප්පු කළ නොහැකි වීම තුන්වන විශාරද ඤාණය යි.

භාග්‍යවතුන් වහන්සේ ලෝභය, ද්වේෂය, මෝහය, මිත්‍යාදෘෂ්ටිය, ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනය, බොරු කීම, මත්පැන් පානය, වංචාව, පලිගැනීම, ඉරිසියාව ආදිය බැහැර කළ යුතු බවත් අනතුරු දායක බවත් පෙන්වා වදාළා. ඒවා අනතුරුදායක නැත කියා කරුණු සහිතව පෙන්වා දීමට සමත් කිසිවෙක් සමස්ත ලෝක ධාතුවේ ම නැහැ. එය භාග්‍යවතුන් වහන්සේගේ දෙවැනි විශාරද ඤාණය යි.

කෙලෙස් නැසුමට වදාළ ධර්මය පිළිබඳ අභියෝග නොමැත

“මහණෙනි, රාගාදී කෙලෙස් ප්‍රහාණය පිණිස මා විසින් යම් ධර්මයක් දේශනා කොට ඇද්ද, මෙහිලා ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා ලෝකයෙහි අන් කවරෙක් හෝ සත්‍ය කරුණු පදනම් කොට ඒ ධර්මයෙහි හැසිරෙන්නකුට මනාව කෙලෙස් ප්‍රහාණය පිණිස හේතු නොවන්නේ ය කියා මට චෝදනා කරන්නේ යන්න පිළිබඳව නිමිත්තකුදු නොදක්නා මම අභීත බවට පත්වී සිටිමි. බිය රහිතව සිටිමි. විශාරදව සිටිමි.”

එසේ නම් භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කළේ දුක් කෙළවර කිරීම පිණිස යි. සංසාර දුකින් අත්මිදීම පිණිස යි. උතුම් ධර්මාවබෝධය පිණිස යි. එම නිසා කිසි දෙවියකුට, මාරයකුට, බ්‍රහ්මයකුට, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ලොවේ කිසිවෙකුටවත් එය එසේ නොවේ යැයි කරුණු සහිතව ප්‍රකාශ කළ නොහැකියි.

මේ අනුව අපට පෙනී යනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙතරම් පරිපූර්ණ ද යන වග. විශාරද ඤාණ සතර කෙතරම් පරිපූර්ණ ඤාණ සතරක් ද කියා. මේ මානව ඉතිහාසයේ වෙනත් කිසිදු ශාස්තෘවරයෙක් මෙසේ තම විශාරදත්වය පිළිබඳ ප්‍රතිඥා දී නැහැ. අපගේ ශාස්තෘන් වහන්සේගේ පරිපූර්ණ වූ විශාරදත්වය ශ්‍රාවකයන්ට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමට විශාල ශක්තියක්. අවබෝධයෙන් ම තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයකු ලද වාසනාව වචනවලින් ප්‍රකාශ කොට අවසන් කරන්නට බැහැ. ආර්ය මාර්ගය කෙනෙකු ශ්‍රේෂ්ඨත්වයට පත්කරවනවා.

මෙලොව වෙනත් කිසිම ධර්මයක් ජීවිතයට මෙවන් වටිනාකමක් ලබා දෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මිනිස් දිවියට පරිපූර්ණ අත්වැලක් සපයනවා. දිවියට නව අරුතක් ආලෝකයක් උදාකරවනවා.