Print this Article


තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැක ගත් නා හිමියන්ගේ කතාව - අවසන් කොටස: අදටත් සංහිඳීයාව පතුරුවන පදුමකිත්ති නා හිමියෝ

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැක ගත් නා හිමියන්ගේ කතාව - අවසන් කොටස:

අදටත් සංහිඳීයාව පතුරුවන පදුමකිත්ති නා හිමියෝ

‘තිස් වසරක කාලයක් යුද්ධයෙන් නාගදීපය බෞද්ධයන් වෙනුවෙන් රැක දෙන්නට දිවි පරදුවට තබා දානය පවා නොමැතිව කටයුතු කළ නවදගල පදුමකිත්ති තිස්ස නා හිමියන්ට ආගමික සංස්කෘතික වශයෙන් ඇගැයීමක් ලබා දි නොමැති වීම කනගාටුවට කරුණකි‘

උතුරු හා නැඟෙනහිර පළාත්වල තිස් වසරකට අධික කාලයක් පැවැති ත්‍රස්තවාදී යුද්ධය අවසන් වීමත් සමඟ නාගදීප විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස නා හිමියෝ බොහෝ සෙයින් උදම් ඇනූහ, මෙරට ඉතිහාසයේ භික්ෂූන් වහන්සේ නමක් විසින් විඳී අපමණ දුක් කන්දරාව විඳීන ලද්දේ උන් වහන්සේ විසිනි.

දානය නොමැතිව වට්ටක්කා පවා වැළඳූ අයුරු උන් වහන්සේට අද මෙන් මතකය. සීනි තේ කොළ නාවික හමුදාවෙන් ගෙනැවිත් දෙනතුරු සවස් වරුවේ ගිලන් පස වළඳන්නට නොහැකිව සිටි අයුරු උන් වහන්සේට සිහිවුණි. ත්‍රස්තයන්ගේ වෙඩි උණ්ඩ කන ළඟින් ගිය අයුරු අද මෙන් මතකය.

එදා සිට අද දක්වාම නාවික හමුදාව විසින් සපයනු ලබන දානය ගැන පදුමකිත්ති හිමියන් සිහි කරන්නේ මහත් ම වූ ගෞරවාන්විත ආඩම්බරයකිනි.


පදුමකිත්ති හිමියන් අවුරුදු 40ක් නාගදීප විහාරස්ථානයේ සේවය කළ කුමරන් සමඟ

එවන් දුක් නොවිඳ කොළඹ හෝ වෙනයම් නාගරික විහාරස්ථානයකට පැමිණ උන්වහන්සේටත් සුවෙන් සිටින්නට ඕනෑ තරම් අවකාශ තිබුණි. එහෙත් උන් වහන්සේ නාගදීපයේ එසේ අපා දුක් වින්දේ බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවූ නාගදීප පුද බිම සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්, ලෝ වාසී බෞද්ධයන් වෙනුවෙන් රැක දීම පිණිස ය. කූරගලට, මුහුදු මහාවිහාරයට අත්ව ඇති ඉරණම අද අපි හොඳීන් දකිමු.

අරියකිත්ති හිමියන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට යම් කිසි අවශ්‍යතාවයක් පිණිස වැඩම කළ අවස්ථාවකදී නාගදීප විහාරාධිපති ධුරය ලබා ගැනීම සම්බන්ධ ලිපි ගොනුවක් දැක එය පරීක්ෂා කර බලා ඇත. එහිදී උන් වහන්සේට දැක ගන්නට ලැබී ඇත්තේ නාගදීප විහාරාධිපති ධුරය ලබා ගැනීම පිණිස වෙනත් ස්වාමීන් වහන්සේ නමක් විසින් නිර්දේශ කර තිබූ බවයි.

එය දැනගත් පදුමකිත්ති හිමියන් එම නා හිමියන්ට දුරකතනයෙන් දෙහි කැපුවේ වසර 30ක් නාගදීපය තිබුණාදැයි නොසොයා දැන් එහි අධිපතිකම් ගන්නට නිර්දේශ ලබා දෙන්නේ බුදු දහමට අනුවදැයි විමසමිනි. වෙඩි උණ්ඩ කමින් තමන් වහන්සේ විඳී දුක නොදන්නේදැයි විමසා නාගදීපය තමන් වහන්සේට පවරා දුන් අයුරු දෝෂාරෝපණයෙන් පදුමකිත්ති හිමියන් විස්තර කළ විට එම නා හිමියන් නිහඬ විය.

