Print this Article


සූකර ජාතකය: තමනට තරම් නොවන අය මඟ හැර යන්න

සූකර ජාතකය:

තමනට තරම් නොවන අය මඟ හැර යන්න

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම්හි වසන සේක. දවසෙක රෑ සැරියුත් මුගලන් දෙනම ධර්ම සාකච්ඡාවෙක යෙදී උන්හ. ඒ පිරිසෙහි හුන් එක් මහලු භික්ෂුවක් ‘සැරියුත් තෙරුන් ගෙන් ප්‍රශ්න අසා පරදවා පිරිසෙන් ගෞරව ලබමි’ යි සිතා තේරුමක් නැති වචන පෙළක් යොදා ගෙන ගොස් මෙය තෝරන්නැ යි කී ය.

සැරියුත් තෙරණුවෝ ඔහු ගේ අදහසත් ප්‍රශ්නයේ තත්ත්වයත් දැක, අස්නෙන් බැස තමන් සැතැපෙන තැනට වැඩියහ. මුගලන් තෙරණුවෝ ද තමන් වසනා තැනට වැඩියහ. උපාසකවරු ‘මොහු නිසා අපට බණ අසන්න නැති වී යැ’ යි ඒ භික්ෂුව ලුහු බැන්දහ. හේ පලා යනුයේ පුවරු දිරා ගිය වැසිකිළියට වැදුණේ පුවරු බිඳී,වළෙහි වැටී අසූචියෙන් වැකුණේ ය.

උපාසකවරු ගොස් එ පවත් භාග්‍යවතුන් වහන්සේට සැල කළහ. භාග්‍යවතුන් වහන්සේ ‘පෙරත් හේ, උතුමන් හා පොරට සැරැසී’ ඇඟැ අසූචි ගා ගත්තේ වේ දැ’යි වදාරා මේ ජාතකය වදාළ සේක.

තමාට තරම් නො වන්නාහු හා විවාදය මදි කමෙකි.

පෙර මහ වනයෙක තාපසාරාමයෙක් වෙයි. එය සමීපයේ මහ විලෙක් ඇත. එය ළඟ මහ ඌරු රැලෙක් ගොදුරු කා වෙසෙති. දිනෙක සිංහයෙක් ගොදුරු කා පැන් බොන පිණිස ඒ විලට බැස්සේ ය. හේ ඒ අසලින් මහ ඌරකු යන්නා දිටී. දැක, පසු දිනෙක මූ සුවසේ මරා කමි. අද මූට නො පෙනී යෑ යුතු යැ’යි සිතීය. සිතා ඌරාට නො පෙනී අන් තොටෙකින් ගොඩ නැඟී සිටියේ ය.

එ විට ඌරා එසේ යන සිංහයා දැක, ඌ තමාට බියෙන් පලා යෙති යි සිතා, ඌ හා සටනට කැඳවන සැටියක් අඟවනුයේ, ගොරවමින් සැර පපා පයින් බිමැ පස් විසුරුවමින් ඉදිරියට ගියේ ය.

‘අද නොව අන් දවසෙක එමි’යි හඟවමින් සිංහයා දැඩි බැල්මක් හෙළා ගොරවා යන්නට ගියේ ය.

ඌරා තමා කළ දෑ තම රැළට දැන්වීය. එවිට ඌරෝ බිය ගෙන ‘තා මේ නො දැන කළ දැයින් මුළු ඌරු රංචුවට ම විනාශය සැලැසෙති’යි කී හ.

එවිට ඌරා බිය ගත්තේ ය. “මෙයින් බේරෙන්නට උපායක් කියවූ‘ යැ යි යාච්ඤා කළේ ය. ඒ අසා ඌරෝ කියන්නෝ, ‘ළඟ තිබෙන තාපාසාරාමයට යව, ගොසින් වැසිකිළි වළවලැ ගිලී ඇඟ හැම තැනම අසූචි තවරා ගෙන වියළා ගනුව. හැමදා ම මෙසේ කරව. මෙ සේ කොට සෝදිසියෙන් සිංහයා සටනට එන වේලෙහි උඩු සුළඟේ සිටුව. අසූචි ගඳ නිසා සිංහයා පරැද පලායෙති’යි (උන්ගේ ඌරු බසසින්) කීහ. ඌරා ද උන් කී සේ ම කෙළේ ය.

කිහිප දිනෙකින් සිංහයා ආයේ ය. ඌරා ද උඩු සුළඟට වී සිටියේ ය. සිංහයාට ඌරාගේ ඇඟෙන් විහිදෙන අසූචි ගඳ උසුලා ගත නො හැකි විය. හේ ඌරා කළ උපාය තේරුම් ගෙන ‘තා කළ සැටි යහපත මෙසේ නො කෙළෙහි නම් අද තෝ මා අතින් මැරෙන්නෙහි ය. දැන් නම් කටින් හෝ අතින් හෝ පයින් හෝ තට ගෑවෙන්නටවත් නො හැක්කෙමි. තෝ එ තරමට ම පිළිකුලි. එබැවින් තට ම ජය යැ’යි කියන නියායෙන් කිහිප විටක් ගෙරැවීය.

ගොරවා එහි නො සිට පලා ගියේ ය. ඉන් පසු ‘ඌරෝ ‘දැන් මෙහි විසීම හොඳ නැතැ’ යි කියා බොහෝ ඈත අන් පෙදෙසකට ගියහ. එ සමයෙහි ඌරා නම් මෙ සමයෙහි මේ මහලු භික්ෂු ය. සිංහ වැ සිටියේ මෙ සමයේ භාග්‍යවතුන් වහන්සේ ය. “උසස් අය තමනට තරම් නො වන පහත් අය හා සටනට නො වදිති. උන් ගේ ඇනුම් බැනුම් ඉවසා මඟ හැර යති.”