Print this Article


ජම්බුඛාදක ජාතකය: ගරු බුහුමන් වෙනුවෙන් නැති ගුණ කියනවා ද?

ජම්බුඛාදක ජාතකය: ගරු බුහුමන් වෙනුවෙන් නැති ගුණ කියනවා ද?

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩවසන සමයේ දෙව්දත් තෙරුන් වහන්සේ අරභයා මේ ජාතක කථාව දේශනා කොට වදාළහ.

භික්ෂුන් වහන්සේලා සුපුරුදු සේ ධර්ම ශාලාවට රැස් වී සම්බුදුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලද දෙතිසක් වූ කතා හැර දමා දෙව්දත් තෙරුන් වහන්සේ සහ උන්වහන්සේගේ ශිෂ්‍ය හිමි නමක් වූ කෝකාලික භික්ෂුව පිළිබද ව කථා කරමින් හුන්හ.

පිණ්ඩපාතයෙහි හැසිරෙන කෝකාලික භික්ෂුව දෙව්දත් තෙරුන්ගේ ගුණ වයමින් හිතවත් දායකයින්ට සහ යහළුවන්ට දෙව්දත් තෙරුන්ගේ නොමැති අපමණ ගුණ දක්වමින් අප දෙව්දත් තෙරුන් වහන්සේ ධුතංගධාරීයහ, ධ්‍යානලාභීයහ, ධර්මකථිකයහයි කියමින් ගුණ වයා, ලාභ සත්කාර උපයා ගනිති.

දෙව්දත් තෙරුන් වහන්සේ ද තමන් වහන්සේගේ ශිෂ්‍ය වූ කෝකාලික භික්ෂුවගේ ගුණ වයමින් අපගේ කෝකාලික තෙරුන් වහන්සේ අසවල් ධ්‍යානවලින් පරිපූර්ණයහ, ධුතංගධාරීයහ, ධර්මකථිකයහ, ති‍්‍රපිටකධරයහ, යනාදී ලෙසින් ගුණ වයා ලාභ සත්කාර උපයා ගනිති. කෝකාලික භික්ෂුව වෙත ද ලාභ සත්කාර වැඩි කරති.

දෙදෙනා වහන්සේ ම තමන් වහන්සේලාගේ නැති ගුණ එකිනෙකා ප්‍රකාශ කරගනිමින් ලාභ සත්කාර සහ ගරුබුහුමන් වැඩි කර ගනිති. මේ පිළිබඳ සියලු තොරතුරු නොබෝ දවසකින් ම ප්‍රදේශ මෙන්ම රට පුරා පැතිර යන්නට විය.

භික්ෂුවකට හෝ ගිහියකුට හෝ මිනිසත් බව ලැබූ කිසිවකුට එවැනි බොරු කීම් සහ එවැනි නීච කි‍්‍රයා නොගැළපෙන බව පවසමින් භික්ෂූන් වහන්සේලා ධර්ම සභාවේ සාකච්ඡා කරමින් වැඩ සිටියහ.

එවේලෙහි එතැනට වැඩි සම්බුදුන් වහන්සේ තමන් වහන්සේ පැමිණීමට පෙර කිනම් දැහැමි කථාවකින් යුක්ත වූයේ දැයි විමසා අසවල් කතා පුවතින් යුක්ත වූයේ යැයි දැන්වූ කල්හි භික්ෂූන් වහන්සේලාගේ ආරාධනයෙන් දෙව්දත් තෙරුන් වහන්සේ මෙකල පමණක් නොව පෙර ආත්ම භවයක ද බොරු කීම් සහ නීච කි‍්‍රයාවල යෙදෙමින් කටයුතුකළ බවත්, එවැනි පුද්ගලයන් සසරේ එකට ඇසුරු කිරීමට ලැබෙන බවත්, ඇසුරු කරමින් යන බවත්, එවැනි පිරිස්වලින් වෙන් වී දැහැමි මාවත් සොයා ගනිමින් නිවන් මාර්ගයේ ගමන් කළ යුතු බවත් සඳහන් කරමින් අතීත කතා පුවත දැක්වූහ.

මහණෙනි, අතීතයේ යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනකු රාජ්‍ය කරන කල්හි දඹ ගසක් ඇසුරු කරමින් එහි හට ගන්නා දඹ ගෙඩි අනුභව කරමින් ජීවිකාව ගෙනයමින් එක් කපුටෙක් වාසය කළා. දවසක් එතැනට කැලේ ඇවිදිමින් ගිය කැණහිලෙක් පැමිණ විඩා නිවා ගන්නට පටන් ගත්තා. ටික වේලාවක් යන විට කැණහිලාගේ හිසට, ශරීරයට සහ සමීපයට දඹ ඇට වැටෙන්න ගත්තා.

හොඳින් පිරීක්ෂා කළ ඔහුට දඹකොළ අතුරින් ගස මුදුනේ අත්තක හිඳ දඹ කන කපුටකු දැක ගන්න ලැබුණා. උපතින්ම කපටි බවින් යුක්ත කැණහිලා කපුටා රවටා දඹ ලබා ගැනීමේ අදහසින් මෙහෙම ඔහුගේ ගුණ කියන්න පටන් ගත්තා.

සුමිහිරි කටහඬින් නාද කරන, මොණරකුගේ පැහැයට බදු නිල්වන් වූ පැහැයෙන් යුක්ත, පක්ෂීන්ට උතුමාණන් වූ, කපුටු රජතුමනි, දඹ අත්ත උඩම හිඳගෙන කුමක් කරන්නේද? සැප සනීප කෙසේද? බොහෝ කාලයකින් දැක ගන්නටවත් නොහැකි වුණා. යි කියමින් ආගිය තොරතුරු පවා ඉතා ගෞරවයෙන් සහ යටහත් පහත්ව විමසා සිටියා.

ඔහුගේ වදන් සියල්ල අසා සිටි කපුටා පෙරලා කැණහිලා අමතා කියන්නේ ‘‘ මහා ව්‍යාඝ්‍රයකු වැනි උතුම් කැණහිලාණෙනි, උත්තමයන්ගේ ගුණ දන්නේ උත්තමයෝ ම ය. ඔබගේ සැප දුක් කෙසේද? ඉතා දුර බැහැරක සිට පැමිණි බව පෙනේ. මේ දඹ ටිකවත් අනුභව කර ක්ෂුදාව නිවා ගන්න යි පවසමින් ඉදුණු දඹ විශාල ප්‍රමාණයක් ඔහු වෙත හෙළා දැමුවා.

මේ සියල්ල බලා සිටි දඹ ගසට අරක් ගත් එක් දේවතාවෙක් බොරුකීම් සහ නීච ගුණ වැයීම්වලින් ගුණවතුන්ගේ, ගුණ ඔවුන් ආරෝපණය කරගනිමින් ගුණවතුන් යටපත් කරන්නේ ය. ඔවුන්ට අගෞරව ම කරන්නේයි තීරණය කර භයංකාර වේසයක් මවා භය ගන්වා ඔවුන් දෙදෙනා එම ස්ථානයෙන් එළවා දැමීමට කටයුතු කළා යැයි පවසමින් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජම්ඹුඛාදක ජාතක කථාව නිමා කොට වදාළහ.

එ සමයෙහි කපුටා නම් දෙව්දත් තෙරුන් ය. කෝකාලික භික්ෂුව නම් කැණහිලා ය. දඹගසට අරක් ගත් දේවතාවා නම් මම්ම වේ යැයි ජාතක කතාවේ අතීත වර්තමාන චරිත ගළපා අවසන් කළහ.