Print this Article


ඉන්දීය බෞද්ධ පුනරුදය නැවත ඇති කළ අම්බෙඩ්කාර්

ඉන්දීය බෞද්ධ පුනරුදය නැවත ඇති කළ අම්බෙඩ්කාර්

ඉන්දියාව තුළ බෞද්ධ පුනරුදයක් ඇති කිරීමට පුරෝගාමී මෙහෙවරක් කළ මොහුගේ උපත සිදු වන්නේ 1891 අප්‍රේල් 14 වැනි දින දිලිත් උප කුලයක් වූ මහාර් කුලයේ ය.

දේශීය වශයෙන් ලබාගත් මූලික අධ්‍යාපනයෙන් පසු 1915 දී අමෙරිකා එක්සත් ජනපදයේ කොළොම්බියා විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේ ය. ඉන් වසර කිහිපයකට පසු එම විශ්ව විද්‍යාලයෙන් ම ආචාර්ය උපාධියත් ලබා ගත්තේ ය. 1923 වන විට ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියත් තවත් ආචාර්ය උපාධියකුත් ලබා ගන්නට මොහු සමත් විය. එසේම මොහු නීතිඥ වරයෙක් ලෙස ද දිව්රුම් දුන්නේ ය.

ආගමික ව්‍යාපාරයට මුල පිරීම

මොහු උපත ලැබූ මහාර් කුලයෙහි වැසියන්ගේ මතය වන්නේ තමන් බුදුන් දවස සිට බෞද්ධයන් ය යන්නයි. එනමුත් භාරතීය වැසියන්ගේ සම්මතය වූයේ මහාර් යනු ස්පර්ශයෙන්වත් ඇසුරු කිරීමට නුසුදුසු පුද්ගලයන් බවයි. විසිවන සියවසේ ඉන්දියාවේ සිදු වූ වැදගත්ම සිදු වීම නම් මෙම දිලිත් ජනයා වෙනුවෙන් අම්බෙඩ්කාර් දැක් වූ උනන්දුවයි. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ හරිජන් ජනගහනයෙන් බහුතරයක් වූයේ මෙම මහාර්වරුන්ය. මහාර් කුලය පහත් කොට සැලකීම හේතුවෙන් අම්බෙඩ්කාර් 1921 දී සියලු ඉන්දීය ජනයාට සමානත්වයෙන් යුතුව සැලකිය යුතුයැයි හඬනඟන්නට පටන් ගත්තේ ය.

අරගල කිරීම

1921න් පසුව 1935 දක්වා අම්බෙඩ්කාර්ගේ අභිප්‍රාය වූයේ හින්දු අනන්‍යතාවයකින් යුත් භාරතයක් තුළ පීඩිත ජනතාවගේ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමයි. එහෙත් එය අසීරු කාර්යයක් වූ බැවින් අම්බෙඩ්කාර් බෞද්ධ ප්‍රවේශයකට නැඹුරු විය. තම මතවාද ප්‍රචාරය කිරීම සඳහා මැක්නායක, බහිෂ්ක්‍රින් භාරත්, සහ ජනතා වැනි පුවත්පත් භාවිත කළේ ය.

1935 ඔක්තෝම්බර් 13 දා මහාරාෂ්ට්‍රයේ නාසික්හි යෙවෝලා ප්‍රදේශයේ පැවැති පීඩිත පන්ති නායක සමුළුවේ දී ඓතිහාසික යෝජනාවක් සම්මත කරගන්නා ලදී. එනම්

“මේ සියලු සත්‍යග්‍රහ සටන් නවතා දමා අපට සුදුසු ආගමක් නිර්මාණය කරගනිමු යන්නයි.”

මොහු වටා මිලියන හතළිහ ඉක්ම වූ ජනකායක් රැස් වී තිබිණි. අම්බෙඩ්කාර්ගේ සටන් පාඨය වූයේ "අවාසනාවට මම හින්දු දලිත් පුරවැසියෙකු ව උපන්නෙමි. එය උපතින් නැති කිරීමට මට බලයක් නැත. එහෙත් ඉදුරාම මම එක දෙයක් දනිමි. මම හින්දුවකු ව මිය නොයමි."

ආචාර්ය අම්බෙඩ්කාර් ඇතුළු පිරිස හින්දු ආගම අත්හරින බව ප්‍රකාශ කළ විට දී ඔවුන් භාර ගැනීමට ආර්ය සමාජ, බ්‍රහ්ම සමාජ, නව හින්දු ආගමික නිකායයන්ගෙන් ආරාධනා ලැබුණි. මුස්ලිම් ආගමික නායකයකු වන එම්. කේ. එල්. ගෝබා ඉස්ලාම් ආගම වැළඳගන්නා ලෙස ඉල්ලා සිටියේ ය. සර් දාර් දිලිප් සිං සික් ආගම වැළදගන්නා බවට පැවසීය. මීට අමතරව මෙතෝදිස්ත ආගමෙන් ද ආරාධනා ලැබුණි. මේ සියලු ආරාධනා මැද තම අනුගාමිකයින් අමතා "අපි ක්‍රිස්තියානි ආගම වැළඳගතහොත් පාප් පදවි නොලැබෙනවා සේ ම ඉස්ලාම් ආගම වැළඳගතහොත් සියල්ලන් නවාබ් තනතුරෙහි නොසලකන බව සිහිතබා ගත යුතු ය. අප වෙනත් ආගමික අනන්‍යතාවයක් ගැන සිතන්නේ සමාජ සමානාත්මතාව උදෙසා ය. කවර ආගම වැළඳගත්තත් සටන, අරගලය අනිවාර්යය බව සිහිතබා ගත යුතු ය."

