Print this Article


පූජාච පූජනීයානං

හිපන්කන්දේ සද්ධාසිරි අනුනාහිමි

ඇල්පිටිය නවදගල හිපන්කන්ද ශ්‍රී පාද මහාවිහාරය ඇතුළු විහාර ගණයේ අධිපති , අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය හිපන්කන්දේ සද්ධාසිරි අනුනායක මාහිමිපාණන් වහන්සේ මාර්තු මස 16 වන දින සූ සැට විය සපුරමින් සැට පස්වන වියට පා තැබූහ.

1957 මාර්තු මස 16 වන දින හිපන්කන්දේ විසූ අයි. ඩී. මුනිදාස මැතිතුමා සහ හියාරේ හේවා මැසිලින් මැතිණියගේ බාල පුත්‍රයා ලෙස උපත ලද නාහිමිපාණන් වහන්සේ වයස අවුරුදු තුනේදී ම සම්බුද්ධ ශාසනයට පූජා කිරීමට මව්පිය යුවල ක්‍රියා කළහ. හිපන්කන්ද සෝමරතන විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා වර්ෂ 1969 නොවැම්බර් මස 24වන දින දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මාදම්පේ සද්ධාසෝම නාහිමිපාණන් උපාධ්‍යාය කොට තත් නාහිමියන්ගේ ආචාර්ය වූ දේවගොඩ සිරි වඩ්ඪනාරාමාධිපති මාදම්පේ සිරිරතන මාහිමියන් උපාධ්‍යාය කොට පැවිදි සම්පත් ලැබූහ.

කොරකීන විජිතාරාමාධිපති උතුරුමාගල දීපංකර මාහිමියන් වෙතින් මූලික බණ දහම් ප්‍රගුණ කොට වැයිහේනේ විද්‍යාශාන්ති පිරිවෙන , දඩල්ල විද්‍යාරාජ පිරිවෙන සහ තෙබුවන ග්‍රන්ථාකර පිරිවෙන යන විද්‍යායතනයන්හි අධ්‍යාපනය ලබා 1980 ජූනි 27 වන දින බලපිටිය වැලිතර මහා කප්පින වලව්බද ශ්වේජින් සීමාවේදී අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහා නායක කොස්ගොඩ ධම්මවංස මහ නාහිමිපාණන් උපාධ්‍යාය කොට උපසම්පදාව ලැබූහ.

ආචාර්ය හේන්පිටගෙදර ඤාණසීහ නාහිමිපාණන් වහන්සේ සෙවණෙහි පාතකඩ භික්ෂු අභ්‍යාස ආයතනයට ඇතුළත්ව සහ සර්වෝදය ශ්‍රමදාන සංසදය යටතේ පුහුණුව ලබා සමාජසේවා කටයුතු පිළිබඳ මනා පුහුණුවක් ලදහ. එම පුහුණුවෙහි විපුල ඵල දරමින් විහාරස්ථාන , දහම් පාසල්, මංමාවත් , ප්‍රජාශාලා ඉදිකිරීම් සහ නවීකරණ සිදුකරමින් අමිල වූ මෙහෙවරක් සිදු කළහ.

හිපන්කන්ද විද්‍යා සමාධි පිරිවෙන , සාලියපුර විද්‍යාප්‍රදීප පිරිවෙන , කතරගම සද්ධාසෝම පිරිවෙන , මහානාගපුර විද්‍යාගවේෂී පිරිවෙන , බොරළුකැටිය දීපංකර පිරිවෙන ,කොට්ටාව විද්‍යා සමාධි ද්විභාෂා මූලික පිරිවෙණ , තුංකම ශ්‍රී පඤ්ඤානන්ද මූලික පිරිවෙන , ශ්‍රී ධම්මතිලක මූලික පිරිවෙන ,වැනි පිරුවන් රාශියක් සහ පැලැන්වත්ත විද්‍යාසමාධි බෞද්ධ මධ්‍යස්ථානය , ඌරගස්මං හන්දිය දක්ෂිණාරාමය , ඌරගස්මං හන්දිය බෝධිමලු විහාරය, බෝකුන්දර ධම්මසමාධි බෞද්ධ මධ්‍යස්ථානය , පෙරගිරිගම විද්‍යාසමාධි ධර්ම නිකේතනය වැනි විහාරස්ථාන රාශියක් ද නාහිමිපාණන් වහන්සේ අභිනවයෙන් ආරම්භ කළහ. දුෂ්කර ගම්මානවල මංමාවත් තනවා, ළිං කපවා, බස් රථ ධාවනය පිණිස කටයුතු සම්පාදනය කරමින් ඉමහත් සමාජ සේවයක නිරත වන අතරතුර රටවල් රාශියක ධර්මප්‍රචාරක කටයුතු වල නිරත වූහ.

