Print this Article


ධර්මය දරන්නා පරිසරය ම සුවඳවත් කරයි

ධර්මය දරන්නා පරිසරය ම සුවඳවත් කරයි

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

යථාපි රුචිරං පුප්ඵං
වණ්ණ වන්තං සුගන්ධකං
එවං සුභාසිතා වාචා
සඵලා හොති සකුබ්බතො

ධම්මපද පුප්ඵ වග්ග

පින්වතුනි,

දහම තරම් මිනිසාගේ හිතසුව ඇති කරවන තවත් යමක් නැති බව බුදුරජාණන් වහන්සේ තම දේශනාවන්හි බොහෝ විට වදාළා. ආලවක සූත්‍රය වගේම ආලවක යක්ෂයාගේ කථාවත් අපේ පින්වතුන් හොඳින් අසා තිබෙනවා. අලවූ යකු දමනයේ දී ආලවක බුදුන්ගෙන් ඇසූ එක් වැදගත් ප්‍රශ්නයක් වන්නේ “කිංසු සුචිණ්ණෝ සුඛමාවහාති” යන්නයි.

එනම් මිනිසා කවරක් ප්‍රගුණ කිරීමෙන් සැපවත් බවට පත්විය හැකිද යන්නයි. මේ ප්‍රශ්නයට බුදුහාමුදුරුවෝ වදාළේ “ධම්මො සුචිණ්ණො සුඛමාවහාති” යනුවෙනි. එනම් ධර්මය ප්‍රගුණ කිරීම මනුෂ්‍යයාට සැප සම්පත් ළඟා කරවන බවයි.

එසේ නම් ධර්මය කවර තරම් වටිනවාද? “ධම්මොසධ සමං නත්ථි” යනුවෙන් ධර්මය තරම් වටිනා බෙහෙතක් මිනිසාට තවත් නැති බවක් අපේ තථාගතයාණන් වහන්සේ අපට දේශනා කළා. “ධම්මං විනා නත්ථි පිතා ච මාතා” ධර්මය තරම් වටිනා මවෙක් හෝ පියෙක් ද නැති බව තවත් විටෙක බුදු හිමියෝ අපට පෙන්වා දුන්නා. “ධම්මකාමො භවං හොති ධම්මදෙස්සී පරාභවො” යනුවෙන් පරාභව සූත්‍රයේ දී ධර්මයට කැමති පුද්ගලයා දියුණුවට යන බවත් ධර්මයට ද්වේෂ කරන්නා පිරිහෙන බවත් පෙන්වා දුන්නා.

“ධම්මංචරෙ සුචරිතං නතං දුස්චරිතං චරෙ” යනුවෙන් ධර්මයෙහි හැසිරෙන්නා සුචරිතවත් වන බවත්, දුශ්චරිතයෙහි නොයෙදෙන බවත් වදාළා.

“ධම්මො භවෙ රක්ඛති ධම්මචාරී” යනාදී වශයෙනුත් ධර්මයෙහි හැසිරෙන්නා ධර්මයෙන් ආරක්ෂා වන බවත් පෙන්වා දුන්නා.

ධර්මය කෙතරම් වටිනවාද යන්න පෙන්වා දෙන ඉතා ජනපි‍්‍රය දේශනා පාඨ කිහිපයකුයි මේ අනුව උපුටා දැක්වූයේ.

අතීතයේ අප විරුදාවලි ලැබුවේ පෙරදිග ධර්මද්වීපය, ධර්ම භාණ්ඩාගාරය මේ අපේ ශ්‍රී ලංකාව කියලයි.

ඒත් අද අපට එහෙම කියන්න පුළුවන්ද කියලා සැකයි.? හේතුව පංච දුශ්චරිතය ම විවිධ ලෙසින් සමාජගත වෙලා. පරිහානි ධර්ම දේශපාලන ධර්ම බවට පත් වෙලා දුරාචාරයට ඇති ඉඩකඩ වැඩි වෙලා. ආත්මාර්ථකාමී ලෙස ජීවත් වන ජන සමාජයක් බිහි වෙලා.

ප්‍රධාන වශයෙන් ම ලජ්ජා බය දෙක සහජයෙන් තුරන් වෙලා ප්‍රසිද්ධියේ හොරකම් මැරකම් කරන්නට බොහෝ අයට ලජ්ජාව බිය නැති වෙලා.

විවිධ ආකාරයෙන්, කුඩා පරිමාණයේ සිට මහා පරිමාණය දක්වා හොරකම, දූෂණය, සමාජගත වෙලා. අපේ ඇතැම්දේශපාලක පිරිස් ඔවුන්ගේ අනුගාමිකයන් කොන්ත්‍රාත්වලින් දේශීය මෙන්ම ජාත්‍යන්තරව පවා හොරකමේ යෙදෙන්නේ ප්‍රසිද්ධියේ.

මේ සියල්ල ධර්මය භාවිතයට නොගැනීමේ විපාක. රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකාවලිනුත් ජනතාව පෙරට වඩා දැන් ධර්මයට ළං වෙලා. ඒත් ධර්මයෙන් හික්මෙන, සැනසෙන පිරිස ස්වල්පයයි. වැඩි දෙනෙක් ධර්මය අධර්මය කර ගනිමින් වැජඹෙන්න බලනවා. ඒ වැජඹීම කෙතරම් තාවකාලික ද?

