Print this Article


අළුයට සැඟවුණු ගිනි පුපුරු සේ මතුවෙන පාපයේ විපාක

අළුයට සැඟවුණු ගිනි පුපුරු සේ මතුවෙන පාපයේ විපාක

චුන්ද සූකරික යනු මුළු ජීවිතය පුරාම ඌරන්ට වධ දී මරා ඌරු මස් විකුණා ජීවත් වූ අයෙකි. ඌරු පැටවුන් ගෙනවුත් හදා ලොකු මහත් කර මැරීමට අවශ්‍ය ඌරා කණුවක තදින් බැඳ හතරැස් පොල්ලකින් තලයි.

ශරීරය ඉදිමුණු පසුව කට ඇර කට තුළට දණ්ඩක් දමා නටන උණුවතුර වත්කරයි. ගිනි හුලක් ගෙන ශරීරයේ ඇති සියලු රෝම කූපයන් පුළුස්සා දමයි. ඊටපසු තියුණු කඩුවකින් බෙල්ලට පහර දී මරා දමයි. වැගිරෙන ලේ ද එකතු කර මස් සමඟ උයා ගෙදර අය සමඟ කයි. අනෙක් මස් විකුණයි.

මේ අයුරින් අවුුරුදු පණස් පහක් ම ඌරන් මරා ඇත. මොහු සිටින තැනට ආසන්න විහාරස්ථානයෙහි බුදුරදුහු වැඩ සිටිති. මොහු එකම දවසක් වත් විහාරස්ථානයට ගොස් නැත. භික්ෂුවකටවත් දන් හැන්දක් බෙදා නැත. කිසිදු පිනක් දහමක් සිදුකර නැත. මොහු ජීවත් වුව ද අවීචිමහා නරකාදියෙහි මෙන් බොහෝ දුකක් විඳින්නට සිදුවිය. මොහුගේ අවසාන කාලයේ දී වත්ත පුරා ඌරකුමෙන් හතර ගාතෙන් ඇවිදිමින් වේදනාවෙන් කෑ ගසා ඇත. වට පිට ගෙවල්වල අයට නින්දක් නැත. ගේ තුළට දමා දොරවල් වැසුවත් දොරවල් ඇරගෙන පිටට ඒමට උත්සාහ කර ඇත. ඌරකු මෙන් කෑ ගසමින් ගේ පුරා හතර ගාතෙන් යයි.

මේ අයුරින් හත් දවසක් විඳ මරණයට පත් වී අවීචි මහා නරකාදියෙහි උපත ලබයි.

මේ නිවස අසළින් බුදුරදුන් වැඩ සිටින වේළුවනාරාමයට වැඩම කරන භික්ෂුහු දිනපතා ඌරන් මරණ හඬ අසා “බුදුරජාණන් වහන්ස, චුන්ද සූකරික නිවසේ මේ දවස්වල උත්සවයක් වෙන්නැති දිනපතාම මරණ ඌරන්ගේ වේදනාත්මක හඬ ඇසෙනවා. මේ මිනිසාට කරුණාවක් මෛත්‍රියක් ඇත්තේ ම නැහැ. පුදුම පව්කාරයෙක්”.

මහණෙනි, මේ ඌරන් මැරීමක් නොවෙයි. ඔය ඌරකු වගේ කෑගසන්නේ චුන්ද සූකර යි. ඔය ඌරන් මැරීමේ විපාකය මෙලොව දී ම පලදීමක්”. දවස් හතක් ම ඔය විදියට වේදනාවෙන් කෑ ගසා මරණයට පත් වී අවීචි මහා නරකාදියෙහි උපත ලබනවා. මහණෙනි, පව් කරන්නා මෙලොවත්, පරලොවත් දෙලොව ම සෝකයට පත්වන බවත් ජීවත් වුව ද තමා කළ පාප කර්මය දැක සෝකයෙන් තැවුලටත් පත්වන බව ‘ගෘහපතිය, ප්‍රාණඝාතය කරන තැනැත්තා ඒ ප්‍රාණඝාතය හේතුවෙන් මෙලොව දී ම යම් භයක් වෛරයක් ඇති කරගනී ද, අන් භවයක දී ද ඔහු භයින් හා වෛරයෙන් යුක්ත වෙයි. ප්‍රාණඝාතයෙන් වැළකුණු තැනැත්තා මෙලොව දී එබඳු භයක් වෛරයක් නො ලබයි. මානසික වශයෙන් ද දුක් දොම්නසක් නො විඳියි. ප්‍රාණඝාතයෙන් වැළකුණු තැනැත්තාගේ වෛරය සංසිඳීමට පත්වෙයි.’ (අංගුත්තර නිකාය)

මෙහි සඳහන් ආකාරයට ප්‍රාණඝාතය මෙලොවත්, පරලොවත් භයින් හා වෛරයෙන් මෙන් ම දුක් දොම්නසින් යුක්තව ජීවත්වන්නට හේතු වන්නකි. මේ ගැන සිතා මුළු ජීවිතය ම ප්‍රාණඝාතයෙන් වැළකී සියලු සතුන් වෙත කරුණාවෙන්, මෛත්‍රීයෙන් බලන්න පුළුවන්නම් මොනතරම් හොඳද?

