Print this Article


පිරිවෙන

පිරිවෙනටත බුදුසරණ

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරේ.

පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.
[email protected]
බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ

****

ද්විභාෂා පිළිබඳ පිරිවෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

පිරිවෙන් අධ්‍යාපනයේ නව පියවරක් තබමින් ලංකාව ම අවරණය වන පරිදි පිරිවෙන්වල ද්විභාෂා අධ්‍යාපන ක්‍රමය ප්‍රචළිත කිරීම සඳහා අවධානය යොමු වී ඇත.

ඒ අනුව එහි පළමු පියවර ලෙස බස්නාහිර හා සබරගමු පළාත්වල පරිවේණාධිපති හිමිවරු සිය නමක් පසුගිය දා මහරගම ජාතික අධ්‍යාපන ආයතනයට වැඩමවා දැනුම්වත් කිරීම සිදුවිය. මෙතෙක් සිංහල භාෂාවෙන් පමණක් අධ්‍යාපනය ලබාදුන් පිරිවෙන්වලට මෙය නවමු ඇත්දැකීමක් වෙනු ඇති. පාලි භාෂාවත්, ඉංග්‍රිසි භාෂාවත් සිංහල භාෂාවත් යන භාෂාත්‍රයම උපයෝගී කරගනිමින් ත්‍රිිපිටක ධර්මය විෂය ඉගැන්වීමට මෙමඟින් අපේක්‍ෂා කරේ. ඒ අනුව ඉදිරියේ දී ජාතික අධ්‍යාපන ආයතනයේ මැදිහත්වීමෙන් ගුරුවරු පුහුණු කිරිම මෙන් ම අවශ්‍ය ඉගෙනුම් ඉගැන්වීම් ආධාරක ලබාදීමට ද බලාපොරොත්තු වේ. මේ තුළින් නව ලෝකයට ගැලපෙන සිංහල භාෂාවෙන් මෙන් ම ඉංග්‍රිසි භාෂාවෙන් ද ධර්ම ප්‍රචාරය කළ හැකි භික්‍ෂුන් වහන්සේ නමක් නිර්මාණය කිරීම මූලික අරමුණකි.

මෙම වැඩසටහන සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකය නියෝජනය කරමින් ජාතික පිරිවෙන් උපදේශක දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියන් ඇතුළු නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ හිමිවරු කිහිප නමක් ද, සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ හිමිවරු කිහිප නමක් ද සහභාගී වූහ.

****

සිල්වත් බව

ධර්මචාරී වීම භික්ෂුවගේ පරම යුතුකමකි. සිව්පසයෙන් සලකන දායකයන්ට කළ හැකි උපරිම සේවය නම් තමා සිල්වත්ව සිටීම ය.

‘යාදිසං වපතේ බීජං තාදි සං ලභතෙ ඵලං
කල්‍යාණි කාරී කල්‍යාණං පාප කාරී ව පාපකං

යහපත් ගති පැවතුම්වලින් සංකීර්ණ භික්ෂූන් වහන්සේ සරුකෙත ලෙස හැඳින්වේ. සරු කෙතක හොඳ බීජ වර්ගයක් වැපිරූ කල්හි හොඳ අස්වැන්නක් ඒ බීජයන්ගෙන් ලැබිය හැකි ය. සිල්වත්, ගුණවත් භික්ෂූන් වහන්සේලාගේ දැක්ම ගිහියන්ට ආදර්ශයක් සේ ය. ගිහියන් තුළ ශ්‍රද්ධාවක් පහළ වීමට ප්‍රතිපත්තිගරුක භික්ෂූන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය මහෝපකාරි වේ. භික්ෂූන් වහන්සේලා අනුගමනය කිරීම කරණකොට ගෙන ගිහියෝ ධාර්මික වෙති. භික්ෂුව ආත්ම දමනය පිණිස උත්සාහ කළ යුතුයි.

‘අත්තානං නමයන්ති පණ්ඩිතා” ඥානවන්තයෝ තමන්ගේ සිත දමනය කර ගන්නාහ’.සාමණේර වහන්සේ නමක් වුවද තමා දමනය කරගන්නේ නම්, ධර්මයට අනුව සිත මෙහෙයවන්නේ නම් නියත වශයෙන් ම එම කුඩා භික්ෂුවට වුවද උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගත හැකිය.

