Print this Article


සංඝ ශෝභන ගුණයෙන් සසුන එකලු කළ මහා යතිවරයාණෝ

සංඝ ශෝභන ගුණයෙන් සසුන එකලු කළ මහා යතිවරයාණෝ

සුලලිත වාග් චාතුර්යයෙන් බොදු ජන හදවත් සුවපත් කළහ

යෝ හෝති ව්‍යයත්තෝච විසාරදෝච බහුස්සුතෝච ධම්මධරෝච හෝති

අනුධම්මචාරී ස තාදිසෝ වුච්චති සංඝ සෝභනෝ”

යන බුද්ධ දේශනාවට අනුව යම් භික්ෂුවක් ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත ධර්මධර වේද, ධර්මයට අනුව ක්‍රියාකරයි ද, එබඳු වූ භික්ෂුව සංඝසෝභන යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත.

එකී ගුණසමුදායන්ගෙන් අනූනව පැවිදි දිවියක් ගතකළ, සංඝනේතෘවරයාණන් වහන්සේ නමක ලෙස අපවත්වී වදාළ, ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක ධුරන්ධර, ත්‍රිපිටක විශාරද ශ්‍රී සුමංගල විද්‍යාවතංස අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හැඳින්විය හැකි ය.

මෙරට විද්‍යුත් ධර්ම සන්නිවේදනයේ යති ලකුණ ලෙස කීර්තියක් දිනාගැනීමට කොටුගොඩ ධම්මාවාස මාහිමියන්ට හැකිවූයේ සුලලිත වාග් චාතුර්ය තුළින් බොදු ජන හදවත් සුවපත් කිරීමට තිබූ අනගි හැකියාව නිසා ය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනිය ආදි මාධ්‍ය ආයතන ගණනාවක විචිත්‍ර ධර්මදේශකයාණන් වහන්සේ නමක ලෙස අඩසියවසකට අධික කාලයක් සිදුකළ සේවය අතිශය ප්‍රශංසනීය ය. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ දියුණුව අභිවෘද්ධිය උදෙසා ද නොමැකෙන සේවාවක නිරත වූ කොටුගොඩ නාහිමියෝ 1980 සිට අපවත් වන තුරුම වසර හතලිහකට වඩා වැඩි කාලයක් ප්‍රශංසනීය සේවාවක නිරත වූහ. 1992 දී ශ්‍රී ලංකා අමරපුර මහාසංඝ සභාවේ මහාලේඛකාධිකාරි ධුරයටද, 2008 වසරේදී සභාපති ධුරයටද තේරී පත්වූ කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ 2017 මැයි මස 26 වනදා ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ තෙවැනි උත්තරීතර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලෙස තේරී පත්වූහ.

එතැන් සිට, සමස්ත අමරපුර නිකායිකයන්ගේ පමණක් නොව, තෛ‍්‍රනිකායික භික්ෂු සංඝරත්නයේ දියුණුව උදෙසා අවවාද, අනුශාසනා ලබාදෙමින් සංඝ සාමගි‍්‍රය පිණිස කටයුතු කළේය. දෙස් විදෙස්හි වැඩමවමින් පුරා අසූ අට වසරක් බුදු දහමෙහි සභ්‍යත්වය ලොවට දේශනා කොට වදාළ, මහබඹු විසින් මනුලොවට එවනු ලැබූ සුලලිත ස්වරයෙන් මුනි දම් පද මිමිණූ අග්‍ර ධර්මකථික , අග්ගමහාපණ්ඩිත, ත්‍රිපිටක විශාරද, අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාසාභිධාන ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට පැතූ බෝධියකින් උතුම් නිවන් සුව අත්වේවායි! ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ නවක, මධ්‍යම, ස්ථවිර සියලු දෙනා වහන්සේ වෙනුවෙන් ප්‍රාර්ථනා කරම්හ.


