Print this Article


බෞද්ධ ධර්ම සන්නිවේදනයට නියාමනයක් අවශ්‍යයයි

බෞද්ධ ධර්ම සන්නිවේදනයට නියාමනයක් අවශ්‍යයයි

ස්වාමීන් වහන්ස,වර්තමානය වනවිට තාක්ෂණික දියුණුවත් සමඟ ධර්ම සන්නිවේදනයෙහි ලා වැඩි නැඹුරුතාවයක් ඇති වී තිබෙනවා. ඒ තුළ ම සම්බුදු දහම අර්බුදයට ලක්විය හැකි බවට සමහරු චෝදනා කරනවා නේද? මේ පිළිබඳව ඔබ වහන්සේ අදහස් කරන්නේ කුමක් ද?

“බාහු සච්ච මහත්තතා“ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනම් ශාසනය තුළ අර්බුද ඇතිවීමට කාරණා දේශනා කළා. කාලාන්තරයක් ගත වීම නිසා ඇතිවන අර්බුද, පිරිස වැඩි වීම නිසා ඇතිවන අර්බුද, විෂයානුබද්ධ උගත්කම වැඩිවීම නිසා ඇතිවන අර්බුද ලාභ ප්‍රයෝජන වැඩිවීම නිසා ඇතිවන අර්බුද යනුවෙන්.

මේ යුගයේ ධර්ම සන්නිවේදනය තුළ අර්බුද රාශියක් පැන නැඟී තිබෙන බව අප දකිනවා. පිරිස වැඩිවීම නිසා දේශකයන් වැඩි වීම අවශ්‍යයයි. දේශකයන් වැඩි වීම

හේතුවෙන් මාධ්‍යයන්ට විවිධ ආකාරයෙන් දේශකයන් වහන්සේ සම්බන්ධ කර ගන්නවා. ඒ අවස්ථාවේ දී නියම ධර්ම ඥානය තිබෙන කෙනාද? නැති කෙනා ද? කාර්යයට සුදුසු ද? නැති ද ?යන්න තේරුම් ගැනීමක් ඇති බවක් පෙනෙන්නට නෑ.

දැන උගත්කම වැඩි වී තිබෙනවා. විවිධ විෂය සම්බන්ධයෙන් දැනුම වැඩි වී තිබෙනවා. ඒ නිසා තම තමන්ගේ මතවාද, තම තමන්ගේ දැනුම හුවා දක්වන්නට ඇතැම් දේශකයන් උත්සාහ ගන්නවා. එමඟින් ධර්ම සන්නිවේදනයේ අර්බුද මතු වී තිබෙනවා.

ධර්ම සන්නිවේදන ක්‍රමය තුළ බොහෝ ලාභ ලැබෙන ක්‍රම විධි ඇතිවෙලා . අතීතයේ ධර්ම දේශනයක් පැවැත් වූ විට ධර්ම දේශකයාණන් වහන්සේට ඉතාමත් සුළු පිරිකරක් පූජා කරනවා. වර්තමානයේ ධර්ම දේශනාවක දී නොයෙක් ආකාරයේ ලාභ ප්‍රයෝජන ලැබෙමින් පවතිනවා. එපමණක් නොවෙයි. දැනගන්නට ලැබෙන ආකාරයට ධර්ම සන්නිවේදනය කරන ඇතැම් ධර්ම දේශකයන් වහන්සේ මුදල් ලබාගන්නවා.

ඒ වගේ ම මුදල් ඉල්ලීම් කරන බව දැනගන්නට ලැබෙනවා. මෙන්න මෙතැන තමයි ශාසනයේ පරිහානියට ප්‍රධාන හේතුව. මේ ආකාරයට අනුගමනය කරන වැඩපිළිවෙළෙහි අපට පේනවා ධර්මයට හානි කරන සන්නිවේදනයක් මේ වන විට ක්‍රියාත්මක වෙනවා කියා.

විවිධ මාධ්‍ය ඔස්සේ විවිධ ක්‍රම ඔස්සේ ධර්මය සන්නිවේදනය කිරීමේ දී ධර්මයට හානිදායක තත්ත්වයක් වර්තමානයේ උද්ගත වී ඇති බව ඉතා ම පැහැදිලියි. මෙය ඉතාම භයානකයි. ධර්මයේ පැවැත්මට හානි කරයි. ඒනිසා දැන් ශාසන භාරධාරී මහා නායක මා හිමියන් වහන්සේලා ඇතුළු ගිහි පැවිදි සංවිධාන, බුද්ධිමත් ඇත්තෝ ඉතා ඉක්මනින් ක්‍රමවේදයක් සැකසිය යුතුයි.