****

අනඳමෙත් මාහිමියන් කර වූ බළන්ගොඩ ධර්මානන්ද පිරිවෙන - 05

ශ්‍රී ධර්මානන්දය ජ්‍යෙෂ්ඨ පිරිවෙනක් බවට පත්වෙයි

1963 ජූනි 01 වෙනි දින පිරුවන ශ්‍රී ධර්මානන්ද ජ්‍යෙෂ්ඨ පිරිවෙන බවට පත්ව ඇත. මෙම ආයතනය ශ්‍රී ධර්මානන්ද විශ්ව විද්‍යාලයානුබද්ධ ආයතනය වශයෙන් විද්‍යොදය විශ්වවිද්‍යාලය විසින් 1963 සැප්තැම්බර් 11 වන දින පිළිගත් බව ආයතනික ලොග් සටහන තහවුරු කරයි.

මේ වනවිට පරිවේණාධිපති පණ්ඩිත ඉඹුලාමුරේ ධර්මමූර්ති හිමි රෝගී තත්වයෙන් පසු වුයෙන් විවේක ගැනීම සඳහා පරිවෙණාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීය. මහා නා හිමිපාණන් වහන්සේ තමාගේ උගත් ධර්මධර ශිෂ්‍යයකු වූ පනාවැන්නේ ධම්මාකර හිමියන් වැඩබලන පරිවෙණාධිපති තනතුරට පත්කර ගත්හ. මෙය 1965 ජූලි 13 වන දින සිදු වී ඇත. අනතුරුව 1965 නොවැම්බර් 01 වැනි දින වැඩබලන පරිවෙණාධිපති තනතුර සඳහා ගෞරව ශාස්ත්‍රවේදී බලංගොඩ මෛත්‍රී හිමියෝ පත්කර ගන්නා ලදහ. මේ වන විට විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය නිමකළ මහා නාහිමියන්ගේ දක්ෂ ශිෂ්‍යයකු වූ ශාස්ත්‍රපති දෙණිහේනේ ආනන්ද මූර්ති හිමියෝ 1966 දෙසැම්බර් 15 වැනි දින ශ්‍රී ධර්මානන්දයෙහි පරිවේණාධිපති පදවියට පත් කරගන්නා ලදහ.

උන්වහන්සේගේ අවධියෙහි අප පිරිවෙන් ඉතිහාසයෙහි තවත් යුග පෙරළියක් සිදුව ඇත. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් ගිහි පැවිදි සිසුහු උසස් ප්‍රතිඵල ලැබුහ. 1967 වසරේ දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයට අනුබද්ධව උපාධි පරීක්ෂණය සඳහා විධිමත් අයුරින් උපාධි අධ්‍යයන අංශයක් ද ආරම්භ කෙරිණි. තුඹගොඩ ශ්‍රී සුදර්ශනාරාමාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රාචාර්ය බලන්ගොඩ සුධම්මවංශ නාහිමිපාණන් ඇතුළු, ආචාර්ය මණ්ඩලයක් එහි අධ්‍යාපන කටයුතු මෙහෙයවා ඇත.

එමඟින් ලද ප්‍රතිඵල වඩාත් දිරිගන්වන සුළු විය. තවද ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා ධර්මානන්ද විද්‍යාලය නමින් තවත් අංශයක් බිහිවිය. අචාර්ය මණ්ඩලය ද වඩාත් පුළුල් මට්ටමකින් ක්‍රියාත්මක විය. කාලීන අවශ්‍යතාවයක් වූ පුස්තකාලයක් ද දහම් පාසලක් ද මෙම අවධියේ ආරම්භ කරන ලදී.

ඉඩකඩ සීමිත බැවින් පිරිවෙන සඳහා දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පැවතුණි. ආනන්ද මූර්ති හිමියන්ගේ අවධියෙහි මෙම ගොඩනැගිල්ලේ පළමු මහලේ කටයුතු සම්පූර්ණ කෙරිණි.