Print this Article


ශරීරයේ සැබෑව අවබෝධ කරගන්න

ශරීරයේ සැබෑව අවබෝධ කරගන්න

නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

සුපින්වත්නි,

බුදුරජාණන් වහන්සේ ශරීරය පිළිබඳ විනිවිධ දැක විවිධ අයුරින් දේශනා කොට ඇත. ත්‍රිපිටකයේ විවිධ තැන්හි ඒ පිළිබඳ කරුණු ඇතුළත් ව ඇත.

වාහනය හා ශරීරය සජීවි අජීවි බවින් වෙනස් වුව ද දෙකෙහි ම ස්වභාවය එක අයුරින් පවතී.

ඒ දෙක අතරෙහි සජීව, අජීව බව තිබුණත් බොහෝ දුරට ශරීරය හා වහනය සමාන කිරීමට හේතු සාධක බොහොමයක් ඇත.

ශරීරය වනාහි දෙතිස් කුණුප කොටස්වලින් පිරිපුන් එකකි. එවැනි කුනුප කොටස් තිස් දෙකක් පමණ මේ ශරීරය තුළ පවතී. පිළිකුල් භාවනාවේ දී වුව ද ප්‍රගුණ කෙරෙන්නේ එම කොට්ඨාශයන් ය .

එම කුණුප කොටස් තුළින් මෙම ශරීරය නිතර ම අපවිත්‍ර වන අතර, ඒ නිසාම නිතර නිතර සුද්ධ පවිත්‍ර කිරීමට ද අවශ්‍ය වේ.

දොරටු නවයකින් නිතර ම අපවිත්‍ර දෑ පිටවනු ඇත. උදේට පිපෙන මල සවසට පරවෙනවා සේ මෙම ශරීර කූඩුව ද අනිත්‍ය සිද්ධාන්තයත් සමඟ ම පවතී. උදේට ශරීර කූඩුව පිරිසුදු කොට පාරට, නගරයට වැඩට පළට යන මිනිසා සවසට නැවත අපිරිසිදු වී, දහඩිය දුගදින් නිවසට එනු ඇත. අප අඥානකමින් ශරීරය දෙස බැලීමේ දී රාගාදී සිතිවිලි මතුවුව ද එහි යථා ස්වභාවය විමසා බැලීමේ දී පිළිකුල් භාවනාව කිරීමට තරම් උත්සුක වනු නො අනුමාන ය.

බුදුන් වහන්සේ මේ ශරීරය පිළිබඳ දේශනා කොට ඇත්තේ හරියට අසූචි පිරුණු කළයක් විලසිනි.

ප්‍රඥාවෙන් බැලීමෙන් පමණක් මෙම ශරීරය නිතර කැඩෙන බිඳෙන හා අපවිත්‍ර වන බව අවබෝධ කර ගත හැකි ය.

කබලිංකාහාර තුළින් කය පෝෂණය වේ. එතුළින් මාංශ පේෂි වර්ධනය වී ඇට සැකිල්ල වැසී පිරිපුන් බවක් පෙනෙනු ඇත. එම ගන්නා ආහාර අසූචි වශයෙන් ශරීරයෙන් පිටවනු ඇත. නැවත ශරීරයට ආහාර අවශ්‍ය වනු ඇත.

මෙලෙස උදේ, සවස මෙම ශරීරය නඩත්තු කිරීම උදෙසා ආහාර දිය යුතු ය. ආහාර නොමැති වුවහොත් ශරීරය වැහැරී ගොස් ක්ලාන්ත ස්වභාවයට පත් වනු ඇත. අප ගන්නා ආහාර තුළින් ම සෙම්, සොටු, කබ, කඳුළු, දාඩිය, මළ මුත්‍ර සෑදී ඒවා ද අපවිත්‍ර දේ වශයෙන් ශරීරයෙන් පහව යනු ඇත.