1936 ජුනි 10 වන දින බෞද්ධ භික්ෂුවක් වන ලෝක නාථා අම්බෙඩ්කාර්ගේ නිවසට ගොස් අම්බෙඩ්කාර්ට බුද්ධාගම පිළිබඳව අවබෝධයක් ලබා දුන්හ.1937 දී ලෝකනාථා විසින් අම්බෙඩ්කාර් බුදුදහම පිළිබඳව මනා පැහැදීමක් ඇති බව ප්‍රකාශ කළේ ය.

මහාචාර්ය පී.එල්. නරාසු විසින් 1948 දී බුදු දහමේ හරය නැමැති ග්‍රන්ථය රචනා කරන ලදී. එයට පෙරවදනක් ද සපයයි. ආචාර්ය අම්බෙඩ්කාර් මෙම වර්ෂයේ දී දලිත් වරු නමතී ග්‍රන්ථයක්ද පළ කරන ලදී.1950දී මහාබෝධි සමාගමට අයත් සඟරාවෙහි වෙසක් මස කලාපයට බුදුන් වහන්සේ සහ උන් වහන්සේගේ ධර්මයෙහි අනාගතය යන මැයෙන් ලිපියක් පළ කරන ලදී. එහි හින්දු ආගම නිර්දය ලෙස විවේචනය කර භාරතීය බුදු සමයේ අනාගත අභිවෘද්ධිය පිළිබඳ සුබවාදී අදහස් ද දක්වා ඇත. හින්දු ජනතාව කෙදිනක හෝ සැබෑ බුද්ධිය ලත් වහාම ඔවුහු බුදු සමය වැළඳ ගනු නොඅනුමානයි යනුවෙන් ද එම ලිපියෙහි දක්වා ඇත. හින්දු ආගමෙහි ඇති අඩුපාඩු හින්දු භක්තිකයන්ට අවබෝධ වී ඇති නමුත් ඒවා ප්‍රසිද්ධියේ හෙළාදැකීමට මැළිවන්නේ බුදුසමයට ළංවීමට ඇති බිය නිසා බව අම්බෙඩ්කාර් පවසයි. ඔහු සිය ලිපිය අවසන් කරනුයේ යෝජනා තුනක් ඉදිරිපත් කරමිනි. එනම්.

කතෝලිකයන් සඳහා බයිබලය පරිද්දෙන් බෞද්ධයන් සඳහා අත් පොතක් නිර්මාණය කළ යුතු ය.

පරිහානියට පත්ව විසංවිදානයට පත් ව ඇති සංඝ සමාජය යළි ගොඩ නැඟිය යුතුය.

සෙසු රටවල් වෙත නිරන්තර ධර්මදූත මෙහෙවර හා ප්‍රචාරක අධ්‍යාපන කටයුතුවල නිරත වීමට භාරතය හා සෙසු බෞද්ධ රටවල් මූලිකත්වය ගත යුතුයි.

ශ්‍රී ලංකාවේ තරුණ බෞද්ධ සංගමයෙන් කරන ලද ආරාධනයෙන් සම්මේලනයක් සඳහා 1950 වර්ෂයේ මැයි මස දී ආචාර්ය අම්බෙඩ්කාර් ශ්‍රී ලංකාවට පැමිණියේ ය. මෙරටට පැමිණි අම්බෙඩ්කාර් ලක්දිව බුදුදහම පිළිබඳව දක්වන පිළිවෙත් දැක සතුටට පත් වී නිර්මල බුදු දහම පවතිනුයේ මෙහි යැයි ප්‍රකාශ කළේ ය. සමුළුව ඇමතීම සඳහා කෙරුණු ආරාධනාව ප්‍රතික්ෂේප කළ ආචාර්ය අම්බෙඩ්කාර් බුදු දහම ප්‍රචාරය කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත්කිරීම හා ඒ සඳහා කැපවීමේ අවශ්‍යතාව පසුව අවධාරණය කළේ ය.

“මා බෞද්ධ අනුගාමිකයකු බවට පත් නොවූවත්, ඒ සංචාරය මා මත දැඩි බලපෑමක් ඇති කළේ යැයි" ඔහු පසුව සඳහන් කළේ ය.

