Print this Article


දුටුගැමුණු මහ රජතුමා - 30: එක්සේසත් කළ රට ගම්වර සියයකට වඩා වටිනවා

දුටුගැමුණු මහ රජතුමා - 30:

එක්සේසත් කළ රට ගම්වර සියයකට වඩා වටිනවා

පසුදා උදෑසන තිස්සමහාරාම විහාරයේ බෝධි රාජයාණන් දෙස මහත් සැදැහැයෙන් බලා සිටි නන්දිමිත්‍ර ඒ දෙසට දොහොත් මුදුන් නඟා වැඳ යුද්ධ සම්මන්ත්‍රණ ශාලාවට යන්නට පිටත් විය. තිස්ස වැව් කණ්ඩියේ ගස් සෙවණේ යුද්ධ සම්මන්ත්‍රණ ශාලාවට එන්නට සිදු වූ සෑම දිනකම පාහේ මෙතැනට පැමිණ තිස්ස වැවේ හා අවට සෞන්දර්යය විඳ ගැනීම නන්දිමිත්‍රගේ පුරුද්දකි. එයින් ඔහු ලබන මානසික සුවයත් කායික විවේකයත් ඔහු සුවපත් කරයි. අසල සවිකර තිබූ කිරිගරුඬ ආසනයක හිඳ ගත්තේ ය. කල්පනාවට වැටුණේ ය.

දුටුගැමුණු කුªමරු රජමාලිගයෙන් පලා ගොසිනි. ඔහු අල්ලාගෙන එන ලෙසට කාවන්තිස්ස රජතුමා අණ කර ඇත. මහා සේනාධිපති තනතුර දරන තමා විසින් එය ඉටු කළ යුතුව ඇත. එහෙත් එය කෙසේ ඉටු කරම්ද? ගැමුණු කුමාරයා වෙනුවෙන් සේවය කිරීමට ඇප කැප වී සිටින තමන් ඇතුළු දස මහ යෝධයන්ට සහ දොළොස් දහසකට ආසන්න බල සේනාවෙන් එක් අයෙකුට හෝ එම කාර්යය කිරීමට නොහැකි බව රජතුමාට අවබෝධ විය යුතු යැයි සිතූ නන්දිමිත්‍ර සිත සැහැල්ලු කර ගත්තේ ය. යුද්ධ සම්මන්ත්‍රණ ශාලාවට යන්නට කිරිගරුඬ ආයතනයෙන් නැගී සිටියේ ය.

“නන්දිමිත්‍ර” ඔහු ආපසු හැරී බැලීය. වේළුසුමන තමන් වෙත පැමිණෙමින් සිටියේ ය.

“යන්නද නැගිට්ටේ”

“ඔව්” මේ දවස්වල මගේ සිතට සැනසිල්ලක් නැහැ.” ගැමුණු කුමාරයාට පැන යන්නට ඉඩ දීම ගැන මහ රජතුමා මා කෙරෙහි අප්‍රසාදයෙන් ඇති.”

“ඒ අප්‍රසාදය මා ඇතුළු මුළු මහත් බල සේනාවටම බලපානවා නොවේද?

ඇයි ඔබතුමා තනිවම එහි වගකීම ගන්නේ.”

“සේනාධිපති ලෙස එය මගේ වගකීමක්.”

“ඇත්ත, නමුත් ගැමුණු කුමාරයා පැන ගිහින් දැන් වසර කිහිපයක් ගත වෙනවා.”

“හ්ම් දැන් ගැමුණු කුමාරයා ඉන්නේ කොහේද?

“ඇයි නන්දිමිත්‍ර, ඔබට රජතුමාගේ තෑග්ග ලබාගන්නට ඕනෑද?”

“ඔව් මම ගම්වරයට කැමතියි.”

“එහෙනම් අශ්ව කරත්තය මට”

“ගම්වරයක් මොකටද වේළුසුමන, මේ රට එක්සේසත් කර ජනතාවට භාර දුන්නාම ඒක ගම්වර සියයකටත් වඩා වටිනවා නොවේ ද?

“ඒක ඇත්ත”

“මෙතෙක් කල් ගැමුණු කුමාරයා වෙහෙසුනේ ඒ වෙනුවෙන්.””

“එහෙනම් ඇයි හැංගිලා ඉන්නේ”

ඔබ තවමත් හිතන්නේ ගැමුණු කුමාරයා වැරැදියි කියලද?

“මට එහෙමම කියන්න බැහැ. නමුත් තවත් ටිකක් ඉවසුවා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ.”

“නමුත් ගැමුණු කුමාරයා යුද්ධය ආරම්භ කිරීමට අවසර ඉල්ලූ තුන්වෙනි අවස්ථාවේදී අවසර ලැබේවි යැයි අපේක්ෂා කළා.” සියලු සේනාංකවල ප්‍රගතිය, අවි නිෂ්පාදනය, ඒවා ඇසුරුම් කිරීම, ආහාර ගබඩා කර ඇති ප්‍රමාණය ආදී පිළිබඳ සියලු තොරතුරු සම්පාදනය කර ඉදිරිපත් කළේ පිය රජතුමාගෙන් අවසර ලැබේවි යන අදහසින්.

“ඔව් ඒක ඇත්ත. ඒ ගැන වැඩිපුරම උනන්දු වුණේ මමයි. හමුදා සේනාංක පරීක්ෂණයටත් යුද ශක්ති සන්දර්ශනයටත් දින නියම කරගෙනයි තිබුණේ.”