නිරන්තරයෙන් මේ ශරීරය නැහැවීම්, පිරිසුදු කිරීම් ආදිය සිදු කළ යුතු ව ඇත. නිතර දුර්ගන්ධ හමනා බැවින් සුවඳ විලවුන් ආදිය ද භාවිත කිරීමට සිදුවේ. එය ද වර්තමාන ලෝකයේ ශරීරය පිළිබඳ ඇල්ම වැඩි කිරීමට කරනා උපක්‍රමයක්ද වී ඇත. බේත් හේත් නිතර නිතර මෙම ශරීරය කල් තබා ගැනීම උදෙසා දීමට ද සිදු වේ. එසේ නොමැති වුවහොත් නොයෙක් ලෙඩ රෝගාදිය සෑදී මරණය පවා උදාවීමට පුළුවන. මදුරුවෙක්, සර්පයෙක් ආදී සතෙක් කෑමෙන් පවා ජීවිතක්ෂයට පත්වීමට පුළුවන. ඒ තරමට ම ස්ථිරත්වයක් නැති, ශක්තියක් නැති නඩත්තු කිරීමට අපහසු දෙයක් ලෙස මෙම ශරීරය හැඳින්වීමට පුළුවන.

එවන් හිස්, නිරර්ථක ශරීරයක් ඇති සත්වයා කරනා අසාර කටයුතු ප්‍රඥාගෝචර නො වන්නේ ය.

අමාරුවෙන් නඩත්තු කරන ශරීරය නිතර රෝගාතුර වන ශරීරය, නිතර අපවිත්‍ර දෑ පිටවන ශරීරය සැපයක් ලෙස සිතීම මුලාවකි. එලෙස සිතන්නේ නම්, එය තාවකාලික වින්දනයක් උදෙසා පමණි.

මේ ශරීරය සැරසීමට අද බොහෝ දේ භාවිත කරති. ඇඳුම් පැළඳුම්, රන් රිදී. විවිධ ආලේපන වශයෙනි. සත්වයා බොහෝ දේ රැස්කොට මමත්වය, අස්මිමානය, වර්ධනය කොට ගෙන උපාදානයෙන් මිය ගොස් තවත් ආත්මයක් හා සම්බන්ධ වෙති. උපාදානය සසර ගමනට හේතුවයි.

ජීවත් වන කෙටි කාලය තුළ ධර්මාවබෝධයෙන් ජීවත්වීම ඉතා වැදගත් වනු ඇත. ශරීරයෙහි ඇති අනිසි බව ප්‍රඥාවෙන් දැන ශරීරය දෙස බලා භාවනානුකූල ව ජීවිතය පිළිබඳ සිතීම වැදගත් වේ. කාම ලෝකයට අයත් මිනිස් ජීවිතය කාම වස්තූන් තුළින් ම විනාශ වේ. වතුර ටික රත්වන තුරු කකුළුවා පිණුම් ගසමින් වතුරෙහි පීනනවා සේ සත්වයා ද පංචේන්ද්‍රියන් පිනවමින් කම් සැප විඳිති. යථාර්ථයට පයින් ගසමින් පුහු දේ කර පින්නාගෙන මංමුලා වී අතෘප්තිකර ජීවිතයක් ගත කරති. බුදුන් දෙසූ දහම් ඇසීමට පමණක් යොදා ගෙන එය ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ නො කොට ගෙන අනන්ත අප්‍රමාණ දුක්වල පැටලී සිටින සත්වයා තව තවත් දුක කරපින්නාගෙන සසර ඇවිදිති.

