Print this Article


යළි පිබිදෙන ඓතිහාසික කූරගල පුදබිමේ බොදු අභිමානය

යළි පිබිදෙන ඓතිහාසික කූරගල පුදබිමේ බොදු අභිමානය

ඓතිහාසික උරුමයන් සුරක්ෂණය කිරීම යුගයේ අවශ්‍යතාවයයි

වසර දෙදහස් දෙසීයකට අධික ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන කූරගල රජමහා විහාරය සබරගමු පළාතේ පිහිටි පුරාණතම ලෙන් විහාර සංකීර්ණයයි. මෙම පුණ්‍යභූමිය ශ්‍රී ලාංකේය භික්ෂු වංශකතාවේ ප්‍රෞඪත්වය ලොවට කියාපාන බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් යුත් ශිලා ලේඛන ඇතුලු නොයෙක් ඓතිහාසික උරුමයන්ගේ නෂ්ටාවශේෂයන්ගෙන් පිරී පවතී. එහෙත් පසුගිය දශක තුනක පමණ කාලය තුළ නිසි අවධානයෙන් තොරවීම හේතුවෙන් මෙම ඓතිහාසික බෞද්ධ උරුමයන් විනාශ කිරීමට සංවිධානාත්මක පිරිස් විසින් ක්‍රියාකිරීම කනගාටුවට කරුණකි.

බෞද්ධ ජනයාගේ නොමඳ ආකර්ෂණයට හා පූජා ගෞරවයට පාත්‍ර ව ඇති මෙම ඓතිහාසික කූරගල රජමහා විහාරය නැවත ලෝකවාසී බෞද්ධ ජනයාගේ වන්දනාවට විවර කරනු වස් එහි ඓතිහාසික උරුමයන් සුරක්ෂණය කරමින් ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවකි. මෙම සත් කාර්යයෙහිලා මූලිකත්වය ගෙන කටයුතු කරන අස්ගිරි මහාවිහාරවාසී, කර්මාචාර්ය, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන ස්ථවිරයන්ට අපගේ ප්‍රශංසාව හිමිවන අතර ම එකී කාර්යය සාඵල්‍යය සඳහා ලෝකවාසී බෞද්ධ ජනයාගේ සහයෝගය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරමු.

****

උතුම් ශාසනානුලෝමික සේවයකි

වලවේ ගංතෙරට යාබද රමණීය පරිසරයක පිහිටි ක්‍රිස්තු පූර්ව 02 වෙනි සියවස දක්වා ඉතිහාසයකට උරුමකම් කියන ඓතිහාසික කූරගල පුදබිම සැදැහැවතුන්ගේ වන්දනාමානය පිණිස යළි ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කිරීම මාහැඟි පින්කමකි. අන්‍ය ලබ්ධිකයින් පිරිසක් විසින් ඔවුන්ගේ ග්‍රහණයට ගෙන බෞද්ධ ජනතාවගේ අයිතියෙන් උදුරාගෙන තිබූ මෙම පුදබිම නැවත බෞද්ධයන් සතු කිරීමට හැකිවීම අප ලද භාග්‍යයකි. මේ සඳහා මහත් කැපවීමකින් මූලිකත්වය ගෙන ක්‍රියා කරනු ලැබූ දෙල්තොට ධම්මජෝති ස්ථවිරයන් වහන්සේට මෙන්ම, දැනට මේ සඳහා මහත් කැපවීමෙන් ක්‍රියා කරනු ලබන මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති, කර්මවාගාචාර්ය වතුරකුඹුරේ ධම්මරතන ස්ථවිරයන් වහන්සේටත් අපගේ කෘතඥතාවය පළකරනු කැමැත්තෙමු. දෙස් විදෙස් සැදැහැවතුන්ගේ මූල්‍ය පරිත්‍යාගයෙන් සහ ශ්‍රමයෙන් ඉදිකරන්නට යෙදුනු ‘අසදිස ශාක්‍ය සුගත මහ සෑ රදුන්’ මෙන්ම යළි ප්‍රතිනිර්මාණය වන මෙම විහාරස්ථානය ලෝකවාසී බෞද්ධ ජනයාගේ වන්දනාමානයට පත්වන ප්‍රධාන පෙළේ බෞද්ධ මධ්‍යස්ථානයක් වනු ඇති බවට නොඅනුමානයි.

