Print this Article


අත පය මිසක හිත කැඩුණට බේත් නැත

සංයුත්ත නිකායේ සුභාසිත වාචා සූත්‍රය ඇසුරෙන්:

අත පය මිසක හිත කැඩුණට බේත් නැත

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවසන කාලයක භික්ෂූන් වහන්සේලා අමතා සිදුකළ දේශනාවකි. සුභාසිත යනු ”යහපත් වචනය” යන අර්ථයයි.

මංගල සූත්‍රයේ දී ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ”සුභාසිතා ච යා වාචා” යනුවෙන් යහපත් වචන ඇති බව දියුණුවට කාරණාවක් වශයෙනි. ඛුද්දක නිකායේ සුත්ත නිපාතයේ ද මෙම නමින්ම මෙම සූත්‍රය අන්තර්ගත කොට ඇත. ඒ අනුව මෙම සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනුයේ යම් වචනයක් පැවසීමේ දී සම්පූර්ණ විය යුතු කරුණු හතරකි. එසේ සම්පූර්ණ වන කල එම වචනය සුභාසිත ගනයෙහිලා සැලකිය හැකි ය.

‘සුභාසිතංයෙව භාසති නො දුබ්භාසිතං’

මෙයින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ යමෙක් අදහස් ප්‍රකාශ කිරීමේ දී යහපත් වචන පැවසිය යුතු බවයි. එනම් තවෙකකු කෙරෙහි වෛරය, ඊර්ෂ්‍යාව, පලිගැනීම් ආදී හැඟීම් ඇති කරවන, අන් අයට හානි කරවන වචනවලින් තොරව මෛත්‍රී සහගත වචනවලින් අන් අයගේ හිතසුව පිණිස හේතුවන වචන කතාකිරීම මෙහි පළමුවැන්නයි. එසේ කතා කරන විට එම වචන භාවිතය දුර්භාෂිත නොවේ.

‘ධම්මංයෙව භාසති නො අධම්මං’ කතා කරන වචන තුළ පදනම ධර්මයයි. ඔබ පිටකරන්නා වූ වචන තුළ ගැබ් වන්නේ අධර්මය නම් එය හානිකර ය. ධර්මය කතා කිරීමේ දී අන් අයගේ සිත්වල කෙලෙස් නූපදී. සෑමවිටම ඒ තුළින් හිස් වචන වලට ඇති ඉඩකඩ ඇහිරී ගොස් ප්‍රයෝජනවත් දෑ මිනිසුන්ට අසන්නට ලැබේ. එබැවින් අප භාවිත කරන වචන ධර්මානුකූල විය යුතුයි.

‘පියංයෙව භාසති නො අප්පියං’ ඒ අනුව අන් අයට ප්‍රිය උපදවන පරිදි වචන හැසිරිය යුතු ය. යම් අයකුට වූ විපතක් පිළිබඳව පැවසීමේ දී ඒ තුළ කෙනෙක්ට දුක ඇති වේ. එවැනි ප්‍රියතාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ය. එබැවින් එවැනි දේ ප්‍රකාශ නොකිරීම නොව අන් අයගේ හදවත් සුව වන පරිදි මෘදු මොලොක් වචන භාවිත කළයුතු ය. අපද කැමති වනුයේ ප්‍රිය වචන අසන්නට ය. තිරිසන් සත්තු ද එසේ ප්‍රියවචන ප්‍රියකරති. එබැවින් ප්‍රිය වූ වචන කතාකිරීම මින් අපේක්ෂා කෙරේ.

‘සච්චංයෙව භාසති නො අලිකං’ සත්‍යම කතා කළ යුතු ය. අපට කෙතරම් අවාසි සහගත වුවත් සත්‍ය තුළ විශ්වාසවන්ත පරිසරයක් ගොඩනැඟිිය හැකි ය. අපද කිසිවකුගෙන් බොරු අසන්නට අකමැති වේ. එබැවින් අන් අය ද නිතරම අපේක්ෂා කරනුයේ සත්‍ය ඇසීමට ය. අසත්‍ය තුළ මිනිසුන් තුළ ක්‍රෝධය,වෛරය හා විවිධ ගැටලු, ඝට්ටන,සටන් හා භේදයන් ඇති විය හැකිය. එබැවින් සැමවිටම සත්‍ය පැවසීම පුරුදුකරගත යුතු ය.