පංචස්කන්ධය යනු රූප,වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාාණ යන්න යි. එම ස්කන්ධ පහ තුළ ද හරයක් නොමැති බව එහි වැඩිදුරටත් විස්තර වේ. රූපය පෙන පිඩක් මෙන් ද, වේදනාව දිය බුබුලක් මෙන් ද, සඤ්ඤාාව මිරිඟුවක් මෙන් ද, සංඛාර කෙසෙල් කඳක් මෙන් ද, විඤ්ඤාාණය මායාවක් මෙන් ද, දේශනා කොට ඇත. ඒ අනුව සම්මුති වශයෙන් මෙම ස්කන්ධ පස එකතු වූ කල සත්වයෙක් වශයෙන් අප කතා කළ ද, පරමාර්ථ වශයෙන් ගත් කල්හි සත්වයෙක් නොමැත.

ඒ අනුව මම, මගේ, අපි, අපේ යනුවෙන් නාමික වශයෙන් සම්මුති ලෝකය ගොඩනඟා ගත්ත ද ඒ තුළ ගත යුතු සත්වයෙක් නොමැති බව වැඩිදුරටත් ප්‍රඥාවෙන් බැලීමේ දී අවබෝධ වේ.

රථ උපමාව හරහා ඒ බව අවබෝධ කර ගත හැකි ය. අප වාහනයක් කොටස් වශයෙන් කෑල්ලෙන් කෑල්ලට ගලවා වෙන් වෙන් වශයෙන් තැබුවහොත් එහි වාහනයක් ඇතැයි කිසිවෙක් නො කියනු ඇත. එහි ඇත්තේ යකඩ ගොඩක් පමණක් බව කියනු නිසැක ය. එලෙසම රූප, වේදනා, සඤ්ඤාා, සංඛාර, විඤ්ඤාාණය යන ස්කන්ධ පස එකතු වූ කල්හි සත්වයෙක් කියා කියන අතර ම , ඒවා වෙන් වෙන් වශයෙන් බෙදෙන කල්හි සත්වයෙක් නො මැති බව ඉතා පැහැදිලි ය.

ආත්ම සංකල්පය හා එය සෙවීමක් පිළිබඳ සාංඛ්‍ය, වෛශේෂික, වේදාන්ත ආදී දර්ශනවල සඳහන් වේ. ම.නි.මූලපරියාය සූත්‍රය තුළින් බුදු හිමි එය ප්‍රතික්ෂේප කොට ඇති අතර, පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ඒවා ආත්මය නො වන බවත්, භවයෙන් භවයට වෙනස් නොවී මාරු නො වන එකක්වත් එහි නොමැති බවත් ඉන් විද්‍යමාන කොට ඇත.

එදා සමාජයේ පැවති නිත්‍ය , සුඛ, ආත්ම තුනට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, යන්න දේශනා කළහ. මේ කරුණු හරහා යම් තරමකින් හෝ ශරීරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට පුළුවන. ඒ අනුව ශරීරය දෙ අංශයකින් වාහනයකට සමකළ හැකි ය. එනිසා නිරන්තරයෙන් අපවිත්‍ර වන, රථයක් බඳු මෙම ශරීරය එදිනෙදා පිරිසුදු කරනවා සේ ම මනස ද පිරිසුදු කරගත යුතු ය. ශරීරය කො තරම් සැරසුවද එය පොළවට පස් වී යෑම ස්වභාවික ය.

නමුදු මනසේ ශක්තිය බවයෙන් බවයට ගමන් කරනු ඇත.

හොඳ සිතිවිලි ධාරාවක් ඔස්සේ ගොඩනඟා ගන්නා ගුණ ධර්ම අපගේ අන් බවය යහපත් කර ගැනීමට හේතු වේ. ලෝභ, ද්වේශ, මෝහ ආදි අකුසල සිතිවිලි වෙනුවට අලෝභ,අදෝෂ, අමෝහ, එලෙස ම කරුණාව, දයාව, මෛත්‍රීය, ඉවසීම ආදී ගුණ ධර්ම වැඩිදියුණු කොට ගෙන මෙලොව පරලොව යහපත් කර ගැනීමටත්, උතුම් නිවන් සුව ලැබීමටත් අධිෂ්ඨාන කර ගැනීම වැදගත් වේ.