මෙවැනි ශාසනානුලෝමික සේවයේ නියැළෙමින් කටයුතු කරන කර්මවාගාචාර්ය වතුරකුඹුරේ ධම්මරතන ස්ථවිරයන් වහන්සේ ඇතුළු විහාරවාසී යතිවරයන් වහන්සේලා සහ සකල ලෝකවාසී බෞද්ධ ජනයාගේ වන්දනාමාන කටයුතු වර්ධනය කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් සම්බුද්ධ ශාසනයේ දියුණුව, සුබසිද්ධිය උදෙසා සිද්ධ කළා වූ, එමෙන්ම සිදුකරමින් පවතින බහුවිධ සේවාවන් තවත් චිරාත් කාලයක් පවත්වාගෙන යාමට මේ සඳහා දායකත්වය සපයනු ලබන සැමටත් මෙහි මූලිකත්වය ගෙන ක්‍රියා කරනු ලබන කර්මවාගාචාර්ය වතුරකුඹුරේ ධම්මරතන ස්ථවිරයන් වහන්සේටත් ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ආයුරාරෝග්‍ය සම්පත්තිය සහ චිර ජීවනය සැලසේවායි ආශිංසනය කරම්හ.

 

****

බොදු ජනතාවගේ නොමඳ ගෞරවාදරයට පාත්‍රවන පින්කමකි

අනුරාධපුර යුගයේ මුල් අවධියේ සිටම බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස පැවතෙන මෙම පුණ්‍ය භූමිය තණ්ඩුලෙය්‍යක පබ්බත දත්ත ශෛල පබ්බත යන නම් වලින් හඳුන්වා ඇති බව ඓතිහාසික සාධකවලින් තහවුරු වේ. පසුකාලීනව විවිධ හේතු සාධක මත වල් බිහි වූ කූරගල පුදබිම අන්තවාදී අන්‍යාගමික බලපෑමට ලක් වූ අතර එකී ආක්‍රමණිකයන් විසින් එහි පැවති ඓතිහාසික විහාරාංග කඩා බිඳ දමන ආකාරයත් එම ස්ථානයන්හි ඔවුන්ගේ ආගමික මධ්‍යස්ථාන ඉදිකරන ආකාරයත් පිළිබඳව පසුගිය කාලයේ දී දැඩි කතාබහට ලක්විය.

මෙවන් පසුබිමක් තුළ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්ථවිර පාදයන් වහන්සේ මෙහි භාරකාරීත්වයට පත්වීම අතිශය වැදගත් සන්ධිස්ථානයක් ලෙස දැක්විය හැක. සුවිශාල සංවිධාන ශක්තියකින් හෙබි උන්වහන්සේ කූරගල පුදබිම වෙහෙර සංඝාවාස පිළිම ගෙවල් බෝධිඝර ඇතුලු විහාරාංග සහිතව ප්‍රතිනිර්මාණය කිරීමට උනන්දුවීම බොදු ජනතාවගේ නොමඳ ගෞරවාදරයට පාත්‍රවන කරුණක් සේ අගය කොට සලකමි.

