Print this Article


පුරුදු

පුරුදු

අප බුදුරදුන් වැඩ වසන කාලයේ එක්තරා බමුණෙක් විශාලා මහනුවරට කිට්ටුව වාසය කළ අතර ඔහු දිනක් කුඹුක් ගහකට නැඟ එම ගසේ අත්තක යටිකුරුව එල්ලී මෙසේ කෑමොර දුන්නේ ය.

දෙනුන් සියයක් මට දෙන්න. එසේ දුන්නේ නැතිනම් මම මිය යමි. මම මියගොස් මේ නුවරට ශාප කරමි.

මිනිසුන් ඔහුගේ වචන අසා බිය වූහ. මිනිසුන් ඔහුට ඔහු ප්‍රකාශ කරන දේ සපයා දුන්නේ ය. ඔහු ගසින් බැස සපයා දුන් දේ රැගෙන බුදුරදුන් වැඩ සිටින විහාරය අසලින් යන විට ඔහු කළ කී දේ පිළිබඳ භික්ෂූන් වහන්සේ බුදුරදුන්ට සැළ කළහ.

බුදුරදුන් මෙසේ වදාරණ ලදී. මහණෙනි, මොහු කුහක පුද්ගලයෙකි. පෙර භවයේ දී මොහු මෙසේ කුහකකම් කර ජීවත් වූ අයෙකි. පෙර ඔහු කුහක තවුසෙක් විය. දිවි රැකුමට ජටා බැඳගෙන අඳුන්වන් දිවි සම් පොරවාගෙන සිටියේ ය. එක් අයෙක් ඔහුට තලගොයි මස් උයා කෑමට දුන්නේ ය. මේ මස් රසයෙන් මත් වූ හෙතෙම කුමන මස් දැයි ඇසුවේ ය. තලගොයි මස් බවත් තමන්ට ඒවා වෙනත් අයකුගෙන් ලද බවත් කියා සිටියේ ය.

මේ කුහක බමුණාගේ අසපුව අසල තලගොයෙක් වාසය කළේ ය. තලගොයි මස් රසයෙන් මත් වූ ඔහු තලගොයා මරන්නට අදහස් කළ අතර, දුරු මිරිස් ආදී තුනපහ ගෙනවිත් අසපුවේ තබා තලගොයා මරා ගැනීමට ලීයක් සඟවා තබාගෙන තුඹස අසලට වී නිදා ගත්තේ ය.

තලගොයා මොහු සිටින ආකාරය නපුරු යැයි සිතා තුඹස තුළට වී සිටියේ ය. බමුණා බලා සිට බැරිම තැන තදින් ලීයෙන් තුඹසට පහර දුන්නේ ය. තලගොයා ඉමහත් භීතියට පත්ව, තවුසා අමතා

තවුස, නුඹගේ ජටාවෙන් ඇති ඵලය කුමක් ද? ඔබ නපුරු අයෙකි.” යැයි කීවේය. එය නිමිති කරගෙන බුදුරදුන් ඇතුළත කෙලෙස්වලින් පිරී ඇති කෙනා පිට පැත්ත පමණක් ඔප මට්ටම් කර සැරසීමෙන් ඵලක් නැති බව වදාළ සේක.