Print this Article


නිවැරදිව දැන චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරමු

නිවැරදිව දැන චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරමු

හෙළයේ මහා මංගල්‍යය වෙනුවෙන් සූදානම් වන ඔබ එහිදී සිදු කරන චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ කෙතරම් නම් උනන්දුවක් හා අවබෝධයක් ඇතිව කටයුතු කරන්නේ ද යන්න කල්පනා කළ යුතු කාලය එළඹ ඇත.

අප රටට බුදු දහම ලැබීමෙන් පසු සමාජය, සංස්කෘතිය සියල්ල දහමට අනුව සකස් වූයේ එය මානව සංවේදී ධර්මයක් වූ හෙයිනි.

සමාජයේ මූලිකම ඒකකය වන්නේ පවුල ය. පවුලේ ප්‍රධානම සාමාජිකයන් දෙදෙනා වන්නේ මව හා පියා යන දෙදෙනා ය. මෙම දෙදෙනා සිදු කරනු ලබන සෑම ක්‍රියාවක් ම අනෙකුත් සමාජිකයන් කෙරෙහි ප්‍රබලව බලපෑම් කරනු ලබයි. “පුබ්බා චරියාච වුච්චරේ” යනුවෙන් දෙමාපියන් පූර්ව ආචාර්ය වරයන් ලෙස බුදුරජාණන් වහන්සේ හඳුන්වා ඇත්තේ ද එම හේතුව නිසා ය. මෙහි දී වඩා වැදගත්ම චරිතය වන්නේ නිවසේ අම්මා ය. ගෙදර බුදුන් අම්මා යනුවෙන් හඳුන්වා ඇත්තේ අම්මාගේ භූම්කාවේ ඇති උතුම් බව හේතුවෙනි. ‘තොටිල්ල පදවන අත ලොව ආණ්ඩු කරයි.’ යනුවෙන් දැක්වෙන පිරුළ තුළින් ගෙදර තුළ පමණක් නොව ලෝකය තුළ ද මවකට විශාල කාර්ය භාරයක් පැවරී ඇති බව පසක් කරයි.

අලුත් අවුරුදු චාරිත්‍ර වැඩි ප්‍රමාණයක් බැදී පවතින්නේ ගෙදර මව මූලික කරගෙන ය. අවුරුදු සමය එළඹෙත්ම නිවසේ පිරිසිදු කිරීමේ කටයුතු සිදු කිරීමට මූලිකත්වය ගන්නේ මව යි. මෙම පිරිසිදු කිරීම නිවසේ පමණක් නොව පවුලේ සාමාජිකයන්හට පවා සිදු කරයි. එනිසාම අලුත් ඇඳුම් ආයිත්තම් නිවසේ සියලු දෙනා හට ලබා දෙමින් නිවසේ සාමාජිකයන්ගේ සතුට වෙනුවෙන් කැප කිරීම් කරයි. මෙලෙස අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම තුළ යහපත් සමාජ ප්‍රගමනයක් උදාකර ගත හැකි ය.

“ඥාතීත්වය හඳුනා ගැනීම,වැඩිහිටියන්ට ගරු කිරීම, කළ ගුණ සැලකීම, මව්පියන්ට සැලකීම, තමාට වැරදි කළ අයට සමාව දී පරණ හිතවත් කම් නැවත ඇති කර ගැනීම, ගමේ සිටින සියලු දෙනා එකාවන්ව කටයුතු කිරීම, පරිත්‍යාග කිරීම, අනෙක් අයට උදව් කිරීම, සමගිය ඇති වීම, නව සම්බන්ධතා ගොඩ නැඟීම,ගමයි පන්සලයි අතර ආගමික බැ¼දීම වැඩි දියුණු වීම, සොබා දහමට ගරු කිරීම,” ආදී බොහෝ යහපත් ගුණ ධර්ම රාශියක් අවුරුදු සමයේ සමාජය තුළ පෝෂණය වේ. මෙම සියලු ගුණ ධර්ම අවුරුදු කාලයේදී චාරිත්‍ර යන විශේෂ නමකින් හඳුන්වනු ලබයි. යහපත් සමාජයක් බිහි වීමට නම් මෙම සියලු ගුණාංග එම සමාජය තුළ අනිවාර්‍යයෙන් තිබිය යුතු ය.

මෙම යහපත් සියලු ගුණාංගයන් සමාජ ගතවීමේදී මවගේ භූමිකාව ඉතා වැදගත් වේ. මවගෙන් දරුවන්හට මෙම ගුණ ධර්ම නිසි අයුරින් දායාද විය යුතු ය. එසේ නොවුන කල බාල, තරුණ දරුවන් චාරිත්‍රයන් නොදැනීමෙන් ඉහත ගුණ ධර්මවලින් තොරව කටයුතු කරනු ලබයි. එසේ වැඩෙන සමාජයක් තුළින් කිසි විටෙකත් යහපත් හැසිරීම් දැක ගැනීමට නොහැකි ය.