තමන්ගේ මාධ්‍ය ජනප්‍රිය කරගන්නත් ඒ ජනප්‍රියතාවය තුළ වැඩිපුර ලාභ උපදවන්නත් දැන් බොහෝ මාධ්‍ය ඉදිරිපත් ව සිටිනවා. මේ හොඳ තත්ත්වයක් නොවෙයි. බණ විකුණන තත්ත්වයකට පත්වෙලා. බණ ව්‍යාපාරයක් බවට පත්වෙලා. මේ ආකාරයට මාධ්‍ය කටයුතු කරන අතර ඒ මඟින් ලාභ උපදවන්නට වඩ වඩා ජනප්‍රිය වෙන්න විවිධ චරිත උනන්දුවෙලා තියෙනවා. ජනප්‍රිය වෙන්න විවිධ උපාය යොදනවා.

ස්ටාර් ධර්ම දේශකයන් බවට පත්වෙලා තියෙනවා. සුපර් ස්ටාර් බවට පත්වෙන්න මේ අය යොදාගෙන තියෙන වචනය කාලීන ධර්ම දේශනා යන වචනයයි.

ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේ ගේ ශී‍්‍ර සද්ධර්මය අකාලික බව ධර්මයට වන්දනා කිරීමේ දී අප නිතර සිහිපත් කරනවා. ධර්ම දේශනාව කාලීන වශයෙන් වෙන් කර ගත හැකි ද?

බුදුරජාණන් වහන්සේගේ ධර්මය කාලීනයි කියන දේ අමුතුවෙන් පැවැසිය යුතු දෙයක් නොවේ. අකාලිකයි කියන වචනය තුළ සියල්ල විග්‍රහ වෙනවා. අකාලිකයි යැයි කියන්නේ කාල සීමාවකට යටත් වෙන්නේ නැහැ කියන එකයි. එය විසිවැනි සියවසටත්, ක්‍රි. පූ.හය වැනි සියවසටත් එසේමයි.

අනාගතයේ ඉදිරිපත්වන තිස් වැනි, හතළිස් වැනි, පනස් වැනි සියවස්වලටත් එසේමයි. ධර්මය කාලීනව වෙනස් වෙන්නේ නැහැ. කාලීන ධර්ම දේශනාව කියන දේ මුලාවක්. බොරුවක්. ඒක සුපර් ස්ටාර් වෙන්න හදන දේශකයන් විසින් නිර්මාණය කළ බොරුවක්. පවත්නා ප්‍රශ්නත් එක්ක ධර්ම සන්නිවේදනය විය යුතුයි.

පවත්නා ප්‍රශ්න සාකච්ඡා කිරීම අනිවාර්යයෙන් විය යුතුයි. ඒක එදාටත්, අදටත් එකයි. මේ සුපර් ස්ටාර් වෙන්න හදන පිරිස් ධර්මය කාලීන ධර්ම දේශකයන් හැටියට ඉදිරිපත් වෙනවා. ඔවුන් මොකද කරන්නේ ශ්‍රාවක පිරිස වින්දනයට පත් කරන්න උත්සාහ ගන්නවා. නොයෙක් ආකාරයෙන් අධර්මවාදී ක්‍රම මඟින් ශ්‍රාවකයෝ වින්දනයට පත් කරනවා. ඒ කියන්නේ නාට්‍යයක්, ටෙලි නාට්‍යයක් බලන විට, කවි මඬුවක් අසා සිටින විට, සංගීත සංදර්ශනයකට සහභාගිවන විට වගේ වින්දනයක් ලබා දෙන්න උත්සාහ ගන්නවා.

ඇතැම් දේශකයෝ ඒ සඳහා උපයෝගී කරගන්නේ හාස්‍ය, උපහාසය, ඇනුම් බැනුම්, පරුෂ වචන, ආක්‍රෝස පරිභව, තමා විශිෂ්ටත්වයෙන්, ශ්‍රේෂ්ඨත්වයෙන් හුවා දැක්වීම. අන් අය වැරැදි, මෝඩ, නුසුදුස්සෝ යැයි හෙලා දකිමින් කතා කරමින් අපහාස උපාහස කරමින් ජනප්‍රිය වීමට උත්සාහ කරනවා. ඒ ජනප්‍රිය වන අයට තව තවත් මාධ්‍ය මඟින් තැන දෙනවා. ඒ තැන දෙන්නේ මාධ්‍ය ජනප්‍රිය වීම සඳහායි. මේ සියල්ලෙන් ම සිදු වන්නේ මේ ධර්මයට මහා අනර්ථයක්.

ශී‍්‍ර සද්ධර්මයට වන මේ හානිදායක බව වළක්වා ගන්නට කළ යුතු දෙය පිළිබඳව ඔබ වහන්සේගේ යෝජනාව කුමක් ද?

වර්තමානයේ ධර්ම සන්නිවේදනයට නියාමනයක් නැහැ. මේ නියාමනයක් නැති නිසා ඕනම කෙනෙක් ඕනම දෙයක් ධර්මය හැටියට හුවා දක්වනවා. මේ අදාළ වගකිවයුතු ඇත්තන්ගේ නිහඬතාව නැමැති පාළු ගෙයි අර ජනප්‍රිය වෙන්න උත්සාහ ගන්නා අය වළං බිඳීනවා. ඒ කියන්නේ බුදු දහම විනාශ කරනවා. මෙන්න මේ තත්වය ඉතා බරපතළයි. මේක වහාම ක්‍රියාත්මක වන පරිදි මෙයට නියාමනයක් සෑදිය යුතුයි.