නාහිමිපාණන් වහන්සේගේ උදාරතර ලෝක ශාසනික මෙහෙවරට උපහාර පිණිස අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය මගින් කාරක සංඝ සභික පදවිය, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය සහ අනුනායක පදවියක් පිරිනමමින් සම්භාවනාවට පත් කළහ.

හිපන්කන්දේ සද්ධාසිරි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේට උභයාර්ථ ලෝක ශාසන සංග්‍රහය පිණිස ආයුරාරෝග්‍ය සම්පත් ප්‍රාර්ථනා කොට සිටිමු

****

ආචාර්ය තිස්සමහාරාමයේ පුණ්ණ නාහිමි

දකුණු ගිරුවාපත්තුවේ මාගම්පුර තිස්සමහාරාමය නම් වූ ඓතිහාසික ග්‍රාමවරයෙහි 1951 වර්ෂයෙහි දී ජන්ම ලාභය ලැබූ පුණ්ණ ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1964.08.20 වන දින පැවිදි භූමියට පත් වූහ.

රත්මලානේ මල්ලිකාරාම මහා විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත, ආචාර්ය, විනය විශාරද ධර්මකීර්ති ශ්‍රී සුමංගල විද්‍යාවතංස වැලිගම සිරි ඤාණරතනාභිධාන අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් හා අග්ගමහා පණ්ඩිත, පරමපූජනීය මඩිහේ සිරි පඤ්ඤාසීහාභිධාන සමස්ත ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් උතුම් පැවිදි උපසම්පදාව ලැබූ පුණ්ණ ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයෙන් හා රත්මලානේ මල්ලිකාරාමස්ථ ශ්‍රී ධර්මරක්ෂිත ත්‍රිපිටක ධර්මායතනයෙන් උගතමනා මූලික සදසතර හදාළහ.

හුණුපිටිය ගංගාරාම මහ පිරිවෙනෙහි උප ගුරුවරයකු වශයෙන් කලක් සේවය කළ පුණ්ණ හිමියෝ රත්මලානේ මල්ලිකාරාමස්ථ ශ්‍රී ධර්මරක්ෂිත ත්‍රිපිටක ධර්මායතන පිරිවෙනෙහි උපගුරුවරයකු වශයෙන් හා පරිවේණාධිපති වශයෙන් ද කලක් සේවය කොට, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ ව්‍යාපෘති නිලධාරියකු වශයෙන් ජාතික තලයේ සේවාව ඇරඹි උන්වහන්සේ 1990 වර්ෂයේ දී එහි ප්‍රධාන ව්‍යාපෘති නිලධාරියකු ලෙස උසස්වීම් ලදහ. ජාතික අධ්‍යාපන ආයතනයෙහි ආගම් පිළිබඳ අධ්‍යක්ෂ ධූරයට ද පත්වූහ.

ජනපි‍්‍රය ධර්ම සන්නිවේදකයකු වූ පුණ්ණ ස්වාමිපාදයෝ ගුවන්විදුලිය, රූපවාහිනිය හා පුවත්පත් මාධ්‍යයෙන් ද සිය ගණනක් ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා ප්‍රචාරණයට දායක වූහ. උන්වහන්සේගේ සහජ කුසලතා තුළින් ඔප්නැංවූ නිර්මාණශීලී ධර්ම සන්නිවේදනය එකල ගුවන්විදුලි ධර්ම චින්තාවලට සුවිශේෂ හැඩතල එකතු කරන්නට සමත් වූ බව වෙසෙසින් කිවමනා ය.

