Print this Article


පහන් සිතක කවි

යුතුකම්

කුස ආ දින පටන් සෙනෙහස දලුලනවා
පණ දෙවෙනියට ගෙන දරුවන් සුරකිනවා
තම කුස නැතත් දරු කුස ගිනි නිවලනවා
සරු හෙට දිනක් වෙනුවෙන් නිති වෙහෙසෙනවා

මව් පිය සෙනෙහසින් ජයටැඹ දකින දරු
වැජඹෙයි සමාජයෙ ඉහළම තැනෙක සරු
වියපත් වෙලා සවි ශක්තිය නැති වාරු
මහමඟ අසරණයි “අත්වැල” ඉවත් කෙරූ

සිටියත් තබාගෙන උරහිස වසක් සිය
ගෙවා දමනු හැකි වෙද ඒ උතුම් ණය
එක ලෙස නොරැඳ නික්මී යයි තරුණ විය
රැකගමු මව්පියන් නෙත් දෙක විලස තම

****

මෙවර ජයග්‍රාහී කවිය

පැහැදීම

පන්සිය නමක් බුදු හිමියන් පෙරටුකොට
දානෙට වඩින සැටි රජ මාළිගාවට
මේ දෙස බලා හුන් තම සිත සතුටපිට
අම්මා කෙනෙකි සිටි රජගෙය ඉදිරිපිට

ඇතුළට යන්න ඇය හට අවසර නැත්තේ
ඇවිටිලි කරල අංගනයට පැන ගත්තේ
ඇය තුටු වුණා තරමක් හෝ මේ තත්තේ
බුදුහිමි දකින්නට වෙර වීරිය ගත්තේ

මෙතුවක් කලක් දුක්විඳ මේ සංසාරේ
ඇය දෙවඟනක් වී ඇත දෙවියන් අතරේ
මෙහි ඉපදෙන්ට කළ පින්කම් ගැන සසරේ
එක් එක්කෙනා පළ කෙරුවා තම වාරේ

මහ සඟ රුවන බුදු හිමියන් පෙරටු කොට
වඩිනා ගමන දුටු බව සිත සතුට පිට
මෙහි ඉපදෙන්න මුල්වුන මෙම කරුණු පිට
මුල් විය මෙපින දෙව්ලොව දොර ඇරීමට

මෙතැනදි දැනෙනවා කළ පින්කමෙ තරම
ඇය හට හිමි වුණා දෙව්ලොව යන වරම
තෙරුවන් කෙරේ සිත පහදා ඇති තරම
අපි පින්කරමු නිවනින් සැනසෙන තුරම

****

දියුණුවෙහි මුතු

දරු ආදරය තිබුණත් මවු පියන් සිතේ
පාසල් යන්න මවු පියනට වරම් නැතේ
යහ මඟ සොයන දරුවන්ගේ අනාගතේ
කවදත් බාර වි ඇත්තේ ගුරුන් අතේ

මවුපිය ගුරුවරුන් වෙත නිති ගරු කරන
දුසිරිත් ඉවත ලා තෙරුවන් නිති වඳින
පින් සිතිවිලි නිතර තම මනසෙහි පුරන
ගුණවත් කමින් යුතු දරුවන් බිහි කරන

කිමිදී සොයන්නකු හට දියුණුූවෙහි මුතු
නිසි සේ හැඳිනගෙන සම්බුදු දහමෙ තතූ
සුදනන් ඇසුර ලැබ සදහම් පිණිස මතූ
නුවණින් යුතුව ගුරු ඇසුරම ලැබිය යුතූ

****

සිල් සුවඳ

මිල මුදල්
අසීමිත සැප සම්පත්
පැතුවෙ නැහැ කිසිදිනේ –
එහෙත්
ධනවත් ය ඔබ
සීල ධනයෙන්
ශ්‍රද්ධා ආර්ය ධනයෙන්
හිරි ඔතප් ධනයෙන්
මියැදුණත්
දැනේ මව්නි මට
ඔබේ සිල් සුවඳ අදටත්

****

දූ පුතු වෙතටයි

සම්මා සම්බුදු සමිඳු පුදන්නට
සුවඳ රුවැති මල් – සොයමු
එවැනිම සුවඳින් රුවෙන් අපේ සිත්
දුවේ පුතේ අපි හදමු

උදයෙහි පිබිදී සවසට පරවෙන
දහමට දිවිමග දැන ගනිමු
මරණය සිහිකොට එයින් මිදෙන මඟ
ඒ මල් පුදමින් අපි සිතමු

තණ්හා ආශා රැහැනින් ඇද බැඳ
ලොවක් නටන හැටි අපි දකිමු
විදුලොව මෙවලම් ගෙන අත තැබුවත්
එහි ඇති අනතුර ගැන සිතමු

ඉපිද කලක් හිඳ මියැදෙන දිවිමග
හරවත් මගකට – යොමු කරමු