අද සමාජයේ සිදුවන ප්‍රාණඝාත දෙස බලනවිට විවිධ හේතු හා අරමුණු මුල්කරගෙන මෙය සිදුවන බව පෙනේ. ජීිවිත ආරක්ෂාවට, අනුන්ගේ සම්පත් පැහැර ගැනීමට, කෝපය සංසිඳුවා ගැනීමට, විනෝදය පිණිස, මුදල් ඉපයීමේ ව්‍යාපාරයක් වශයෙන් මෙන්ම තමන්ගේ හිත සුව සඳහා යන මේ ආදී කරුණු මුල් කරගෙන සත්ව ඝාතන සිදුවේ. ජීවිත ආරක්ෂාවට අලියෙකු හෝ සර්පයෙකු මරන්නට පුළුවන. නමුත් එය එතරම් බරපතළ යැයි අප සිතන්නේ නැත. විනෝදයට කුරුල්ලෙකු හෝ මාළුවෙකු මරන්නට පුළුවන. ආර්ථික වශයෙන්, ව්‍යාපාරයක් වශයෙන් කුකුලන් වැනි සතුන් මරන්නට පුළුවන. අපේ සුවය සිතා මදුරුවන් මරන්නට ද පුළුවන. නමුත් මේ හැම මරණයක් ම අප දුකට, වේදනාවට පත් කරයි.

ඝාතනයට ලක් වූ සත්වයාගේ ස්වභාවය, අපේ සිතේ ක්‍රියාකාරීත්වය, අප ගන්නා උත්සාහය, ඝාතනය සඳහා යොදන උපක්‍රමය, මෙහෙයවීම, ආයුධ පරිහරණය, අප දක්වන සහය වැනි කරුණු විපාකය සඳහා බලපායි. සිදුවිය යුත්තේ කුමන අයුරකින් හෝ සත්ත්ව ඝාතනයක නො යෙදීම යි. ඒ සඳහා කුමන ආකාරයක හෝ සහයෝගයක් ලබා නො දීමයි.

මගේ ජීවිතයට මා ආදරෙයි, එයට හානියක් වනවාට මා කැමැති නැහැ. අන් අයත් තමන්ගේ ජීවිතයට ආදරෙයි. ඒ ජීවිතවලට හානියක් වනවාට ඒ අය කැමැති නැත. තමන් සමාන කර අන් අය ගැන සිතීම මෙහිදී ඉතා වැදගත් ය. මගේ ජීවිතයට මා ආදරය කරනවා නම් අන්‍ය ජීවිතවලටත් ආදරය නොකර සිටීමට මට පුළුවන් කමක් නැත. එසේ නම් සිදුවිය යුත්තේ අන්‍ය ජීවිතවලටත් ආදරය කිරීමයි.

එනම් කරුණාවෙන්, මෛත්‍රියෙන් අන්‍යයන් දෙස බැලීම යි. සත්වයින් කෙරේ දයාව කුඩා කල සිට ම වර්ධනය කළ යුතු ය. අනුකම්පාව යන සංකල්පය මෙහිදී වැදගත් වනු ඇත.

සත්වයින් කොටස් කර තෝරා බේරාගෙන සමහර සත්වයින්ට පමණක් අනුකම්පා කිරීම බෞද්ධ පිළිවෙත නොවේ. ගේ තුළ සිටින සර්පයාටත්, ඇඟේ වසා සිටින මදුරුවාටත්, සීනි බෝතලය තුළ සිටින කූඹියාටත්, බුරාගෙන එන බල්ලාටත් එකම අයුරින් අනුකම්පා කළ යුතු ය.

