Print this Article


චේතනාව කර්මය උසුලා සිටී

චේතනාව කර්මය උසුලා සිටී

බුදු දහම තුළ දක්වා ඇති පරිදි අප බාහිර වශයෙන් දකින කර්මය හුදකලා වූවක් නොවේ. එයට හේතුව එය චේතනාවක් සමඟ සාපේක්ෂව පවතින්නක් බැවිනි. ඒ පිළිබඳව පැහැදිලි කොට ඇත්තේ, “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා” යනුවෙනි.

කර්මය නම් වූ පුද්ගල ක්‍රියාව සුත්ත නිපාතයේ වාසෙට්ඨ සූත්‍රය තුළින් පැහැදිලි කොට ඇත්තේ ජාතිය නොහොත් ඉපදීමේදී කස්සක, සිප්පික, වාණිජ, බ්‍රාහ්මණ , වසල ආදී නම් භාවිත කළ ද ක්‍රියාව අනුව ම සමාජ මට්ටම නිර්ණය වන බවයි.

සිත, කය, වචනය තුළින් සිදුවන ක්‍රියාවට චේතනාව මුල්වේ. ඒ බව ධම්ම පදය තුළ සඳහන් පළමු වග්ගය වූ යමක වග්ගයේ

පළමු හා දෙවන ගාථා ද්වය නිදසුන් සපයනු ඇත. ඒ අනුව වේදනා, සංඥා, සංස්කාර යන ස්කන්ධත්‍රයට අයත් වූ ධර්ම සංඛ්‍යාත චෛතසිකයෝ සිත පෙරටු කොට ඇත්තෝ ය. සිතින්ම උපදනාහ.

ඉදින්, ලෝභාදී අකුසල ගති හා යෙදීමෙන් කිලිටි වූ සිතින් මුසාවාදා දී චතුර්විධ වාග්

දුෂ්චරිතයන් අතුරෙන් යමක් කියයි ද, ප්‍රාණඝාතාදී ත්‍රිවිධ කායදුශ්චරිතයන් අතුරෙන් යමක් කරයි ද, අභිද්‍යාදී ත්‍රිවිධ මනෝ දුශ්චරිතයන් අතුරෙන් යමක් සිතයි ද ඒ හේතු කොට කර්ම උපදී. හොඳ චෛතසිකයන් මුල් වී සිත, කය, වචනාදී ත්‍රිවිධ ද්වාරයෙන් යමක් කරයි ද, කියයි ද, සිතයි ද ඒවා ද කුසල කර්ම ගණයට ගැනේ.

නරක චෛතසිකයන් මුල් වී සිත, කය, වචනාදී ත්‍රිවිධ ද්වාරයෙන් යමක් කරයි ද, කියයි ද ඒවා අකුසල කර්ම ගණයට ගැනේ. හොඳ කර්ම ඵල විපාකය ගොනා බැඳි කරත්තය සේ ද නරක කර්මවල විපාකය සෙවනැල්ල සේ ද පසු පස ගමන් කරනා අයුරු එම ගාථාවලට අනුව පැහැදිලි වේ.

කයෙන් සිදුවන ක්‍රියා සමූහයට චේතනාව ඍජුවම බලපාන අයුරු ඉන් වඩාත් පැහැදිලි ය. නමුදු ඒවා කුසල් හෝ අකුසල් බවට පත් වන්නේ චේතනාවේ සංඥා මාත්‍රයත් සමඟ ය. උපතින්ම සත්වයාගේ සිත ප්‍රභාශ්වරය . මහණෙනි අප සියල්ලන්ගේම සිත් ස්වභාවයෙන් ඉතා පිරිසුදුය යහපත් ය. උපත ලැබීමෙන් පසු පෙනෙන, ඇසෙන, දැනෙන කෙලෙස් සහගත කරුණු නිසා අපිරිසිදු වන්නේය. සිත මුල් වී හොඳ නරක හෙවත් කුසල් අකුසල් සිදුවේ. ත්‍රිවිධද්වාරයෙන් සිදුවන ක්‍රියා තමාටත් අනුන්ටත් යහපත් නම් ඒවා හොඳ ක්‍රියා ලෙසත් එම ක්‍රියා අයහපත් නම් ඒවා නරක ක්‍රියා ලෙසත් බුදු දහමේ පෙන්වා දී ඇත.

