Print this Article


සොහොනෙහි හැර දැමූ බිළිඳා සිටු මාලිගයකට ගිය හැටි

සොහොනෙහි හැර දැමූ බිළිඳා සිටු මාලිගයකට ගිය හැටි

භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි කාලයේ සැවැත්නුවර ජීවත් වූ උපාසකවරු පිරිසකි. නගරයෙහි මහත් වූ මණ්ඩපයක් කරවා විවිධ පැහැයන්ගෙන් යුත් රෙදිවලින් අලංකාර කළහ. කල්වේලා ඇතිව ම තථාගතයන් වහන්සේට හා භික්ෂු සංඝයා වහන්සේට ආරාධනා කොට විශාල වටිනා බුමුතුරුණු අතුරා පිළියෙළ කළ අසුන්වල තථාගතයන් වහන්සේ ඇතුළුව මහා සංඝ රත්නය වඩා හිඳවූහ. සුවඳ මල් ආදියෙන් පුදා මහා දානයක් සකසා පූජා කර ගත්තා හ.

තණ්හාවෙන් අධික එක් මුරු මිනිසෙක් එය දුටුවේය. ඒ සත්කාර නො ඉවසා හෙතෙම මෙසේ කියා සිටියේ ය.

“ මේ සියල්ල කසළ ගොඩේ දැමුවා නම් යහපත්. මේ හිස මුඩු මහණුන්ට දීම යහපතක් නම් නොවේ”

උපාකවරු එය අසා කලකිරීමට පත්වූහ.

“මේ පුද්ගලයා විසින් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ කෙරෙහි ක්‍රෝධ සිතක් ඇතිකර ගනු ලැබීය. අපරාධයක්, පාපයක් කර ගත්තේ ය. ඒ බව ඔහුගේ මවට දන්වා සමාකර ගැනීමට උපදෙස් දිය යුතුයි සිතා ඔහුගේ මව වෙත ගොස්

“ඔබගේ පුත්‍රයා ශ්‍රාවක සංඝ රත්නය සහිත භාග්‍යවතුන් වහන්සේට නුසුදුසු වචන කියා තිබෙනවා. ඒ නිසා ඔහු කැඳවාගෙන ගොස් භාග්‍යවතුන් වහන්සේ සමාකරවා ගන්නැයි” කියා සිටියහ. ඒ වදන් මැනවින් පිළිගෙන, තම පුතා පිළිබඳ ව අනුකම්පාවක් ඇතිකරගත් ඒ මව පුත්‍රයාට වැරැද්ද පෙන්වා දී භාග්‍යවතුන් වහන්සේ හා භික්ෂුන් වහන්සේලා වෙත එළඹ සමාව ඇයද සිටියා ය.

ඉන්පසු ඇය තම පුත්‍රයා සමඟ සත් දිනක් උන්වහන්සේලා උදෙසා කැඳ දානයක් පූජාකර ගත්හ.

පසුව ඇයගේ පුත්‍රයා වැඩිකල් නො ගොස්ම මිය ගියේ ය. අපවිත්‍ර වූ ක්‍රියාවන්ගෙන් ජීවිතය ගෙන ගිය වෛශ්‍යාවකගේ කුසෙහි පිළිසිඳ ගත්තේ ය. ඇය මේ දරුවා උපන් මොහොතෙහි පිරිමි දරුවකු බව දැන සොහොනෙහි දමා ගියා ය.

නමුත් ඔහුගේ පෙර පින් තිබූ නිසා ආරක්ෂා සහිත වුණි. කිසිදු උවදුරකින් තොරව මවගේ ඇකයේ මෙන් සුවසේ නිදා ගත්තේ ය. දෙවියෝ ඔහු ආරක්ෂා කළ බව ද සඳහන් ය.