යුද්ධය නිමාවීමෙන් පසුව නාගදීපයේ සංවර්ධන කටයුතු රැසක් සිදු කරන්නට පදුමකිත්ති හිමියන් විසින් කටයුතු කරන ලදී. වසර 30කට පසුව පැමිණෙන වන්දනාකරුවන්ට අවශ්‍ය පහසුකම් සලසන්නටද උන් වහන්සේ කටයුතු කර ඇත.

එම සංවර්ධන කටයුතු අතර ඉතා දුර්ලභ සුදු බෝධීන් වහන්සේ රෝපණය කිරීම, සිරිපතුලක් ස්ථාපිත කිරීම බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති නා හිමි අනුස්මරණ ශාලාවක් ඉදි කිරීම, විශේෂිත නාග තොරණක් ඉදි කිරීම හා බෝධි ප්‍රාකාරයක් ඉදි කිරීම ඉන් කිහිපයකි. එමෙන්ම වන්දනාකරුවන්ට විශ්‍රාම ශාලාවක් ඉදි කිරීමද උන් වහන්සේගේ ලොකුම බලාපොරොත්තුවක් විය.

අපවත් වී වදාළ ධම්මකිත්ති නා හිමියන් සමරමින් නාගදීපයේ අසරණ ජනතාවට ඉඩම් සහ නිවාස ලබා දෙන්නට පදුමකිත්ති හිමියන් විසින් කටයුතු කර තිබේ. එයින් එක් පුද්ගලයෙක් වන්නේ විහාරස්ථානයේ අදටත් ආවතේව සිදු කරන කුමරන්ය. අවුරුදු 47ක් වන ඔහු අවුරුදු 40ක්ම නාගදීප විහාරස්ථානයේ කටයුතු කර තිබේ. එමෙන්ම නාගදීපයේ සිටි කම්කල්කරුවාටද එසේ ඉඩමක් සහ නිවසක් ලබා දී තිබේ. පදුමකිත්ති හිමියන් පාපැදියේ විදුලි බලයෙන් ගුවන් විදුලි යන්ත්‍රයට සවන් දුන්නේ එම කම්මල්කරුගේ කම්මලේ සිට ය. අද ඔහු ජීවතුන් අතර නැත. පදුමකිත්ති හිමියන් සමඟ මුහුදු ගිය සිවාද ජීවතුන් අතර නැත. ඒ ගැන පදුමකිත්ති හිමියෝ සංවේග වෙති.


නාගදීප විහාරවාසී දියමයිලගස්වැව අරියකිත්ති හිමි

නාගදීපයේ දෙමළ දැරියන් විවාහ කර දෙන්නට මුදල් නොමැතිව හූල්ලන මව්වරුන් දැක පදුමකිත්ති හිමියන් එම මව්වරුන්ට විහාරස්ථානයේ පින් කැටවලට එකතුවන මුදල් ලබා ලබා දී ඇත. එමෙන්ම නිවසක අවමංගල්‍යයක් වූ විට දේහය බහාලන්නට පෙට්ටියක් ගැනීමට නොහැකි වූ විට රෝහලෙන් ලබා දෙන තුණ්ඩුවට බෙහෙත් ගන්නට නොහැකි අයට බෙහෙත් ගන්නට මුදල් ලබා දෙන්නට පවා පදුමකිත්ති හිමියෝ කටයුතු කරති.

නාගදීප විහාරස්ථානයේ ඉදිරි කටයුතු සියල්ලද සිදු කරන්නට උන් වහන්සේ දැඩි සේ වෙහෙසෙති. පදුමකිත්ති හිමියන් පිළිබඳ බොහෝ දෙනා නොදන්නා එහෙත් දැනගත යුතුම කරුණක් ඇත. ‘ඒ උන් වහන්සේට අසාධාරණය පෙනෙන්නට බැරි වීමය‘. කොටි සංවිධානයේ බදු අය කිරීමට විරුද්ධව ඔවුන්ගේ මූණටම හඬ නැගූ එකම සිංහල ජාතිකයා ද උන් වහන්සේ ය. කිව යුත්ත මුහුණටම එම අවස්ථාවේ දී ම පැවසීමට උන්වහන්සේ කිසිවිටෙක පසුබට නොවෙති.