පුද්ගලයා එදිනෙදා කරන ක්‍රියා කුසලාකුසල වශයෙන් කොටස් දෙකකින් යුක්ත වේ. කුසල් සිතින් විහාරයට වැඳ පුදා ගැනීමට යන පුද්ගලයාගේ පයට පෑගී මිය යන කුඩා සතුන් ප්‍රමාණය ඉතා විශාලය. නමුදු එයින් අකුසලයක් සිදු නොවේ. එයට හේතුව වන්නේ ඔහු තුළ අකුසල් චේතනාවක් නොවන බැවිනි. වෛද්‍යවරයකු ලෙඩෙක් බේරා ගැනීමේ අදහසින් සැත්කමක් කරන කල්හි ලෙඩා මිය ගියහොත් එය අකුසල කර්මයක් නොවනු ඇත. එයට හේතුව ඔහුගේ චේතනාව වූවේ ලෙඩා සුවපත් කර ගැනීම උදෙසා එම ශල්‍යකර්මය කිරීම ය.

අපි ත්‍රිවිධද්වාරයෙන් කරන සියල්ල කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම යනුවෙන් හැඳින්වේ. ඒවා සියල්ල කය, වචනය, සිත යන ද්වාර තුහ හරහා දස කුසල් හා දස අකුසල් වශයෙන් කොටස් වන අයුරු පැහැදිලි වේ. එයින් අකුසල් වන්නේ.

කයින් :– සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් ද,

වචනය තුළින් :– බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කිරීම, හිස් වචන කතා කිරීමෙන් ද

සිතින් :– අභිද්‍යා (දැඩි ලෝභය) ව්‍යාපාදය (තරහ) මිත්‍යා දෘෂ්ඨිය (වැරදි දැකීම) ගැනීමෙන් ය.

“යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං” යන පාඨයට අනුව යම් විධියකට ද බීජ වපුරන්නේ ඒ විධියට අස්වැන්න ලැබෙනු ඇත. හේතු ඵලවාදී දර්ශනයක් වූ බුදු දහම තුළ උගන්වන්නේ සත්වයා කරන කර්ම ශක්තියට සාපේක්ෂව එහි ඵලය ලැබෙන බවයි. එහිදී කරන කර්මය කුසලාකුසල වශයෙන් ප්‍රභේද වීමේදී එයට අනුකූව ඵලය හට ගනු ඇත.

කර්මය විපාක දීමේ දී ක්‍රම හතරක් ඔස්සේ සිදුවන අයුරු පැහැදිලි වේ.

දිට්ඨධම්ම වේදනීය (මෙලොවදීම) ,උපපජ්ජ වේදනීය (දෙවන භවයේදී), අපරාපරිය වේදනීය ( නිවන දකින ආත්මය ඇතුළු කවදා හෝ) හා අහෝසි (අහෝසි ගණයට අයත් වේ) වශයෙනි.

මේ සෑම තැන්හි දී ම කර්මය සමඟ ළඟින්ම සිටින්නේ චේතනාව ය. චේතනාවෙන් තොරව කර්මයක් ගැන කතා කළ නොහැකි ය. චේතනාව කර්මය උසුලා සිටී යන්න ඉතා නිරවද්‍ය වන්නේ එම හේතුවෙනි. ශරීරය සචල භාවයට චේතනාව කොතරම් බලපාන්නේ ද යන්න සත්වයාගේ චුති චිත්තය විමසා බැලීමෙන් පෙනී යනු ඇත. කෙනෙක් මිය යෑමට ආසන්න මොහොත ගැන මඳක් සිතුවොත් ඒ තුළ පැන නැගෙන සිතුවිලි ධාරාව ඊළඟ භවයට ඍජුව බලපාන අයුරු පැහැදිලි වේ. ඒ සඳහා මට්ඨකුණ්ඩලී කතා පුවත ඉතා වැදගත් සාධකයකි. මලක් පහනක්වත් පූජා නොකළ ඔහු මියගොස් දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලැබීය. එයට හේතුව ප්‍රසන්න චේතනාවයි. එවැනි උදාහරණ හොඳ හා නරක දෙඅංශයට ම බුද්ධ ශාසනයේ ගිහි පැවිදි ශ්‍රාවක චරිත තුළින් බොහොමයක් දැක ගන්නට පුළුවන.

චුති ප්‍රති සන්ධි දෙකේදී හා අන් අවස්ථාවල ද කර්මය සීමාවක් දැක්විය නොහැකි ය. එහෙත් පංචනියාම තුළට අයත් උතු නියාම, බීජ නියාම, චිත්ත නියාම , ධම්ම නියාම ආදි ක්‍රම තුළින් සිදුවන දේ කර්මයෙන් සිදුවූවා යැයි කීම සාවද්‍යය ය. උදාහරණයක් වශයෙන් ස්වභාව ධර්මයෙන් සිදුවන දේට මුහුණ දී ගත හැකි ය. අව් වැසි, සුළං ඒ ඒ ඍතුවලට අනුව වායු පීඩනයන්ට අනුරූපව සත්වයාට මුහුණ පාන්නට සිදු වනු ඇත. එතුළින් පැහැදිලි වන්නේ සියල්ල පූර්ව කර්මයෙන් සිදු නොවන බවයි. කර්මය යනු එකක් පමණි. තව ක්‍රම හතරකින්ම යම් යම් දේවල් සිදුවීමට පුළුවන.