භාග්‍යවතුන් වහන්සේ අලුයම් කාලයෙහි මහා කරුණා සමාපත්තියෙන් නැඟී සිට බුදු ඇසින් ලොව දෙස බලන කල්හි සොහොනෙහි හැර දමන ලද ඒ දරුවා දැක හිරු උදාවෙන වේලාවේ සොහොනට වැඩම කළහ. ශාස්තෘන් වහන්සේ මෙහි වඩින්නේ යම්කිසි කරුණක් සඳහා ම විය යුතු යැයි සිතූ මහජනයා ද එහි රැස් වූහ. භාග්‍යවතුන් වහන්සේ පැමිණ සිටි පිරිස ඉදිරියේ

“මේ දරුවා ලාමක කෙනෙක් කියා නො සිතන්න. යම්කිසි කරුණක් නිසා මව විසින් සොහොනේ දමා ගිය නිසා අසරණ ව අනාථ ව සිටියි. නමුත් මේ දරුවා මතු කාලයේ මේ අත්භවයෙහි ද, පරලොව භවයෙහි ද මහත් වූ සම්පත් ලබන කෙනෙක් වෙනවා” යැයි වදාළ සේක.

එවිට එහි රැස්ව සිටි පිරිස අසා සිටියේ “ස්වාමිනි මේ දරුවා මෙසේ සොහොන් බිමේ දමා යන්නට ඔහු පෙර ජීවිතයේ කළ කර්මය කුමක්ද?” කියායි.

පින්වතුනි, “එදා සැවැත්නුවර ජනයා විසින් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේට මහත් වූ වියපැහැදම් කර ආවාස පූජාවක් කළා. එදා මොහුගේ සිතට ඒ සම්බන්ධයෙන් අනාදරයක් ; අගෞරවයක් ඇතිවුණා. ඒ නිසා ‍මොහු පරුෂ වචන කියමින් අපහාස කළා . මේ දරුවා විසින් කරන ලද කර්මය එයයි.

නමුත් අනාගත කාලයෙහි මොහුගේ අකුසලය ගෙවී පින මතුවෙනවා. සැප සම්පත් ලැබෙනවා” යැයි රැස්ව සිටි පිරිසට චතුරාර්ය සත්‍ය ධර්මය ගැබ් වූ සාමුක්කංසික දේශනාව ද වදාරමින් ධර්මය දේශනා කළ සේක.

ඒ දේශනාව අවසානයේ අසූහාර දහසක් දෙනාට ධර්මය අවබෝධ විය. එතැන සිටි දරුවන් අහිමි, අසූ කෝටියක් ධනය ඇති එක් සිටුවරයෙක් භාග්‍යවතුන් වන්සේ සමීපයේ දී ම “මේ දරුවා මගේ පුතා” යැයි කියා බාරගත්තේ ය.

මේ පිය සිටුතුමා කාලයකට පසු මිය ගියේ ය. එකල්හි ඔහු ඇතිදැඩි කළ දරුවා තරුණ වියේ සිටියේ ය. පියා විසින් උරුම කර දෙන ලද ධනය රකිමින් කුල පරම්පරාව පිහිටුවමින් එම නගරයේ මහත් සම්පත් ඇති සිටු පුත්‍රයකු ලෙස ඔහු ජීවත් විය. පිනෙහි වටිනාකම දන්නා ඔහු නිතරම දානාදී කුසල් කර්මයන්හි නියුතු වුණි.

එක් දිනක් භික්ෂු සංඝයා වහන්සේ දම් සභාවේ රැස්වී මේ පිළිබඳව කතාබස් කරමින් සිටියහ. භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් ම සත්වයන් කෙරෙහි අනුකම්පා ඇති සේක. අද මහත් වූ සැප සම්පත් අනුභව කරන උදාර වූ පින්කම් කරන මේ තරුණයා එදා අනාථ ව සොහොන්බිමේ සිටි කෙනෙක්” කියා කතා වුණි.

එම කතාව ඇසුණු ශාස්තෘන් වහන්සේ “පින්වත් මහණෙනි, මොහුගේ සම්පත් මෙ පමණක් නොවේ. මොහුගේ ආයුෂ කෙළවර තව්තිසා දෙව්ලොව සක් දෙවිඳුගේ පුත්‍රයා වී ඉපදෙනවා. මහත් වූ දිව්‍ය සැපත් ලබනවා. සමහර පුද්ගලයන්ට හොඳීන් පින් තිබෙනවා. සමහර පුද්ගලයන්ට පින් තිබෙන්නේ ටිකයි. යැයි ගාථා වදාරමින් මෙසේ වදාළ සේක.