****

කාලෝචිත ඉදිරිගමනකට මුල පිරීමකි

කූරගල, සබරගමු පළාතේ අතිශයින්ම වැදගත්, පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයකි. කාලයාගේ ඇවෑමෙන් අන්‍යාගමිකයන්ගේ ග්‍රහණයට අසු වී තිබූ මෙම ස්ථානය රැක ගැනීමට මා හොඳින් දන්නා පූජ්‍ය වටද්දර ඤාණිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහත් කැප කිරීමක් කළහ. උන්වහන්සේ ඇති කළ ප්‍රබෝධය නිසාම වගකිව යුතු අයගේ අවධානයට යොමු විය. වර්තමාන ජනාධිපතිතුමන් මේ පිළිබඳ අවධානය යොමුකිරීම අතිශයින්ම වැදගත් ය.

වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේට මෙහි සංවර්ධන කටයුතු පවරා ඇති බව දැනගන්නට ලැබිණි. එය කාලෝචිත ඉදිරි ගමනකට මුල පිරීමක් ලෙස මම දකිමි. පූජනීය ස්ථාන ආකර්ශනීයව ගොඩනැගීමේ අත්දැකීම් බහුල උන්වහන්සේ කූරගල ද මැනවින් සංවර්ධනය කරනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැකි ය.

 

 


 

****

ජාතික උරුමයන් ආරක්ෂා කිරීම රජයක යුතුකමයි

ඓතිහාසික සිද්ධස්ථාන හා ජාතික උරුමයන් ආරක්ෂා කිරීම රජයක යුතුකමයි.

රටක ප්‍රෞඪත්වය සහ අනන්‍යතාව පිළිබිඹු කරන ප්‍රධාන කැඩපතක් වන්නේ එරට ඓතිහාසික ජන උරුමයයි.

කූරගල ග්‍රාමයේ පිහිටි කූරගල පුදබිම ක්‍රි.පූ. යුගයට අයත් වේ. එය ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත පුණ්‍ය භූමියක් ලෙස ප්‍රකට ය.

විනාශකාරි ක්‍රියාකාරකම් නිසා මේ පුදබිම පරිහානියට යමින් තිබිණ. කූරගල පුදබිම යළි ප්‍රතිෂ්ඨාපනය කර ආධ්‍යාත්මික පෝෂණය සඳහා සුදුසු බිමක් බවට පත් කිරීමේ පූර්ව සංවර්ධන වැඩ දැන් සිදු කෙරෙමින් පවතී. එම කාර්යයේදී පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමින් වහන්සේ ඉටු කරන කාර්ය භාරය අගය කළ යුතු ය.

එකී වගකීම ඉටු කරනු වස් නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමය කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය ස්ථාපනය කෙරිණ. අපේ රජය කිසිදු සිද්ධස්ථානයකට ඓතිහාසික උරුමයකට හෝ පුරාවිද්‍යාත්මක වටිනාකමකට හානි කිරීමට ඉඩ නොතබන අතර, ඒවා සුරක්ෂිත කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරමින් සිටී.

කූරගල පුදබිම ද සියලු දෙනාට ආගමික වතාවත්හි නිරත විය හැකි පුණ්‍ය භූමියක් කරනු වස් ශාසන අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන මහා සංඝරත්නයට මගේ සුබපැතුම් පුද කරමි.

****

ජාතික උරුමය සුරක්ෂිත කිරීමකි

යළි පිබිදෙන කූරගල ප්‍රතිනිර්මාණය කිරීමේ උතුම් පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරනු ලබන්නේ ඉමහත් සතුටිනි .

ඓතිහාසික සාධක අනුව අනුරාධපුර යුගයේ මුල් අවධියේ සිටම මෙය බෞද්ධ සිද්ධස්ථානයක් වශයෙන් පැවැතී ඇත.

පැරණි රජදවස මෙම ස්ථානය තණ්ඩලෙය්‍ය පබ්බත හා දන්ත ශෛල්‍ය පබ්බත යන නමින් ද හඳුන්වා ඇති අතර, පසුකාලීනව කූරගල නමින් ද හැඳින්වූ මෙම පුදබිම අද හඳුන්වන්නේ කූරගල යනුවෙනි. පුරාවිද්‍යා සාධක සනාථ කරන ආකාරයට කූරගල ලෙන් සංකීර්ණයේ මානව ජනාවාස ඇරඹී ඇත්තේ ප්‍රාග් මානවයා හෙවත් බළංගොඩ මානවයාගේ යුගයේ දී ය.

