Print this Article


ධර්ම ශාස්ත්‍රාලෝකය දසත විහිදුවා ලූ පැල්මඩුල්ල පුරාණ දාගැබ් රාජ මහා විහාරය

ධර්ම ශාස්ත්‍රාලෝකය දසත විහිදුවාලූ පැල්මඩුල්ල පුරාණ දාගැබ් රාජ මහා විහාරය

මහනුවර යුගයේ වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් දැල්වුණු ශාසනාලෝකය දසත පතුරවාලීම සඳහා සුවිසල් ම දායකත්වය ලබා දුන් මහානීය පුණ්‍ය භූමිය වශයෙන් පැල්මඩුල්ල පුරාණ දාගැබ් රාජමහා විහාරය ඉතිහාසගත වෙයි.

අනුරාධපුර යුගයේ මුල් අවධියේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඵලරුහ බෝධීන් වහන්සේ නමක් රුහුණට වැඩමවීමේ දී මුල් ඇදි නිසා විහාරස්ථානයක් ලෙස ඇරඹුණු බව ජනප්‍රවාදිත ය.

පොළොන්නරු යුගයේදී සපරගමු වෙහෙර යනුවෙන් නම් ලද අතර මෙහි ආදි සඟ පරපුර ශ්‍රීපාදස්ථානයේ භාරකාරත්වය ඉසිලූ පලාබද්ගල ධර්මකීර්ති මාහිමියන්ගේ පරපුරෙන් ප්‍රභවිත වූවකි.


විහාරාධිපති ධර්මකීර්ති ශ්‍රී
බෙන්ගමුවේ ධම්මදින්න නාහිමි

දාගැබට නැගෙනහිරින් වූ දෙනවක වෙල විහාරයට පුද දුන් නිසා දෙනවක විහාරය ලෙස නම්පොතේ හැඳීන්වුණි. වෙහෙරට මලසුනක් වශයෙන් කෝට්ටේ යුගයේ ටැම්පිට විහාරයක් තනවා ඇත. මහවාසලෙහි ගබඩා ගමක් වූ ග්‍රාමයෙහි අයබදු ගැනීමට පැල් සාදා තිබූයෙන් පැල්මඩුල්ල නම ව්‍යවහාර විය.

ගිරුවාපත්තුවේ කපුගංකන්දේ සිල්වත් තැන මහනුවර රජකම් කළ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ අධිකාරම්වරයකු වූ රම්මලන නිළමේ මගින් රාජාවසරය ලබා නටබුන්ව කොටවෙහෙරක්ව පැවති දාගබ් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ සහ ගම්වරයේ හිමිකම ලබා හන්දුරුකන්දෙහි විසීය.

ගබඩාගමෙහි අයබදු එකතු කිරීමට පැමිණි ශ්‍රී විජය රාජසිංහ රජුගේ රෝගයක් සිල්වත්තැන විසින් සුව කළෙන් රජතුමා කොටවෙහෙර පිළිසකර කරවා රන් මොහොරක් සමග ගබඩාගම කපුගංකන්දේ සිල්වත්තැනට පිරිනැමී ය. කපුගංකන්දේ සිල්වත් තැනගෙන් පසු පැල්මඩුල්ලේ සිල්වත් තැන වැඩ හිඳ වැලිවිට සරණංකර හිමියන් වෙත භාරකර ඇත.

සරණංකර මාහිමියන්ගෙන් ශ්‍රීපාදස්ථානය සහ පැල්මඩුල්ල රාජමහා විහාරය ලද මාලිම්බඩ සාමණේර හිමියන්ගෙන් පසු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ශ්‍රීපාදස්ථානය, පැල්මඩුල්ල රාජමහා විහාරය, කරන්ගොඩ පොත්ගුල් විහාරය සමග පහතරට ප්‍රධාන සංඝනායක පදවිය වේහැල්ලේ ධම්මදින්න නාහිමියන් වෙත පුද දෙන ලදී.

කදුරුපොකුණේ නවරත්න බුද්ධරක්ඛිත හිමියන්ගේ ශිෂ්‍යවරයෙකු වශයෙන් තිස්සමහාරාම විහාරයේ දී පැවිදිබව ලද වේහැල්ලේ ධම්මදින්න නාහිමිපාණන් වහන්සේ වැලිවිට සරණංකර හිමියන්ගේ සිල්වත් සමාගමට සම්බන්ධ වෙමින් ව්‍යක්ත ධර්ම දේශකයකු හා පුස්කොළ පොත් රචකයකු වශයෙන් රාජ ප්‍රසාදයට පත් වූහ.