මෙහිදී ලජ්ජාව හා භය යන සංකල්ප දෙක ඉතා වැදගත්වනු ඇත. ප්‍රාණඝාතයක් කර ලෝකයා එය දැනගත් විට සමාජයට මුහුණ දෙන්නේ කෙසේ ද? නීතියෙන්ද ඔහුට ගැලවීමක් නැත. වැරැද්ද සඟවන්නට නොහැකි ය. කවදා හෝ එය එළිවනු ඇත. එහි විපාකය අනිවාර්ය ය. සමහරවිට අනුන්ට ආරක්ෂාව වෙනුවෙන් තුවක්කුවක් වැනි අවි ආයුධ පාවිච්චි කරන අය ඉන්නට පුළුවන. නමුත් ප්‍රශ්නයක් මතු වුවහොත් ඒවා පාවිච්චි කරන්නේ නැතැයි ඔබට සහතික විය හැකි ද? වර්තමාන සමාජගත සමහර සිද්ධීන් වලදී එබදු ආරක්ෂක උපකරණ අනිත් අයගේ විනාශය සඳහා යොදාගත් අවස්ථා කො තෙකුත් ඇත. නූතන ලෝකයේ අවි ආයුධ පමණක් නොව සත්ව ඝාතන සඳහා රසායනික ද්‍රව්‍ය ද යොදා ගනී. මේ අනුව අවි ආයුධවලින් තොර ජීවිතය අපට සැනසුමකි.

අපරාධ කරන සමහර චරිත දෙස බලනවිට ඔබට ප්‍රශ්නයක් මතු වන්නට පුළුවන. ඒවා ඒ අයට විපාක දෙනවා ද? පෙනෙන්නට නැත. අප කරදරයක් නැතුව ජීවත්වෙනවා. හොඳින් ඉන්න අපට තමයි මේ ඔක්කොම කරදර. මෙහෙම සිතන අයත් අප අතර සිටිති. නමුත් ඒ අපරාධකරුවන් දෙස ඔබ අවධානයෙන් සිටිනවානම්, ඔබට පෙනේවි එයින් බොහෝ දෙනෙක් මැරෙන්නට පෙර කළ පාපී ක්‍රියාවල දුර්විපාක විඳින අයුරු. කර්මය මහ පුදුම බලවේගයක්. සමහර විට කරන ලද කර්ම මෙලොවදී විපාක නො ලැබෙන්නත් පුළුවන්. මෙලොව දී හොඳ කුසල කර්ම කළොත් තමා කළ අකුසල කර්මය විපාක නොදී මතු නොවී තිබෙන්නටත් පුළුවන්. හොඳ ක්‍රියාවන් නිසා කරන ලද අකුසල විපාකය අඩුවන්නටත් පුළුවන්. මෙලොව දී විපාක නො දී පරලොවදී විපාක දෙන්නටත් පුළුවන්. අංගුලිමාල නවසිය අනූනවයක් මැරුවා. එය විපාක දුන්නා නම් කො පමණ කලක් අපාගත වී අත් විඳින්නට සිදුවේද? ආනන්තරීය පාප කර්මයක් නො කළ නිසා සියල්ල යටපත් කර නිවන් අවබෝධ කර ගත්තා.

නැවත ඉපදීමක් නැති නිසා පසුව විපාක දෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. රහත් වූවත් මිනිස් ඝාතනයේ විපාකය මෙලොව දීම සුළුවෙන් හෝ විඳින්නට සිදු වූ බව අංගුලිමාල හිමිගේ චරිතය තුළින් පෙන්නුම් කරයි.

කිරි දෙවූ ගමන් ම එය මිදෙන්නේ නැත. අකුසල කර්මය ද එය කළ අවස්ථාවේ ම විපාක නො දෙන්නට පුළුවන. අළුවලට යට වී ඇති ගිනි පුපුර මෙන් වැසී තිබී පව් කළ පුද්ගලයා දවමින් පසු පස්සෙන් ගමන් කරයි. මේ ගාථාව අනුව අප කරන හොඳ හෝ නරක ක්‍රියාවල විපාක ඉක්මණින් විපාක නො දෙන්නට පුළුවන. ඒවා පසුව විපාක දීමට ඉඩ ඇත.

කෙසේ වුවද අකුසල විපාකවලින් අත්වන දුක් වේදනා අඩුකර සැපත ළඟා කර ගැනීමේ ක්‍රමවේදය බුදු දහමෙහි පෙන්නුම් කර ඇත. අංගුත්තර නිකායේ ලෝණඵල සූත්‍රයට අනුව භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත පඤ්ඤා යන ක්‍රම හතර අනුගමනය කිරීමෙන් සුවදායක ජීවිතයක් උදාකරගන්නට පුළුවන.

ඔබගේ දෙපා, දෙඅත් මඟින් හොඳ දේ කිරීමත්, ඔබේ කටින් අයහපත් වචන පිට නො කිරීමත්, ඔබගේ සිත පාපී සිතිවිලිවලින් දූෂ්‍යවන්නට නො දී ආරක්ෂා කර ගැනීමත් ඔබට සදා සැනසිල්ල උදා කරනු ඇත.