මේ කුමාරයා සොහොනේ අත්හැරලා දාලා තිබුණේ. මේ දරුවාගේ ඇඟිල්ලෙන් වැගිරෙන කිරිවලින් තමයි රාත්‍රියට යැපෙන්නේ. කළ පින් ඇති මේ කුමාරයාට යක්ෂ භූත කිසිවකුගෙන්වත්, සර්පයකුගෙන්වත් හිංසා වුණේ නැහැ.

කවුඩෝ, සිවල්ලු මේ දරුවා එහාට මෙහාට පෙරළනවා විතරයි. පක්ෂීන් ඇවිත් මේ දරුවාගේ සිරුර වටා තිබෙන ගැබ් මළ ඉවත් කරනවා. කපුටෝ ඇවිත් ඇස් වටේ තිබෙන කැතකුණු ඉවත් කරනවා.

මේ දරුවාගේ රැකවරණයට කිසිදු මනුස්සයෙක් සිටියේ නැහැ. බෙහෙතක් දෙන්නට කෙනෙක් නැහැ.

අබ ආදියෙන් දුම් ඇල්ලීමක් නැහැ. මොහු වෙනුවෙන් නැකත් හැදීමක් නැහැ ඒ වගේම ඇල් වී ආදි සියලු ධාන්‍ය විසිරීමක් නැහැ.

රෑ පානේ ගෙනවිත් අමු සොහොනක අතැරලා දැමූ දරුවෙක්. වෙඬරු පිඬක් වගේ වෙව්ලනවා. ජීවත් වෙයිද කියන කාරණෙත් සැකයි. මේ විදියේ තත්වයකට පත් වූ දරුවෙක් දෙව් මිනිසුන්ගේ පිදුම ලබන මහා ප්‍රඥාවන්තයෙක් බව තථාගතයන් වහන්සේ දුටුවා. එසේ දුටු වේලාවෙදියි මේ කුමාරයා මේ නගරයේ භෝග සම්පත්වලින් අග්‍ර ව, උසස් කුලවන්තයෙක් බවට පත්වෙනවා කියා දේශනා කොට වදාළේ.

මේ කුමාරයා කළ පින කුමක් ද? ගතකළ උතුම් ජීවිතය කුමක් ද? ඔහු මේ විපාකය ලබන්නට මොනවගේ දෙයක්ද හොඳීන් පුරුදු කළේ. මේ වගේ දරුණු ව්‍යසනයකට පත් වූ කෙනෙක් අර විදිහේ සැප සම්පත් ඇති ආනුභාව සම්පන්න කෙනෙක් වෙන්නේ කොහොමද?

එවිට භික්ෂුන් වහන්සේලා අසා සිටිය හ.

“මහණෙනි, ජනතාව බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා වහන්සේට මහා පූජාවක් කළා. ඒක දැකලා මොහුගේ සිත අපැහැදුණා. බුදු පාමොක් සඟරුවනට නොගැලපෙන පරුෂ වචන කිව්වා.පසු කලෙක දී මොහු ඒ නපුරු අදහස දුරු කරගෙන ප්‍රීතියත්, පැහැදීමත් උපදවා ගත්තා. ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන තථාගතයන් වහන්සේට සත් දිනක් මුළුල්ලේ කැඳ බත්වලින් උපස්ථාන කළා. එය ඔහුගේ ව්‍රතය යි.

මේ වගේ දරුණු ව්‍යසනයකට පත් වූ කෙනක් වෙලත් ඒ ආකාරයේ සැප සම්පත් ඇති ආනුභාව සම්පන්න කෙනෙක් වෙන්නේ ඒ පින නිසාම යි.”

මේ කුමාරයා මේ මනුස්ස ලෝකයේ සියක් අවුරුදු ජීවත් වෙනවා. සියලු සැප සම්පත්වලින් යුක්ත වෙනවා. කය බිඳී මරණින් මතු දෙව්ලොව උපදිනවා යැයි නැවතත් තථාගතයන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රශ්න වලට පිළිතුරු දී වදාළ සේක.