නියමාකාරයෙන් බුදුදහම රැකෙන්නට නම් ධර්මය ආරක්ෂා කළ යුතුයි. ධර්මයට සිදුවන හානි වැළැක්විය යුතුයි. ඒ නිසා වහා ම ක්‍රියාත්මක වීම අවශ්‍යයයි. ධර්ම සන්නිවේදනයේ වැරැදි තේරුම් ගෙන දැනට කෙරෙන ඒ වැරැදි අවගමන, අපගමන ධර්මයේ නමින් සිදු කරන දුරාචාර වහාම නැවැත්විය යුතුයි. බුද්ධිමත් ගිහි පැවිදි පිරිස් ඒ සඳහා දැන් එකතු විය යුතුයි.

මෙම භාරදූර වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යන්නට යම් ආරම්භයක් ගෙන තිබෙනවා ද?

විද්වත් සංඝ සභාවක් හැටියට ධර්මය ආරක්ෂා කර ගැනීමට, ධර්ම සන්නිවේදනය නියාමනය කිරීමට වැඩපිළිවෙලක් මුලින් ම සාකච්ඡා වුණා. වාරියපොළ සුමංගල නා හිමි අනුස්මරණ දිනයේ මාර්තු මාසයේ දෙවැනි දා. එදා ඒ රැස්වීම පැවැත්වූයේ රාජගිරියේ ජයසේඛරාරාම විහාරස්ථානයේ දී. ඒ මහා සභාවේ මුලසුන දැරුවේ අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර වැඩ බලන මහා නායක ගන්තුනේ අස්සජී නා හිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉතාමත් ප්‍රයෝජනවත්, හරවත් වැඩපිළිවෙලක් ඇතිව ඉදිරි කටයුතු ගැන තීන්දු තීරණ ගත්තා. එහි දෙවන පියවර ත් මේ මාසයේ 21 වැනි දා දවස පුරාම සිදු කරන්නට යොදාගෙන තිබුණා.

බුදුරජාණන් වහන්සේ කාශ්‍යප සංයුක්තයේ සංයුක්ත නිකායේ සඳහන් කරනවා. බුද්ධ ධර්මය හා බුද්ධ ශාසනය විනාශ වෙන්නේ බාහිර බලවේගවලින් නොවෙයි කියා. එනම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ ඇතුළු කොට ඇති බාහිර බලවේගවලින් මේ ශාසනය විනාශ වෙන්නේ නැහැ. මෙය විනාශ වෙන්නේ මේ ශාසනය තුළම පහළ වන්නා වූ මෝග පුරුෂයන් මඟින් ය.

එහි මෙසේ සඳහන් වෙනවා. මෝඩ, අනුවණ ධර්ම දේශකයන්ගේ ස්වරූපයෙන් වෙස්වලා ගත් මෝග පුරුෂයන් මඟින් විනාශ වෙනවා කියලා. ඒ කියන්නේ මේ භික්ෂු ශාසනය තුළම මේ විනාශකාරීත්වය පහළ වෙනවා ය කියන බව බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානයෙන් දුටුවා. වර්තමානයේ අපට ඉතාමත් පැහැදිලිව පේන්න තියෙනවා මෙන්න මේ කනගාටු දායකත්වය. එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ අවස්ථාවේ දී එක සුභද්‍ර කෙනකුගේ අභද්‍ර වචනයක් නිකුත් වුණා.

ප්‍රචාරය වුණා. එය ඇසූ සැනින් මහා කාශ්‍යප වැනි මහ රහතන් වහන්සේලා වහා ක්‍රියාත්මක වුණා. ධර්මය ආරක්ෂා කරන්න. එහි ප්‍රතිඵලයක් හැටියට පළමු ධර්ම සංගායනාව පවත්වන්නට යෙදුණා. වර්තමානයේ අපට පේනවා එක සුභද්‍ර කෙනෙක්ගෙ නෙමෙයි සුභද්‍රවරුන් සිය ගණක් පහළ වෙලා ඉන්නවා කියා. එවැනි සුභද්‍රයන් ගේ අභද්‍ර වචන දහස් ගණනක් ඇතැම් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතිනවා.

දැන් අවශ්‍යවයි මහ කාශ්‍යප මා හිමියන්ගේ මෙහෙවර ඉටු කරන ශාසන භාරධාරී, ශාසන හිතකාමී ගිහි පැවිදි පිරිසක්. අපි අන්න ඒ අඩුව පුරවාලීම තමයි මේ යුගයේ කළ හැකි හොඳම කටුත්ත.