Print this Article


සුනීත තෙරණුවෝ

සුනීත තෙරණුවෝ

රජගහ නුවර සුනීත නම් සැඩොලෙක් විය. හේ නුවර කසල ඇද වීදි ශුද්ධ කොට දිවි පවත්වයි.

දවසෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර පිඬු පිණිස වඩනා සේක්, සුනීත ශුද්ධ කරන වීදියට බට සේක. එවේලෙහි සුනීත ද වීදියේ කැලි කසල එකතු කොට කදෙක බහා, කද කර තබා ගෙන නුවරින් පිටත එනුයේ, බික් සඟ පරිවර කොට වඩනා භාග්‍යවතුන් වහන්සේ දුටුයේ ය.

දැක තැති ගෙන කලබල ව එහි යන්නට මඟක් හෝ සැඟවෙන්නට තැනක් හෝ නැත්තෙන්, කසල කද බිත්තියක් අද්දර තබා බිත්තියෙහි ඇලීගෙන භාග්‍යවතුන් වහන්සේ දෙසට දොහොත් මුදුන් තබා වැඳගෙන හුන්නේ ය.

කරුණායෙන් තෙත් වූ ළයැති භාග්‍යවතුන් වහන්සේ ඔහු ළඟට ම වැඩ මොළොක් මිහිරි හඬින් “සුනීත” කියා ඇමතූ සේක. අමතා මේ දුක සේ දිවි රැක්මෙන් මොන වැඩක් ද? පැවිදි වන්නට හැකිදැ? යි ඇසූ සේක.

සුනීත තෙම එයසා ඔද වැඩී ගිය සිතැත්තේ, “භාග්‍යවතුන් වහන්ස, මා වැනි නීචයනට මෙ සස්නෙහි පැවිදි වන්නට ලැබෙතොත් පැවිදි වන්නට බැරි කිම? එසේ නම් භාග්‍යවතුන් වහන්සේ, මා පැවිදි කරන සේක් වා” යී කී ය.

භාග්‍යවතුන් වහන්සේ ඔහු ඒහි භික්ෂු භාවයෙන් පැවිදි කළ සේක. ඉන් පසු වෙහෙරට කැඳවාගෙන ගොස් භාවනා පිළිවෙලක් උගන්වා ලූ සේක. හෙතෙම ඒ දුන් උපදෙස්හි පිහිටා භාවනා වඩනුයේ පංච අභිඥා හා අෂ්ට සමාපත්ති ඉපදැවීය. ඉන් පසු විදර්ශනා වඩා රහත් විය.

දෙවියෝ බ්‍රහ්මයෝ පවා ඒ සුනීත මහ රහතුන් වහන්සේගේ ගුණයෙහි පැහැද එළැඹ වැඳුම් පිදුම් කරති.

දිනක් දෙව් පිරිස විසින් පිරිවැරුණු සුනීත මහරහතුන් දැක භාග්‍යවතුන් වහන්සේ සිනා පහළ කොට පසසන සේක්, “තපෝ ගුණයෙන් ද සෙසු උතුම් පැවැත්මෙන් ද ශීලයෙන් ද ප්‍රඥායෙන් ද යන මේ කී දැයින් කෙනෙක් බ්‍රාහ්මණ වෙති. ජාති කුල ආදිය නො වැ මේ තපෝ ගුණාදිය ම උතුම් බ්‍රාහ්මණ බවට කරුණු යැ” යි වදාළ සේක.