තිස් වසරක කාලයක් මරණයක් අතින් ගෙන සිටි උන් වහන්සේගේ සේවාව අගය කරන්නට ආගමික ශාසනික හෝ වෙනත් මට්ටමින් කිසිදු කටයුත්තක් සිදු වූයේ නැත. උන් වහන්සේට උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිය පමණක් පිරි නමා තිබේ.

පදුමකිත්ති හිමියන්ගේ අනාගත බලාපොරොත්තු අතර මුල් තැනක් ගන්නේ මුහුදු පතුලේ නාග විමානයක් ඉදි කර මුහුදු පතුලේ සිට අඩි 150ක් ඉහළට විහිදී යන බුදු පිළිමයක් ඉදි කිරීමයි. ඒ වෙනුවෙන් මේ වන විට නාවික හමුදාවේ ද සහායෙන් උන් වහන්සේ කටයුතු කර ඇතත් අන්තවාදී දේශපාලඥයන් විසින් ඒ සඳහා බාධා එල්ල කර තිබේ.

නාගදීපය තිස් වසරක් තිස්සේ රැකගත් නවදගල පදුමකිත්ති තිස්ස නා හිමියන්ගේ හදවතේ ඇත්තේ එකම කතාවකි.

‘තිස් අවුරුද්දක් තිස්සේ මම නාගදීපය රැක ගන්නට කටයුතු කළ බව දන්නේ සුළු පිරිසක් ද කියලා හිතෙනවා. මාධ්‍ය මඟින් පවා ඒ ගැන එතරම් අනාවරණයක් වුණේ නැහැ. ධම්මකිත්ති නා හිමියනුත් මමත් අවුරුදු 30ක් දූපතේ ගත කළ ජීවිතය මේ රටේ කිසිදු භික්ෂූන් වහන්සේ නමක් විසින් අත්විඳ නැහැ. මගේ තරුණ කාලයම යුද්ධයෙන් නාගදීපය රැක ගන්න ගත කරන්න සිද්ධ වුණා. නිසි අධ්‍යාපනයක් ලබා ගෙන නමට මුලින් ආචාර්ය පදවියක් නැත්නම් රාජකීය පණ්ඩිත උපාධියක් ලබා ගන්නට නොහැකි වීම ගැන මම දුක් වෙන්නේ නැහැ. මම නායක හාමුදුරුවොත් එක්ක බුදුරජාණන් වහන්සේ වැඩම කළ මේ පින් බිම රැක ගත්තා. ඒ ගැන සිහි වෙනකොට මට දැනෙන්නේ කියන්න බැරි සතුටක්. ඒ සතුට මේ රටේ කිසිම භික්ෂූන් වහන්සේ නමකට ලබා ගන්න බැහැ.

නාගදීපයෙන් පිටව ගිය හැම තිස්සෙම මට ලොකු පාලුවක් දැනෙනවා. විදේශ රටකට ගියත් ඉක්මනින් ආපහු එන්නයි මගේ හිත කියන්නෙ. කුරිකඩ්ඩුවාන් ජැටියෙන් බෝට්ටුවට නැඟුණයින් පස්සෙ මට දැනෙන්නේ මගේ රාජධානියකට ආවා වගේ හැඟීමක්. නායක හාමුදුරුවන් වෙනුවෙන් මම කරන්න පුළුවන් උපරිම විදිහට පින්කම් කරනවා. අදටත් මගේ ලොකුම බලාපොරොත්තුව වන මුහුදු පතුලේ නාගවිමන ඉදි කිරීමෙන් පසු ගොඩක් දේවල් කළා කියල මට සැනසෙන්න පුළුවන්. අවුරුදු 30ක් තිස්සේ නාගදීපය රැක දීම ගැන හිතලා අනෙක් සේරම හාමුදුරුවරුන්ට වඩා මට හොඳ සතුටු සිතකින් කවදා හරි අපවත් වෙන්න පුළුවන්. ‘

(තිස් වසරක බිහිසුණු යුද්ධය මැද නාගදීපය රැකගත් නවදගල පදුමකිත්ති තිස්ස නා හිමියන්ගේ ජීවන අත්දැකීම් ඇසුරින් සම්පාදිත ‘නාගදීපයේ දීපය‘ ලිපි පෙළ මෙයින් සමාප්තයි)