Print this Article


අතිපුජ්‍ය දවුල්දෙණ ඥාණිස්සර මහා යතිවරයාණෝ

අතිපුජ්‍ය දවුල්දෙණ ඥාණිස්සර මහා යතිවරයාණෝ

පාර්ශව 22 කින් සමන්විත ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ තුන්වැනි උත්තරීතර මහානායක පදවියට පත්ව 13 වසරක් එකී තනතුර හොබවමින් තෛ‍්‍රනිකායික මහ සඟරුවනේම ගෞරවයට පාත්‍රව සිට රාජකීය පණ්ඩිත අග්ගමහා පණ්ඩිත අතිපුජ්‍ය දවුල්දෙණ ඥාණිස්සර මහ යතිවරයාණෝ අපවත් වී මෙම අප්‍රේල් මස 03 දිනට සිවුවසරකි .

සුජීවත් ව වැඩ සිටි 102 වසරින් 91 වසරක් පැවිදි ජිවිතයක් ගතකරමින් උත්තම බුද්ධ ශාසනයටත් ඌව වෙල්ලස්සේ ජන්ම ලාභය ලැබුවකු වශයෙන් සිංහල ජාතියට හා සිංහල රටටත් ඉටුකරන ලද මහ මෙහෙවරයන් සිහිපත් කිරීම් වස් මේ කෙටි අනුස්මරණය සටහන් තබමි .

1915 දෙසැම්බර් 31 දින ඌව පරණගම දවුල්දෙණ ග්‍රාමයේ උපත ලබන අප කථානයකයාණන් වහන්සේ ගේ මා පිය වූයේ ආලෝක මුදියන්සේලාගේ කවුරාල උපාසක මහතා හා ගජනායක මුදියන්සේලාගේ කිරිමැණිකේ උපාසිකාව යි . 12 වෙනි විය පිරෙත්ම සපුගොල්ලේ තපෝධනාරාම විහාරාධිපති අතිපුජ්‍ය ඌමැලේ සිරි පියරතන හා අතිපුජ්‍ය ඌමැලේ සිරි පඤ්ඤානන්ද නාහිමිවරුන්ගේ ශිෂ්‍යයකු සැටියෙන් සාමණේර පැවිද්ද ලබන්නේ ය . උන්වහන්සේලා වෙතින් ශාසනික මූලික අධ්‍යාපනය හදාරා උසස් අධ්‍යාපනය සඳහා කොළඹ විද්‍යොදය පිරිවෙණට ඇතුළත්ව අධ්‍යාපනය පිළිබඳ උසස්ම වාර්තා පිහිටුවමින් ශ්‍යාම රාජ ත්‍යාගය ද ලැබුවකු වශයෙන් හා ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් පවත්වන ප්‍රාචීන විභාග තුනම උසස් ලෙස සමත්වුවකි . මෙසේ පැවිදි ජිවිතයකට අදාළ විනීත , ව්‍යක්ත , විශාරද ,සුදුසුකම් මුල් තරුණ වියේ දීම ලබාගත් දවුල්දෙණ ඤණිස්සර යතිවරයාණෝ එතැන් සිට ශාසනික , ජාතික සියලු මෙහෙවර ඉටුකළේ අවබෝධයෙන් ම බව බොහෝ කාලයක් සමීපව ඇසුරු කිරීමට අපට හැකිවිමෙන් සහතික විය හැක . උන්වහන්සේගේ ප්‍රියමනාප ස්වරූපය සරල ජිවිතය සැමට ආදර්ශ ගත හැක්කකි . පරමාදර්ශි චරිතයකින් හෙබි උන්වහන්සේ හැමකෙනෙකුට ම ළංවිය හැකි ධනවත් , දුගී,උගත් , නූගත් ,සමාණේර, නායක, මහානායක් භේද නොසැලකූ සමානාත්මතාවය ගරුකොටගත් සංග්‍රහශීලී උතුමෙකි . මේ සියලු චරිත

ලක්ෂණ තුළින් මතුවුයේ ම භාග්‍යවත් තථාගත බුදුරජාණන් වහන්සේ ගේ ගැඹුරු ධර්මයේ ඇති අවබෝධය බව අපට වැටහුණු එක් කරුණකි .නැතහොත් බෞද්ධ සංස්කෘතික ලක්ෂණයන්ගේ වටිනාකම් ය.

සංස්කෘත පාලි වැනි සාටෝප සාඩම්බර අති පැරණි භාෂා පිළිබඳ ව ප්‍රගල්හ ප්‍රවීනතා ලබා තිබු අතිපුජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර උත්තරීතර නාහිමිපාණෝ අප රටේ මෑත භාගයේ විසූ පඬිවරුන් අතර අද්විතීය වියතෙකි . සංස්කෘත භාෂාවේ මාතෘ දේශය වූ භාරතයේ සමකාලීනව විසු මහ පඬිවරුන්ගෙන් පවා උන්වහන්සේ ගේ සංස්කෘත පාණ්ඩිත්‍යය පිළිබඳ ප්‍රශංසා ලැබුයේ එනිසා ය . එමෙන්ම පෙර පර දෙදිග රටවල් රැසක ධර්මධූත සේවාවල නිරත වෙමින් ද ආගමික හා ශාස්ත්‍රිය සම්මේලන වලට සහභාගි වී ආරාධිත දේශන පැවැත්වීමෙන් ද ශ්‍රී ලාංකික ථෙරවාදි භික්ෂුවක් ලෙසින් අපේ රටට ලබාදුන් කීර්තිය ද මෙහිලා සඳහන් කළ යුතුම ය . මේ අයුරින් මතුකර ලිවිය හැකි මහත් ගුණයන්ගෙන් හෙබි ලෝ පතළ කීර්ති නාමයක් අප මහ සමිදාණන් සතුව තිබීම විශේෂත්වයකි .

සිවුපසයෙන් උපස්ථාන කරන සැදැහැවත් දායකයකු බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක ගෙන් බලාපොරොත්තු වන එකම කරුණවනුයේ වෙනත් කිසිවක් ම නොව සිල්වත් බව ය . මේ ගුණ ධර්මයෙන් දායකයාගේ අපේක්ෂා ඉටුකළ අප මහා යතිවරයාණන්ට ඉක්මන් අවස්ථාවකදීම නිවන්සුව අත්වේවායි අප ප්‍රාර්ථනා කරන්නේමු .