මෙන්න මේ තැනට බණ පොතේ එන ඡත්තපාණී උපාසකගේ කතාව ඉතා වැදගත්. එමෙන්ම ඡත්තපාණී උපාසක තුමා මුල් කර දේශිත ගාථාවත් ඉතා වැදගත්.

ඡත්තපාණී වාසය කළේ සැවැත් නුවරයි. ඔහු ධර්මය හොඳින් උගත් උපාසකයෙක්. බුද්ධ දේශනාව හොඳින් ඉගෙන දේශනා කරන්නටත්, ධර්මය සම්බන්ධයෙන් පැන නඟින ගැටලුවක් බහුශ්‍රැත ලෙස විසඳා දෙන්නත් ඡත්තපාණී ඉතා දක්ෂයෙක්.

මේ නිසාම අනාගාමී මාර්ගඵලයටද පත්ව සිටියා. බොහෝ දෙනෙක් ඡත්තපාණීට බුහුමන් කළා. දවසක් බුදුන් වහන්සේ ළඟ ධර්ම කතාවක් කරමින් ඉන්නා විටෙකදී කොසොල් රජතුමා බුදුරදුන් බැහැ දකින්න ආවා. රජතුමා එන විට සියලු දෙනා නැගිට රජුට ගෞරව කළත්, ඡත්තපාණී නොනැඟිට සිටි අසුනේම සිටියා. ඒ ඔහු අනාගාමී උපාසකයකු වූ නිසා.

එහෙත් කොසොල් රජු මේ ගැන අමනාපයක් ඇති කරගත්තා. ඡත්තපාණී රජුට ගරු නොකළා යන සිතුවිල්ල රජුට පහළ වුණා. බුදුරදුන් ඒ බව වහාම දැන ගත්තා. රජුගේ වැරදි සිතුවිල්ල දුරු කරලීමට බුදුරදුන් වහාම පියවර ගත්තා.

එනම් ඡත්තපානි කවරෙකුදැයි රජුට පහදා දෙමින් ඔහුගේ බොහෝ ගුණ රජු හමුවේ පෙන්වා දුන්නා. බුදුන්ගේ ඒ වර්ණනාවෙන් රජුගේ අමනාපය දුරුව ගියා. දිනක් කොසොල් රජු තම මාලිගාවේ මතුමහලේ සිටින විට පාරේ ඡත්තපාණී උපාසක තුමා යනවා දැක මාලිගාවට ගෙන්වා ගත්තා. එදින රජු කෙරෙහි අතිශය ගෞරවයකින් මාලිගාවට පැමිණීම ගැන රජු තවත් පැහැදුණා.

අනතුරුව රජතුමා රජ ගෙදර බිසෝවරුන්ට දහම් දෙසන්නට මේ ඡත්තපාණී උපාසක තුමාට ආරාධනා කළා. එහෙත් රජ ගෙදර දහම් දෙසුම බුද්ධ ශ්‍රාවක සංඝයාගේ කාර්යයක් බව පෙන්වා දෙමින් උපාසකතුමා එය ප්‍රතික්ෂේප කළා. අනතුරුව අනඳ තෙරුන් ඒ සඳහා වැඩමවා ගත්තා. මාලිගාවට වැඩි අනඳ තෙරුන් දහම් දෙසන විට මල්ලිකා දේවිය සකසා හොඳින් දහම් ඇසූවද, වාසභකත්තියා බිසව නොසන්සුන්ව දහම් ඇසුවා. බුදුරජාණන් වහන්සේ එය මුල්කොට ඉහත ගාථාව දේශනා කොට වදාළා. සුවඳවත් වූ පැහැපත් වූ මනහර මලක් යම් සේ සුවඳ පතුරන්නේ ද එලෙසින්ම බුද්ධ දේශනාව (සුභාසිතා වාචා) නිවැරදිව පිළිපදින්නාට එම ධර්මය ම බොහෝ ප්‍රතිඵල අත් කර දෙන වග මෙම ගාථාවෙහි අර්ථය වෙයි.

මෙම ගාථාවෙන් අර්ථ දැක්වෙන්නේ දහම දැන, එය නිවැරදිව ඉගෙන, ඒ අනුව හැසිරෙන තැනැත්තාට ඒ දහම මොනවට හිත සුව එළවන්නේද? යන්නයි.

එබැවින් ධර්මය දරන්නා මලක් මෙන් පරිසරය ම වර්ණවත් කරන බව මෙම දේශනාවෙන් කියැවෙනවා. එය කෙතරම් සත්‍යයක්දැයි අපේ පින්වතුන් මෙනෙහි කර බලන්න. ධර්මය දරන්නා පරිසරය සුවඳවත් කරද්දී අධර්මය දරන්නා අපේ පරිසරය දුර්ගන්ධයෙන් පුරවනවා නේද?

පෙරද සඳහන් කළ පරිදි සමාජයට විපත් සිදු කොට සමාජය විනාශ කරන්නේ අධර්මකාරී පාපකාරී මිනිසුන් විසින් බව ඉතා පැහැදිලි වෙනවා නේද?