“කොහොම වුණත් යුද්ධය දිගින් දිගටම කල් දැමීම නිසා අපේ සේනාංකවල උනන්දුව ගිලිහිලා, ප්‍රබෝදය නැතිවෙලා, භටයන් මානසිකව පිරිහිලා, හැමෝගෙම ශක්තිය බිඳ වැටිලා කියලයි මට හිතෙන්නේ.”

“ඒත් අද සම්මන්ත්‍රණයේ දී මේ කරුණු ගැන සාකච්ඡා කරන්න එපා. වේළුසුමන ඕවා ගැන තවදුරටත් හිතන්නට එපා. අද සාකච්ඡාවට අවශ්‍ය කරුණු ටික මා සූදානම් කර තිබෙනවා. සාකච්ඡාව පවත්වන අතරතුර කිසියම් අර්බුදකාරී තත්ත්වයක් පැන නැගුණෙත් මට ඔබේ සහාය ලබා දෙන්න. රජතුමාත් ගැමුණු කුමාරයාත් අතර පවතින අර්බුදය ඉක්මණින් විසඳ ගන්නට උත්සාහ කරමු. එවිට අපේ පොදු ඉලක්කයට ළඟා වෙන්න පුළුවන්.”

වැව් ඉස්මත්තේ සම්මන්ත්‍රණ ශාලාවට තුරුපෙළ අතරින් සිහින් සරින් මදනල හමා එයි. දියෙහි රැලි නංවයි. දියරැලි සිප ගන්නා සඳ එළිය අතරින් සම්මන්ත්‍රණ ශාලාවට ආරාධිතයන් පිවිසෙනු පෙනේ. එහෙත් ඔවුන් කවුරුන්දැයි වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීමට නොහැකි ය.

“අද යුද්ධ මණ්ඩල රැස්වීමට රජතුමා එනවා ද?”

“අද එතුමා එන්නේ නැහැ.”

“රජතුමා නොඑන බව වේළුසුමන කොහොමද දන්නේ.”

“රජතුමා සවස නිවේදනයක් එවා තිබුණා. රජතුමා යුද්ධ මණ්ඩලයට නොපැමිණෙන බවත් ඒ වෙනුවට මහ ඇමැතිතුමා සහභාගි වන බවත් දන්වා එවා තිබුණා.” ඒ නිසායි මහ සෙනෙවිවරුන්ටත්, සෙනෙවිවරුන්ටත් පමණක් සම්මන්ත්‍රණය සීමා කළේ. උප සෙනෙවිවරුන්ට පසුව රැස්වීමක් කැඳවීමට තීරණය කළා.”

“සම්මන්ත්‍රණ ශාලාවට ආරාධිත අමුත්තන් පැමිණ ඇති. දැන් අපි යමු.”

සම්මන්ත්‍රණ ශාලාව ආලෝකයෙන් බැබළිණි. ශාලාව තුළ සෑම ආසනයක්ම පිරී තිබිණි.

මහ ඇමැතුමාත්, ඇමැතිවරුත් නියමිත වේලාවට පැමිණ සිටියහ. වේළුසුමන, නන්දිමිත්‍ර මහ සෙනෙවිවරු එක ළඟ අසුන් ගත්හ. ගෝඨයිම්බර, සුරනිමල මහ සෙනෙවිවරුන්ට මුල් අසුන් වෙන් විය. දෙවන පෙළ ආසන සෙසු සෙනෙවිවරුන්ට වෙන් කර තිබිණි.

යුද්ධ සම්මන්ත්‍රණවලදී ආරම්භයේ දී ආගමික වතාවත් සිදුකිරීම සඳහා ත්‍රිපිටක තිස්ස තෙරුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩම කිරීම සාමාන්‍ය සිරිතක්. එහෙත් වෙනදා නියමිත වේලාවට වැඩම කරන මාහිමිපාණන් වහන්සේ එදා ප්‍රමාද වීම ගැන කවුරුත් විමසිලිමත් වූහ.

අඩ හෝරාවක් ගතවීමට ප්‍රථම සීලාපස්ස පිරිවෙනේ මාහිමිපාණන් වහන්සේ වැඩම කළහ.

“මේ සම්මන්ත්‍රණය ආරම්භ කරන්නට තිබුණේ අටේ කණිසමට. නමුත් දැන් අඩ හෝරාවකට ආසන්න කාලයක් ගෙවී ගිහින්. නියමිත වේලාවට වැඩ කිරීම මගේ පුරුද්ද.

“මා මෙහි එන්නට සූදානම් වන විට රජතුමා විහාරස්ථානයට පැමිණියා. ප්‍රමාදයට හේතුව මා මෙහි කරන අනුශාසනාව සඳහා රජතුමා සමඟ අදහස් හුවමාරු කරගැනීම සිදුවුණා. දුටු ගැමුණු කුමාරයාගේ පලායාම ගැන තව දුරටත් කතා කිරීමෙන් ඵලක් නැහැ. කුමාරයාගේ අකීකරුකම මා අනුමත කරන්නේ නැහැ. නමුත් මගේ අවවාදය කුමාරයා ගැන සෙවීම නතර කර ඔහුට කැමැති තැනක කැමති ආකාරයට ඉන්නට ඉඩ හැර ඔහු නැවත එනතුරු තම තමන්ගේ යුතුකම් හා වගකීම් හරිහැටි ඉටු කිරීමයි ඒ සඳහා සිතට ගැනීමයි.