සංඝ ශෝභන ගුණයෙන් පිරිපුන් මහා යතිවරයන් වහන්සේ

කොටුගොඩ ධම්මාවාස මහනාහිමිපාණෝ ව්‍යක්ත, විශාරද, ධම්මානුධම්මපටිපන්න ආදී සංඝශෝභන ගුණයන්ගෙන් පරිපූර්ණ නූතන ධර්ම දේශනාවෙහි යතිලකුණ බවට පත්වූ, රාජ රාජ මහාමාත්‍යයන්ගේ සිට පැල්පත දක්වා විවිධ තරාතිරම්වල හුදී ජනතාවගේ ධර්මඥානය ඇති කරවනු වස් තමාට ආවේණික වූ ,සුමධුර, සුලලිත, ළයාන්විත පදවහරක් යොදාගනිමින් කාලයට, දේශයට , ඒ ඒ පිරිසට ගැලපෙන අයුරින් ධර්මය දේශනා කිරීමෙහි සුවිශේෂ ශක්‍යතාවයෙන් සුපෝෂිත වූ මහා යතිවරයාණ කෙනෙකි. සිනාමුසු මුහුණින් තම මුව සරසා ගන්නා අප මහනාසමිදාණෝ ඒ ඒ උත්සවයට, ඒ ඒ ධර්ම දේශනාවට, සුපිළිපන්ව, ඉතා සංවර ගමනින් භික්ෂුවක් ගමෙහි හැසිරිය යුතු ආකාරය පෙන්වා දුන් සේඛියා ශික්ෂා මනාව අනුගමනය කරමින් වඩිනා විට බෞද්ධයන් පමණක් නොව අබෞද්ධයන් වුව ද, තමාගේ සිතෙහි මනාවූ පැහැදීමක්, සන්සිඳීමක් ඇතිකරගත් බව අමුතුවෙන් කිවයුතු නැත.

සාථලිකත්වයෙන් හෙවත් ලිහිල් කොට නොගෙන කටයුතු කළ බව උන්වහන්සේ ළඟින් ඇසුරුකළ කවුරුත් දන්නා කරුණකි.

දර්ශන විශාරද අතිපූජ්‍ය පරවාහැර වජිරඤාණ නාහිමි, පරවාහැර පඤ්ඤානන්ද නාහිමි හා බම්බලපිටියේ වජිරාරාමාධිපතිව වැඩ විසූ විශ්වකීර්ති ශ්‍රී නාරද නාහිමි , පියදස්සී නාහිමි ආදි ශ්‍රේෂ්ඨ සංඝපීතෘන් වහන්සේලා ඇසුරින් ගුණ නැණ මෙන් ම විදෙස් ධර්මදූත සේවය පිළිබඳ ව දැනුම් ද, දියුණුකරගත් අප කොටුගොඩ මහනාහිමියෝ දේශනයෙහි තිබූ චතුරත්වය හා ලයාන්විතභාවය හේතුවෙන් ජනපි‍්‍රය ධර්ම දේශකයාණ කෙනෙකුවීමේ භාග්‍යය ලැබූහ. මන නන්දනීය අයුරින්, ශ්‍රාවකයාගේ සිත නිවාලන ආකාරයෙන් ධර්ම දේශනයෙහි සුවිශේෂ හැකියාවක් උරුම වු මේ නාහිමියෝ කුඩා දහම් පොත් රචනා කරමින් ඒ අනුව තමාගේ මෙන්ම ශ්‍රාවකයාගේ ධර්මඥානය ද දියුණු කරගත් අතර විදේශිය ධර්ම දූත සේවයෙහි යෙදෙන යතිවරයන් වර්ෂ 1960 තරම් ඈතක සිට විවිධ ලිපි ලේඛන හා ධර්ම පත්‍රිකා මගින් සිය ශාස්ත්‍රීය සේවය දියත්කළ අප නාහිමිපාණෝ වසර 60 කට ආසන්න කාලයක් තුළ ලියන ලිපි ලේඛනාදිය මහත් රාශියකි. දෙහිවල බෞද්ධෝදය සංගමයේ අනුග්‍රහයෙන් සෑම වෙසක් පොහෝ දිනක ම සැදැහැවතුන් අතට පත්වන බෞද්ධෝදය වෙසක් කලාපය හැරුණූ විට තවත් ග්‍රන්ථ 36 ක් පමණ උන්වහන්සේගේ පින්බර සුරතින් රචිත ය. ශ්‍රී ලංකාවේ වෙසෙන සංඝනේතෘන් වහන්සේලාගේන් අතළොස්සකට පමණක් හිමිවූ බුරුම රාජ්‍යයෙන් ලැබෙන අග්ගමහාපණ්ඩිත ගෞරවනාමය ද, අමරපුර සංඝ සභාවෙන් ප්‍රදානය කරන මහෝපාධ්‍යාය තනතුර ද, අමරපුර පාර්ශ්වයෙන් පිදෙන ධර්මපාලවංශාලංකාර ත්‍රිපිටක විශාරද ගෞරවනාමය ද, ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණිසාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව මගින් ප්‍රවචන කීර්ති ශ්‍රී ශාසනසෝභන ගෞරවනාමය ද, කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණ හා විද්‍යාධාර සභාව මගින් ශ්‍රී සුමංගල විද්‍යාවතංස සම්මාන උපාධිය ද, රත්මලාන පරමධම්ම චේතිය මහ පිරිවෙන් ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් ශ්‍රී සම්බුද්ධ ශාසන ධර්ම කථික කීර්තිධර යන ගෞරව නාමය යනාදී ගෞරවනාම පමණක් නොව ශ්‍රී ලංකා පාලි බෞද්ධ විශ්ව විද්‍යාලයේත්, අනුරාධුපර භික්ෂු විශ්වවිද්‍යාලයෙත් පාලක සභිත තනතුර ද උන්වහන්සේ විසින් හොබවා ඇත. එපමණක් ද නොව භික්ෂු විශ්ව විද්‍යාලයෙහි මහා මහොපාධ්‍යාය තනතුරට උන්වහන්සේ පත්කෙරිණ.