එවකට සමාජය තුළ පැවති “පුබ්බේ කත හේතු වාදය” බුදුහිමිගේ දෝෂ දර්ශනයට ලක්වන්නේ ද එම හේතුව නිසාය. එය මිත්‍යාවක් වශයෙන් බුදු හිමි ප්‍රතික්ෂේප කළහ. කර්මය පුද්ගලයා වෙත බලපෑම් ඇති කරන අයුරු පිළිබඳ අවබෝධය බුදු ඇසකින් විනා පුහුදුන් ඇසකින් දැකිය නොහැක. කර්ම විෂය අචින්ත්‍ය ලෙස බුදු දහමෙන් පෙන්වා දී ඇත්තේද එම හේතුවෙනි.

සත්ත්වයෙක් පුද්ගලයෙක් වශයෙන් ගැනෙන්නේ චිත්ත චෛතසික හා රූප කලාප පරම්පරාවක් හෙවත් නාම රූප සන්තතියකි. මේවා එකක් අනෙක ඇසුරු කොට ගෙන පවත්නා සාපේක්ෂ ධර්ම වන අතර අනෙකහි පැවැත්මක දැක්විය නොහැකි ය.

ඉපදීම, පැවැත්ම බිඳීම යනුවෙන් එක් සිතක් වේ. මෙලෙස සිත මොහොතින් මොහොත වෙනස් වේ. බිඳී යන සිත හා පවත්නා සිත අතර, හිස් බවක් හෝ සම්පූර්ණ වෙනසක් නැත. රූපය සිත හා වේගයෙන් ගමන් නොකරන අතර, එහි පැවැත්ම (ආයුෂය) චිත්තක්ෂණ 17 ක කාලය වශයෙන් අභිධර්මය තුළ දැක්වේ.

චුතිය යනු සිතුවිලි හා එක් වූ සිත එකක් ඇසුරු කරගත් රූප කලාපයෙන් වෙන්වීමයි. ඒ වෙලේම සිත වෙනත් රූප සන්තතියකට සමීපවීම පටිසන්ධි වේ. නාම රූපයන්ගේ

ක්ෂණ භංගුරත්වය රහතන් වහන්සේට හැර වෙන කෙනෙකුට අවබෝධ කරගත නොහැක. මරණය හා භවය ඉපදීම අතර සම්බන්ධය කෙබඳුදැයි යන ප්‍රශ්නයට පිළිතුරු දෙන නාගසේන හිමි” එසේ උපදින්නේ මෙලොව සිටි අය නොවේ. වෙනත් කෙනෙක්ද නොවේ (නච සෝ නච අඤ්ඤෝ) යනුවෙන් පිළීතුරු ගෙන හැර දක්වන්නේ එම හේතුව පදනම් කරගෙන ය.

කර්මය හා පුනර්භවය යතාර්ථ වශයෙන් විග්‍රහ කිරීමට බුදු දහමේ ප්‍රතිත්‍ය සමප්පාද න්‍යාය භාවිත කරයි. අවිද්‍යාව නිසා කර්මය රැස් වේ. අවිජ්ජා , සංඛාර, තණ්හා , උපාදාන, භව සියල්ල හේතු කොටගෙන විඤ්ඤාණ නාම රූප ඵලයත් ජනිත වේ. දුක් ඇති කරමින් සත්වයාගේ සසර ඇතිවේ. අවිජ්ජා තණ්හා නැති කිරීමෙන් නැවත භවයක් නැත. (නහිජාතු ගබ්බං සෙය්‍යං පුනරේති) නැවත ඉපදීමේ සාධකයන් හොඳින් අවබෝධ කරගත් කල්හි ඊළඟ භවයක් පිළිබඳ උපාදානයෙන් තොරව සිතේ නිරෝධය ඇතිවේ. පුනර්භවය රහිතව නාමරූප ධර්මයන්ගේ එම නැවැත්වීම නිවී ගිය පහන් දැල්ලක් මෙන් අනිර්වචනීය ස්වභාවයට පත්වේ.

චේතනාව හා කර්මය ඉතා ගැඹුරු දේශනයක් බැවින් ඒවා පිළිබඳ දැන කියවා දැනුමක් ලබා සිටීම සසර ගමන් මඟට බෙහෙවින් රුකුලක් වන බව කීමට කැමැත්තෙමි.