මෙම සංචාරය අතරතුර “භාරතයේ බුදුසමයේ උන්නතිය හා අවනතිය“ මැයෙන් කොළඹ තරුණ බෞද්ධ සංගම් සාමාජිකයන් අමතා ඔහු කළ කතාව කාගෙත් දැඩි අවධානයට ලක්විය. “භාරතයේ බුදුදහම ද්‍රව්‍යාත්මකව අතුරුදන් වී ඇත. එහෙත් මිනිස් සිත්සතන් තුළ එය ජීවමානව පවතී.“ යැයි ඔහු සඳහන් කළේ ය.

1950 ජූනි මස 10 වන දින බොම්බායේ සතිපතා පළවන ජනතා පුවත් පතෙහි ආචාර්ය අම්බෙඩ්කාර් විසින් හුවා දක්වනු ලැබූ කරුණු හතරක් භාරතයේ බුදුසමයේ පරිහානියට හේතු වූ සාධක ලෙස දක්වා තිබිණි. එනම්

බෞද්ධ විශ්වාස හා වත්පිළිවෙත් හින්දු වත් පිළිවෙත් හා දැඩි ආගමික බලපෑම සමඟ මුසුවීම.

අලවුදීන් කිලර්ගෙ ආක්‍රමණවලින් බිහාරයේ දී දස දහස් සංඛ්‍යාත භික්ෂූන් වහන්සේලා කෲර ලෙස ඝාතනයට ලක්වීම. එයින් දිවි ගලවාගත් භික්ෂූන් ටිබෙටය හා චීනයට නේපාලයට පලා යෑම

අනතුරුව අරාජික බෞද්ධ සමාජය හින්දු ආගමික ග්‍රහණයට ලක්වීම හා දේශපාලනය බෞද්ධ සම්ප්‍රදායට එරෙහි වීමය.

1950 වසරේම බොම්බායේ වොර්ලි බෞද්ධ විහාරයේ කථාවක් පවත්වමින් අම්බෙඩ්කාර් සඳහන් කළේ මිනිසුන් තම ජීවිත කම්කටොලුවලින් මිදීමට නම් බුදු සමය වැළඳ ගත යුතු බවත් මුස්ලිම් ආක්‍රමණ වලින් වැනසුණු බුදු සමයේ අභිවෘද්ධිය වෙනුවෙන් තමා කැපවෙන බවත් ඉන්පසු අම්බෙඩ්කාර් අශෝක විජය ග්‍රහණය පිළිබඳ දිනයේදී බුදු දහම වැළඳගැනීමට තීරණය කළේ ය. එදින ඔහු සමඟ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් බුදු සමය වැළඳ ගත් බැවින් එය රන් අකුරින් ලිවිය යුතු දිනයක් ලෙස සැලකිය හැකි ය. එතුමා ප්‍රථමයෙන් තුර ප්‍රදේශයේ කුම්මි නගරයේ චන්ද්‍ර මනි මහ තෙරුන්ගෙන් බුදු දහම වැළඳ ගත්තේ ය. අම්බේඩ්කාර්තුමා තිසරණ සරණයාමෙන් පසු, ඔහු විසින්ම සිය ජනතාව පංචශීලයේ පිහිටුවන ලදී .

1956 දී නොවැම්බර්හිදී බුදුන් උපන් නේපාලයේ පැවැත්වුණු සතරවැනි ලෝක බෞද්ධ සම්මේලනයට ද අම්බෙඩ්කාර් සහභාගී විය. එහිදී ජනතාව ඔහු පිළිගනු ලැබූයේ බෝධිසත්වයකු ලෙසයි. එහිදී අම්බෙඩ්කාර් අවුරුද්දක් දෙකක් තුළ මිලියන 60ක පමණ හරිජන් පිරිසක් බුදුදහමට හරවන බව ප්‍රකාශ කර සිටියේ ය. එසේම අම්බෙඩ්කාර් දිගු කාලයක් ඉන්දියාවේ ජීවත් වූයේ නම් ඉන්දියාවෙන් හරි අඩක්ම බෞද්ධයන් බවට පත් වන බව නොඅනුමාන ය.

බුදු දහම වැළඳ ගත් අවස්ථාවේ දී ප්‍රකාශ කළ කියමන මෙතුමන්ගේ ආගමික පුනරුදය මැනවින් විදහා දක්වයි.

“දැන් මම මහර්වරයෙක් මෙන්ම හින්දු භක්තිකයෙක් නොවෙමි. මම පාරිශුද්ධ මිනිසෙකි. මම තවත් දුරට උසස් කුල හින්දු වරුන්ගේ වහලෙක් හෝ කුලී කරුවෙක් හෝ නොවෙමි.”

මහාරාෂ්ට්‍ර බෞද්ධයන් අද ද සුභ පැතුම් එක් කර ගන්නා විට ජයා හිමි යනුවෙන් අම්බෙඩ්කාර් තුමාගේ නම භාවිතයට ගැනීම සිරිතක් කරගෙන ඇත. එතුමා හරිජන් ජනතාවගේ ගැලවුම්කරු වශයෙන් බෞද්ධ ලෝකයේ නොමැකෙන නමක් දිනාගෙන ඇත.