ඥාතීත්වය යන බැඳීම මිනිසුන් අතර පමණක් පවත්නා සුන්දර සමාජ සංස්ථාවකි. පවුලේ සමීප ඤාතීන් අතර ජීව විද්‍යාත්මක හා මනෝ විද්‍යාත්මක යන දෙයංශයෙන් ම බැ¼දීමක් පවතී. මෙම බැඳීම ශක්තිමත් කරන එක් අවස්ථාවකි අවුරුදු සමය. බුදුන් වහන්සේ ඤාතීන් වෙනුවෙන් සැලකීම මංගල කාරණාවක් ලෙස මංගල සූත්‍රය තුළ දක්වා ඇත. එමෙන්ම තමා උපයන ධනය උසස් ලෙස භුක්ති වි¼දීමට නම් ඤාතීන් වෙනුවෙන් තම ධනයෙන් කොටසක් නිර්ලෝභීව වෙන් කොට ඔවුනට සංග්‍රහ කළ යුතු බව දක්වා ඇත. මෙම ඤාතී සම්බන්ධතාවයේ වටිනාකම් හා ඒවා පවත්වාගෙන යාම පිළිබඳව දරුවන් වෙත මඟ පෙන්වීමට ලැබෙන මහඟු අවස්ථාවක් ලෙස අවුරුදු සමය අර්ථ ගැන්විය හැකි ය.

සමාජයේ පැවත්ම විෂයයෙහි ආගමික, සංස්කෘතික, ජාතික යන අංශයන්ගෙන් පෝෂණය වූ විවිධාකාර උත්සව මෙන්ම චාරිත්‍ර වාරිත්‍ර අප රට තුළ දක්නට ඇත. එහි ප්‍රධාන උත්සව අවස්ථාවකි අලුත් අවුරුදු උදාව සැමරීම. මෙම සැමරීමේ දී ඒ කාලයට ම සුවිශේෂ වූ පිළිපැදීම් රාශියක් ඇත. පරණ අවුරුද්ද සැමරීම, අලුත් අවුරුදු පිළිගැනීම, පුණ්‍ය කාලය, ආහර පිස අනු භවය හා වැඩ ඇල්ලීම, ගනු දෙනු කිරීම, හිසතෙල් ගෑම, රුකියාවන් සඳහා පිටත්ව යෑම යන චාරිත්‍ර රාශියකින් අවුරුදු දින කිහිපය තුළ කටයුතු කිරීම ශ්‍රි ලාංකේය ජනතාවගේ සුවිශේෂත්වය යි.

වර්තමාන සමාජයේ මව රැකියාවක නිරතව සිටීම ඉතාම සුලභ කාරණාවකි. එහෙත් ඔබ කුමන රැකියාවක් සිදු කළත් කුමන සමාජ මට්ටමක සිටියත් ඒ සියල්ලේම පැවත්ම තීරණය වන්නේ හෙළ සංස්කෘතිය කෙරෙහි ඔබ දක්වන සැලකිල්ල මත ය.

තාක්‍ෂණික දියුණුව සමග ආර්ථික අභිලාෂයන් පසු පස පමණක් හඹා යමින් කුල සිරිත්, හෙළ සිරිත් අමතක කොට ගමන් කරයි නම්, ඔබ පමණක් නොව ඔබේ පවුලේ සියලු දෙනාගේ ම පරිහානිය සිදු වීමට එය ප්‍රබලව බලපානූ ලබයි.

මිනිසා සමාජීය සත්වයකු වන බැවින් හුදකලාව ජීවිතය ගෙවීමට බොහෝ පිරිසකට නොහැකි ය. එනිසා සමාජ ගනුදෙනුවලදී චාරිත්‍ර වාරිත්‍රයන් ක්‍රියාත්මක කිරීමට මිනිසාට නිරන්තරයෙන් සිදු වේ. එබැවින් අත්‍යවශ්‍යයෙන් ඔබ සෑම හෙළ සිරිතකම ගරු කළ යුතුවන අතර, තමාගේ සීමාවේදි එය ක්‍රියාත්මක කිරීම ද මැලි නොවිය යුතුයි.

අතීතයේ පටන් කුල පරම් පරාවේ චාරිත්‍ර රැක ගැනීම විෂයයෙහි මූලිකත්වයක් ගෙන කටයුතු කිරීම දැක ගත හැකිය. විශාකා වැනි චරිත දෙස බැලීමේදී විවාහ දිනයේ දී ඇයට දෙන ලද අවවාද අතර මව්පියන් ගේ කුලය ආරක්‍ෂාවන පරිදි කටයුතු කළ යුතු බව සිහිපත් කර දී ඇත. එබැවින් සෑම අවස්ථාවක ම ඔබ ඔබේ යුතුකම් නිවැරදිව ඉටු කරන්න. මන්ද යත් ඔබ දෙස බලමින් සෑම විටම ඔබේ දරුවා ඉගෙන ගනී.

ඔබ මේ අවුරුදු කාලය ගෙවන ආකාරය අනුව ඔබේ දරුවන් ඒ චාරිත්‍ර ඉදිරියට පවත්වාගෙන යනු ලබයි. සෑම මොහොතකම ඔබ ඔබේ මව් පිය භූමිකාව ආරක්‍ෂා කරගන්න. යහපත් සමාජයක නිමැවුම් කරුවන් ඔබ වන නිසා පළමුව ඔබ චාරිත්‍ර නිවැරදිව දැන එවා ඉටු කරන්න. එවිට උත්සාහයකින් තොරව සමාජය තුළ යහපත් ගුණ ධර්ම වර්ධනය වීම මෙන්ම ඔබ බලාපොරොත්තු වන යහපත් දරුවකු නිර්මාණය වේ.