Print this Article


තුන්පිටකයට පිවිසුමක් - 02: නවාංග සත්ථු ශාසනය

තුන්පිටකයට පිවිසුමක් - 02:

නවාංග සත්ථු ශාසනය

සුත්ත

සම්පූර්ණ විනය පිටකයත්, සුත්ත නිපාතයේ එන සූත්‍ර නමින් හැඳින්වෙන වෙනත් දේශනාවනුත් මෙම අංගයට ඇතුළත් වෙයි. විනය නීති පැනවීමට පෙර භික්ෂූන් වහන්සේලාගේ හික්මීමට අවශ්‍ය කරුණු ඇතුළත් වූයේ සූත්‍රවල ය. එබැවින් මෙම නවාංගයේ දී විනය සූත්‍ර ගණයට ඇතුළත් කර ඇත.

ගෙය්‍ය

සියලුම ගාථා සහිත සූත්‍ර ගෙය්‍ය නම් වේ.

වෙය්‍යාකරණ

සම්පූර්ණ අභිධර්ම පිටකයත්, ගාථා රහිත සූත්‍රත් සෙසු ඉතිරි අංග අටට අයත් නො වන දේශනාවනුත් වෙය්‍යාකරණ ගණයට අයත් වේ.

ගාථා

ධම්මපද, ථෙරගාථා, ථෙරී ගාථා යන ග්‍රන්ථත් සුත්ත නිපාතයේ සූත්‍ර නාමයෙන් හඳුන්වා නැති දේශනා ගාථා අංගයට අයත් වේ.

උදාන

බුදුරදුන් විසින් සොම්නස හා ඤාණමය පී‍්‍රතියත්, ධර්ම සංවේගයත් පදනම් කරගෙන වදාළ “අනේක ජාති සංසාරං.....” වැනි ගාථා දේශනා උදාන නම් වේ. උදාන පාලියේ එබඳු උදාන අඩංගු සූත්‍ර 83 ක් ඇත.

ඉතිවුත්තක

ඉතිවුත්තක පාලිය නමැති කොටසේ ඇති 110 ක් වූ සූත්‍ර දේශනා ඉතිවුත්තක නම් වේ.

ජාතක

බුදුරදුන්ගේ බෝධිසත්ත්ව ජීවිතය ගැන කියැවෙන අපණ්ණක ආදී 550ක් පමණ වූ දේශනා ජාතක නම් වේ.

අබ්භූත ධම්ම

බෝසතාණන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ සහ ආනන්ද තෙරුන් වහන්සේ ආදී රහතන් වහන්සේලා පිළිබඳවත් කියැවෙන ආශ්චර්ය අද්භූත කරුණු ඇතුළත් “අච්ඡරිය අබ්භූත සූත්‍රය” වැනි දේශනා ‘අබ්භූත ධම්ම’ නම් වේ.

වේදල්ල

වේද හෙවත් නුවණත්, සතුටත් ලබමින් විමසන ප්‍රශ්නෝත්තර ඇතුළත් සූත්‍ර වේදල්ල ගණයට අයත් වේ. උදාහරණ ලෙස චුල්ල වේදල්ල, මහා වේදල්ල, සම්මා දිට්ඨි, සක්ක පඤ්හ යනාදී සූත්‍ර දේශනා දැක්විය හැකි ය.

අසූහාර දහසක් ධර්මස්කන්ධ

සම්බුද්ධ දේශනාවෙහි තවත් සුවිශේෂී බෙදීමක් ලෙස ධර්මස්කන්ධ වශයෙන් අසූහාර දහසකට (84000) බෙදා දැක්වීම පෙන්වාදිය හැකි ය. මෙම බෙදීම සැදැහැවතුන් අතර බෙහෙවින් ම ප්‍රකට ය. එයට හේතුව ධර්මාශෝක අධිරාජයා 84,000 ක් ධර්මස්කන්ධය වෙනුවෙන් 84,000 ක් වෙහෙර විහාර ඉදිකළ බවත්, ඒ අතර ස්වකීය නාමයෙන්ම පැලලුප් නුවර අශෝකාරාමය ඉදිකළ බවත්, ශාසන ඉතිහාසයේ සඳහන්ව තිබීම යැයි සිතමි.

මෙම ධර්මස්කන්ධ බෙදීම පිළිබඳව දීඝ නිකාය අටුවාවේ කරුණු විවරණය කොට තිබේ. ඒ අනුව එක් අනුසන්ධියක් යනු එක් ධර්මස්කන්ධයකි. අනුසන්ධියක් යනු කුමක් දැයි, පළමුව විමසා බලමු.

අනුසන්ධියක් යනු සූත්‍රයක ඇතුළත් එක් අදහසක් දෙන ගාථාවක්, ප්‍රශ්නයක්, පිළිතුරක් හෝ වාක්‍යයක් ය. මේ අනුව සූත්‍රයක ඇතුළත් වෙනස් වෙනස් අර්ථ ප්‍රකාශ කෙරෙන දහම් කොටස් ධර්මස්කන්ධ ගණයට ඇතුළත් වන බව පැහැදිලි ය.

එක් අනුසන්ධියක් යනු එක් ධර්මස්කන්ධයකැයි, ඉගැන්වෙන ක්‍රමයට අනුව මෙය සරලව විමසා බලමු. ඊට උදාහරණ ලෙස ධම්මචක්කප්පවත්තන සූත්‍රය ගතහොත් එහි දැක්වෙන ‘අත්තකිලමතානුයෝගය’ හා කාමසුඛල්ලිකානුයෝගය යන අන්ත දෙක අනුසන්ධි දෙකකි. එනම් ධර්මස්කන්ධ දෙකකි.

දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන සත්‍ය සතර ධර්මස්කන්ධ සතරකි. සංඛ්‍යාත්මකව දක්වන ධර්ම කරුණු ඇතුළත් සූත්‍රවල එක් එක් කරුණක් වෙන වෙනම ධර්මස්කන්ධයකි. පිළිතුර තවත් ධර්මස්කන්ධයකි. අභිධර්මයෙහි එන චිත්ත, චෛතසික, රූප ආදියෙහි ඇති බෙදීම් ද එක් එක් ධර්මස්කන්ධ ගණයට ඇතුළත් වෙයි. විනයෙහි ද ශික්ෂාපද පිළිබඳ කෙරෙන විවිධ විවරණ එක එකක් වෙන වෙනම ධර්මස්කන්ධයෝ ය. මේ අනුව 84,000 ක් ධර්මස්කන්ධය සම්පූර්ණ වන්නේ මෙසේ ය.

විනය පිටකයෙහි ධර්මස්කන්ධ 21 000 ක්

සූත්‍ර පිටකයෙහි ධර්මස්කන්ධ 21 000 ක් හා

අභිධර්ම පිටකයෙහි ධර්මස්කන්ධ 42 000 වන අතර සියල්ල 84,000 කි.