වේහැල්ලේ මාහිමියන් වහන්සේගේ මහානීයතම මෙහෙවර ශාසනෝන්නතිකාමී තරුණ පිරිස් පැවිදි කොට සිල්වත් සමාගම වෙත යොමු කරවා ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණයෙන් පසු උපසම්පදා කරවා රටෙහි සෑම ප්‍රදේශයක් වෙතම පිටත් කරවා ශාසනාලෝකය ලක්දිව පුරා පැතිරවීමයි.

අනුරාධපුර අටමස්ථානය, කැලණිය, කතරගම ඇතුළු සොළොස්මස්ථාන පුදබිම්වලින් එකොළහක් සේ ම යටගල, තොටගමුව, දෙල්ගමුව, වේහැල්ල, කසාගල, අග්‍රබෝධිය, ගලපාත, වේරගම්පිට ඇතුළු පූජනීයස්ථාන විශාල ප්‍රමාණයක් වේහැල්ලේ ධම්මදින්න නාහිමියන්ගේ ශිෂ්‍ය හිමිවරුන් හතළිස් දෙනමක් වෙතින් පුනර්ජීවනය ලැබීය.

සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍යයන් අතුරින් වැඩිම ශිෂ්‍ය පිරිසක් බිහි කිරීමේ ගෞරවය වේහැල්ලේ ධම්මදින්න නාහිමියන් වෙත හිමි වෙයි.

ස්‍යාමෝපසම්පදාවෙන් පසු සපරගමුවේ උපසම්පදා කටයුතු සිදු කරන ලද්දේ පැල්මඩුල්ල රාජමහා විහාරස්ථානයේ දී ය. වේහැල්ලේ ධම්මදින්න නාහිමියන්ගෙන් පසු තත්ශිෂ්‍ය කඹුරුපිටියේ සඟිධර ගුණරතන මාහිමියන් වහන්සේ වෙත පැල්මඩුල්ල, ශ්‍රීපාදස්ථානය ඇතුළු විහාරාධිපති පදවි සහ පහතරට නායක පදවිය හිමි විය. ත්‍රිපිටක ධර්මය මැනවින් හදාරා වාචෝද්ගතව සිටි බැවින් සඟිධර යන ගෞරවෝපාධිය ලත් ගුණරතන නාහිමියන් සංඝරාජ මාහිමියන් අපවත් වන අවස්ථාවෙහි ආසන්න බණ දේශනා කිරීමට ද භාග්‍යය ලැබී ය. කෙටි කලක් කුඩා කඹුරුපිටියේ සහ මාලිම්බඩ ධම්මාධාර හිමිවරුන් පැල්මඩුල්ල රාජමහා විහාරය ඇතුළු විහාරාධිපති පදවි හෙබ වූ පසු බාරස කාව්‍යය වැනි ශාස්ත්‍රීය නිබන්ධන සිදු කළ සුවිශේෂී පඬිරුවනක් වූ කරතොට ධම්මාරාම නාහිමියන් වෙත පැල්මඩුල්ල, ශ්‍රීපාදස්ථානය ඇතුළු විහාරාධිපති පදවි සහ පහතරට නායක පදවිය හිමි විය.

ලක්දිව ඉංග්‍රීසීන්ට නතු වීමෙන් පසු බ්‍රි‍තාන්‍ය රජයේ සම්මතයෙන් පැල්මඩුල්ල, ශ්‍රීපාදස්ථානය ඇතුළු විහාරාධිපති පදවි සහ පහතරට නායක පදවිය ලද ගාල්ලේ මේධංකර නාහිමියන් වහන්සේ පැල්මඩුල්ල රාජමහා විහාර පිරිවෙන ආරම්භ කළහ. වලානේ සිද්ධාර්ථ, වස්කඩුවේ සුභූති හිමිවරුන් වැනි මහා පඬිවරයන් මෙම පිරිවෙනින් බිහි වූ අතර එමගින් පැතිරුණු ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරෙන් ලක්දිව ප්‍රාචීන භාෂා හා බෞද්ධ අධ්‍යයන විෂයයන්ට සිදු වූ මහානීය මෙහෙවරත් විශේෂයෙන් විද්‍යොදය විද්‍යාලංකාර පිරිවෙන් දෙක බිහිවිමට පදනම සැපයීමත් නිසා නූතන බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය ලෙස පැල්මඩුල්ල රාජමහා විහාරය සම්භාවනාවට පත් වෙයි.