පුණ්ණ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ නිර්මාණ දායකත්වයෙන් ඇරැඹි ගුවන්විදුලියේ සසුන් කෙත හා රූපවාහිනියේ පින් කෙත යන වැඩසටහන් එකල බෞද්ධ ජනතාව අතර පමණක් නොව අන්‍ය ආගමිකයන් අතර ද බෙහෙවින් ජනපි‍්‍රය වීය.

ඒ තුළින් මෙරට උත්තම ගණයේ ආගමික නායකයන්ගේ පරමාදර්ශී චරිත තුළ යට ගැසුණු පුරුෂාර්ථ මතු කරමින් කෙලෙස් මළින් ඔද්දල් වූ සමාජ දේහය සුවපත් කරන්නට බොහෝ සෙයින් උපස්ථම්භක වීය.

සුවඳ කැකුළු, සිරිත් විරිත්, ධම්ම චින්තා ආදී ග්‍රන්ථ රැසක් රචනා කළ පුණ්ණ හිමියෝ පිරිවෙන් පාඨ ග්‍රන්ථ සකස් කිරීමෙහි මෙන්ම පාසල් බුද්ධ ධර්මය පාඨ ග්‍රන්ථ සැකැසුමෙහි හා දහම් පාසල් පාඨ ග්‍රන්ථ සැකසුමෙහි ද පුරෝගාමී අනුශාසකත්වය දැරූහ.

කාලයේ වැලිතලාවෙන් වැසුණු මහානීය ධර්ම පුස්තකයන් මුද්‍රණය කොට සුරක්ෂා කිරීම ද උන්වහන්සේ අතින් සිදු වූ අනූපමේය සේවාවකි. දරිද්‍රතාවෙන් මිරිකුණු අසරණ දරුවන්ට මෙන් ම වැඩිහිටියන්ට පිහිටවීමේ අදිටනින් ඇරඹි සමාජ සත්කාරයන් ද බොහෝමයක් ක්‍රියාවට නැං වූ උන්වහන්සේ සුනාමිය වැනි ව්‍යසනයන් හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සිත්මිණි උපදේශන සේවා පදනම පිහිටුවා උපදේශනය හා මාර්ගෝපදේශනය පිළිබඳ ජාතික වැඩපිලිවෙළක් ද ක්‍රියාත්මක කළහ.

ඒ අතර අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ සනාථන සභාවේ සාමාජිකත්වය ද, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ජනමාධ්‍ය උපදේශන සභාවේ සාමාජිකත්වය ද, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ බෞද්ධ උපදේශන සභාවේ සාමාජිකත්වය ද හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ සාමාජිකත්වය ආදී උසස් තනතුරු දරමින් එකී ආයතනවල සුභවාදී ගමන් මඟට කළා වූ සක්‍රීය දායකත්වය සදා අනුස්මරණීය වේ.

පුණ්ණ ස්වාමිපාදයන් වහන්සේ කොතරම් අධ්‍යාපනික, සමාජීය සේවාවන්හි තත්පරව සිටියත් ස්ව නිකායාභිවෘද්ධියට දුන් දිරි බල ද මෙහිලා වෙසෙසින් සඳහන් කළ යුතු ය. අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ කාරක මණ්ඩලයෙහි සාමාජිකත්වය හා අධිකරණ මණ්ඩලයෙහි සාමාජිකත්වය ද දරමින් ශාසනාභිවෘද්ධිය උදෙසා කළ කැප කිරීම ඉතා ප්‍රශස්ත ය.

සමාජ අසාධාරණය මුළුමනින් පිටු දකිමින් උස්මිටිකම් නොතකා උජුපටිපන්නව ක්‍රියා කළ උන්වහන්සේ භික්ෂු ගෞරවය වෙනුවෙන් ඇප කැප වී ක්‍රියා කළහ.

වසර පණස් පහක (55) පමණ අල්පායුෂ්ක ව වැඩ විසු මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ ආගම් අධ්‍යක්ෂ ආචාර්ය තිස්සමහාරාමයේ පුණ්ණ මාහිමිපාණන් වහන්සේට උතුම් නිවන් සුව පසක් වේවා.