සැබවින්ම වචනය යනු ප්‍රබලම අවියකි. මේ අවිය නිසිලෙස පරිහරණය කිරීමෙන් තවෙකකුට විශාල යහපතක් සිදුකළ හැකි ය. මිනිසාගේ ප්‍රධානතම සන්නිවේදනය අදහස් පැවසීම් සියල්ලම වචන ප්‍රධානව පවතී.

අහිංසක කුමාරයා අංගුලිමාල කිරීමෙහිලා වචනය කොතරම් ඉවහල් වූවේ ද යන්න පැහැදිලි ය.මහණකමත් ජීවිතයත් එපා වීමට මහාපන්ථක හිමියන්ගේ වචන කෙසේ නම් චුල්ලපන්ථක හිමියන්ට බලපෑවේද හා බුදුරජාණන් වහන්සේගේ වචන තුළින් චුල්ලපන්ථක හිමියන් සැනසුණු අයුරුද පැහැදිලි ය.

එබැවින් වචනයේ නිවැරදි භාවිතය පුද්ගලයන් අතර සමාජයේ මිනිසුන් අතර යහපත ගොඩනැගීමෙහිලා ඉවහල් වේ.

කුඩා කල කන වැටුණු කියමනකි ”අත පය මිසක හිත කැඩුණට බේත් නැත” යන්න. එනම් හිත් කැඩෙන්නේ වචනවලිනි. හිත් හදන්නත්, හිත් කඩන්නත් වචනවලට ප්‍රබල හැකියාවක් ඇත.

ඇතැම් ගුරුවරුන් වේවැල් ගෙන දඩුවම් කරන විට, ඇතැම් ගුරුවරු වේවැල් ආදිය නොගෙන වචනයෙන් දඩුවම් කරති. වේවැලෙන් දඩුවම් කරනවාට වඩා වචන භාවිතය මගින් අපට දෙන දඩුවම් ප්‍රබල ය.

නිහඬ බවද වචනයේ භාවිතයකි. බුදුරජාණන් වහන්සේ ළගට පැමිණ ප්‍රශ්න අසන කල උන්වහන්සේ නිහඩ වූයේ ද වචනවලින් දිය නොහැකි පිළිතුරක් නිහඩ බවින් දිය හැකි නිසා ය. නිහඬ බව යනු සෑමවිටම පිළිතුරක් නොමැතිකම නොව පිළිතුරු වලින් පිරුණු දෙයකි.

මුවග ඉරියවු භාවිතය ද වචනයේ ම අංගයකි. ඇතැම් වචන පවසනුයේ ඉරියවු වලිනි. ඇතැම් වචන ඉරියවු සමඟින් පවසන විට හිත් හදන්නටත්, බිඳින්නටත් එය සමත් වේ.

බුදුරජාණන් වහන්සේ හමුවට කෙනෙකු පැමිණි විගස මුලින්ම සිනාසී තොරතුරු විමසන්නේ වචනයේ භාවිතාව පිළිබඳ මනා පාඩමක් අපට ලබාදෙමිනි.

ඇතැම් විට ලොව උසස් තනතුරුවලට යනවිට සිනාවීම, සිත්ගන්නා සුලු පරිදි කතා කිරීම අමතකව යන මිනිසුන් මතක තබා ගත යුත්තේ බුදුරජාණන් වහන්සේ එසේ මුලින් කතා කොට, සිනාසී ගොඩනඟන සුහදත්වයේ පදනම උන්වහන්සේ ගොඩනඟන්නේ බුද්ධත්වය නම් ලොව ශේෂ්ඨතම පදවිය දරමින් බවයි.

ඒ අනුව සැමවිටම සත්‍ය වූ, ධර්මානුකූල, අන් අයගේ හිත් හැදෙන, ජීවිතයකට වැදගත් නිවැරැදි වචන භාවිත කිරීමටත්, එසේ සිදුකරමින් සමාජයට වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සුභාෂිත වචන භාවිත කරන්නෙක් වීමටත් අධිෂ්ඨානශීලීව සියල්ලෝ කැපවෙත්වා.....!