මෙවැනි ශාසනික වශයෙන් අප්‍රමාණ මහ මෙහෙයක් කළ කොටුගොඩ ධම්මාවාස මහනාහිමිපාණෝ සිහිනුවණින් අපවත්වී වදාළ හෙයින් උන්වහන්සේට අමා මහ නිවනින් සැනසීම ම වේවා.


කොටුගොඩ ශ්‍රී ධම්මාවාස මහ නාහිමිපාණෝ සසුනඹර එකලු කළ මිණි පහනකි

උතුම් සම්බුදු සසුනෙහි චිරස්ථිතිය උදෙසා අපරිමිත සේවාවක් ඉටු කළ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහනායක, ගල්කිස්ස ධර්මපාලාරාමය ඇතුළු විහාරගණයේ විහාරාධීෂ්වර, ධර්මපාල වංශාලංකාර සද්ධම්ම කීර්ති ශ්‍රී, ත්‍රිපිටක විශාරද, ප්‍රවචන කීර්ති ශ්‍රී ශාසන සෝභන, ශ්‍රී සුමංගල විද්‍යාවතංස, අග්ගමහාපණ්ඩිත, මහෝපාධ්‍යාය, අතිගෞරවාර්හ කොටුගොඩ ධම්මාවාස මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීම සම්බුද්ධ සසුනට පිරිමැසිය නොහැකි ඉමහත් වූ පාඩුවක් බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බෝධිසත්ව ගුණෝපේත පරම පූජනීය මහා සංඝ පිතෘවරයාණන් වහන්සේ නමක වන ධම්මාවාස නාහිමි ලක් දෙරණට මෑත කාලීනව පහළ වූ උගත්, වියත් ශ්‍රේෂ්ඨ පඬිරුවනක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මහා නාහිමියන්ගේ අපවත් වීම පිළිබඳව ශෝක පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කරයි.

ලොවටම විචිත්‍රවත් ලෙස ධර්ම දේශනා කළ උන්වහන්සේගේ සුමදුර ධර්ම දේශනා බොදු ජනයා පමණක් නොව අන්‍ය ආගමිකයන්ගෙන්ද වන්දනීයත්වයට, ගෞරවණීයත්වයට පාත්‍ර වූ බව අමාත්‍යවරයා සිය ශෝක පණිවුඩයෙන් පෙන්වා දෙයි.

සුපේශල ශික්ෂාකාමී මහ තෙර නමක වූ අප නාහිමියන් මුළු පැවිදි දිවියම සසුනඹර එකලු කරන්නට ලක් දෙරණට පෑයු මිණි පහනක් බවත්, අනතිමානි ගුණයෙන් පරිපූර්ණ වූ මහ නාහිමියන් වත්මන් සඟ පරපුරට ආදර්ශවත් මහා යතිවරයන් වහන්සේ නමක් බවත් හෙතෙම පවසයි.

අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ශ්‍රී ධම්මාවාස අපේ මහා නායක මාහිමිපාණන් වහන්සේට පැතූ බෝධියකින් අමා මහ නිවන් සුව ලැබේවායි ද, අමාත්‍ය රඹුක්වැල්ල මහතාගේ ශෝක පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.