කටාරම් වල හා ගල්ලෙන් වල කෙටූ බ්‍රාහ්මීය අක්ෂරයෙන් යුත් සෙල්ලිපි මගින් ඉතිහාසය ගොඩනැගී තිබේ. බොහෝ සෙල්ලිපිවල “අගත අනගත චතු දිශ සගස දිනේ” අතීත අනාගත සතර දිසාවෙන් පැමිණියාවූ ද නොපැමිණියාවූ ද භික්ෂු මහා සංඝයාට මෙම ස්ථානය පූජා කළ බව එම සෙල්ලිපිවල සඳහන් වේ.

නපුරු වන සතුන් ගහනවූ මෙම පුදබිමේ ලෙන් ආශි‍්‍රතව භාවනානුයෝගි බෞද්ධ භික්ෂූන් වහන්සේලා වැඩසිටි අතර, තම මෝක්ෂය උදෙසා උන්වහන්සේලා භාවනා කටයුතු සිදු කළහ.

පසුකාලීනව මෙය ක්‍රමයෙන් අර්බුධකාරි තත්ත්වයකට පත්වූ අතර, මෙම ජාතික උරුමය සුරක්ෂිත කිරීමේ මාවත මේ වන විට විවෘතව පැවැතීම සතුටට කරුණකි.

‘අස දිස ශාක්‍යපුත්‍ර මහා සෑය’ නමින් අඩි 100 ක් උසැති මහාසෑයක් ඇතුලු විහාරංග මෙම පුදබිම තුළ ඉදිකිරීමට සැලසුම් කර ඇත. එහි මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය මෙම 28 වන මැදින් පුර පසළොස්වක පොහෝදින උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙම කාර්යයේදී මහඟු මෙහෙවරක් ඉටුකිරීමට ගෞරවාර්හ වතුර කුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ හෙවත් කවුරුත් දන්නා හඳුනන නෙල්ලිගල හාමුදුරුවෝ මූලිකව ක්‍රියාකිරීම පැසසිය යුතුය.

මෙම පුදබිම අනාගතයේදී ජාතික උරුමයක් පමණක් නොව ලෝක උරුමයක් වන බව අපගේ විශ්වාසයයි.

ඒ සඳහා කැපවන නෙල්ලිගල හාමුදුරුවන් වහන්සේ ඇතුළු පින්කැමැති සැමට සුභාශිංසන ප්‍රාර්ථනා කරන අතර මෙම උතුම් කටයුත්ත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා’යි මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි.

****

උතුම් චේතනාව මල්පල ගැන්වීමකි

මෑත ඉතිහාසයේ ඉතාම ඛේදනීය ඉරණමකට මුහුණ දී ඇති අප බෞද්ධ ශිෂ්ටාචාරයේ පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුතු ස්ථාන අනාගත පරපුරට දායාද කිරීමේ අරමුණින් බුද්ධ ශාසනයට තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් සෘජුවම ඉටුකිරීමට පෙරමුණ ගන්නා භික්ෂූන් වහන්සේලා අතර ප්‍රමුඛස්ථානයක් අප වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ හට නිතැතින් හිමි වේ.

කූරගල පින්බිම සංවර්ධනය කිරීමේ සෑම සාකච්ඡා වටයකටම සහභාගී වූ මා 2021 මැදින් පුර පසළොස්වක පොහෝ දින සිදු කරනු ලබන චෛත්‍යරාජයාණන් වහන්සේගේ මුල් ගල් තැබීමේ උත්සවයට සහභාගී වන්නේ බුද්ධාලම්භන පීත්‍රියෙනි.