වෙහෙර වහන්සේ ප්‍රතිසංස්කරණය කරවා දොළොස්වල අධිකාරම්තුමාගේ දායකත්වයෙන් නව විහාර මන්දිරය තැනවීමත්, වර්ෂ 1822දී පැල්මඩුල්ලේ තෙරුවන් පූජෝපහාර පෙරහර ආරම්භ කිරීමත්, 1818 නිදහස් සටනින් පසු නවතා දමා තිබූ මහනුවර දළදා පෙරහර නැවත ආරම්භ කරවීමට පිරිස් සහභාගී කරවීමත් ගාල්ලේ මේධංකර නාහිමියන්ගේ යුගයේ දී සිදු කෙරුණි.

පැල්මඩුල්ල, ශ්‍රීපාදස්ථානය ඇතුළු විහාරාධිපති පදවි සහ පහතරට නායක පදවිය හෙබ වූ ඉඳුරුවේ සුමංගල මේධංකර නාහිමියන්ගෙන් පසු සපරගමු පළාතේ ප්‍රධාන සංඝනායක ඉඳුරුවේ පියදස්සි නාහිමි, හාල්දඬුවන බුද්ධරක්ඛිත නාහිමිවරුන්ට පසු මහා පඬිරුවනක වූ සපරගමු පළාතේ ප්‍රධාන සංඝනායක හාල්දඬුවන ධම්මරක්ඛිත නාහිමිපාණන් වහන්සේ විහාරාධිපති පදවිය හෙබවූහ. බුරුමයේ ඡට්ඨ සංගායනාව, බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනය ඇතුළු ශාස්ත්‍රීය කර්තව්‍යයන්ට දායකත්වය ලබාදුන් නාහිමිපාණන් වහන්සේ ඒ වන විට පැල්මඩුල්ල රාජමහා විහාර පිරුවන අක්‍රියව පැවතියෙන් විහාර බිමෙහි රූපඅරුණ පිරුවන ඇරඹූහ.

රත්නපුර මහදිසාවේ ප්‍රධාන සංඝනායක මුද්දුවේ පඤ්ඤාසේඛර නාහිමියන්ට පසු වර්තමානයේ දී පැල්මඩුල්ල, ගල්පොත්තාවල, පලාබද්ගල, කරන්ගොඩ පොත්ගුල් විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති, ශ්‍රී ගෞතම ශ්‍රීපාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, රත්නපුර මහදිසාවේ ප්‍රධාන සංඝනායක, කර්මවාගාචාර්ය, බෙන්ගමුවේ ධම්මදින්න නාහිමිපාණන් වහන්සේ පැල්මඩුල්ල රාජමහා විහාරාධිපති පදවිය ශෝභමාන කරති.

විහාරයට යාබද භූමියෙහි වර්ෂ 1828 දී දොළොස්වල නිලමේ විසින් ඉදිකිරීම් අරඹන ලදුව වාරිගම නිලමේ විසින් පවත්වා ගෙන අවුත් ඉද්දමල්ගොඩ බස්නායක නිළමේතුමන් විසින් වැඩ නිමවා කිසිදු නිකායකට අයත් නොවී පවත්නා ලෙසට ඉඳුරුවේ සුමංගල මේධංකර නාහිමියන් වෙත 1846දී පුද කළ බණ ශාලාව හෙවත් සුදර්ශන ධර්ම ශාලාවෙහි දී වර්ෂ 1867දී සියම්, අමරපුර දෙනිකායේ වියත් විසාරද මහා තෙරවරුන් විසින් විනය පිටකයට අයත් ග්‍රන්ථශෝධ්‍ය කරවීම පැල්මඩුල්ල විනය සංගීතිය නමින් ප්‍රකටව ඇති ශාසන ඉතිහාසයේ සුවිශේෂී සංසිද්ධියකි

සබරගමුවේ සහ දකුණු බටහිර ඇතුළු පහතරට පළාත්වල ධර්මශාස්ත්‍රෝද්දීපනියෙහි කේන්ද්‍රස්ථානය ලෙසින් සැලකිය හැකි, පාණ්ඩිත්‍යයෙන් පිරිපුන් යතීන්ද්‍රයන් වහන්සේලාගේ ඇසුර සහ රාජානුග්‍රහය ලද සම්බුද්ධ ශාසනාභිවෘද්ධිය උදෙසා අනල්ප වූ මෙහෙවරක් සිදු කළ මහානීය පුදබිමක් ලෙස පැල්මඩුල්ල පුරාණ දාගැබ් රාජමහා විහාරය හඳුන්වා දිය හැකිය.