Print this Article


ත්‍රිපිටක ධර්මය පිළිබඳ නිවැරැදි දැනුමක් අවශ්‍යයි

ත්‍රිපිටක ධර්මය පිළිබඳ නිවැරැදි දැනුමක් අවශ්‍යයි

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ජා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ප්‍රායෝගික බෞද්ධ අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වැලිවිට සෝරත හිමිපාණන් වහන්සේ ය.

අපේ හාමුදුරුවනේ, කෙළිදෙළෙන් ගතකරන ළමා වියේදීම ශාසනික ජීවිතයට ඇලුම් කිරීමට පසුබිම සකස් වුණේ කුමන ආකාරයෙන්ද?

මගේ ජන්මෝත්පත්තිය සිදුවුණේත්, වර්තමාන සම්බුද්ධශාසනයේ උන්නතිය සඳහා ක්‍රියා කළ වැලිවිට පිණ්ඩපාතික අසරණසරණ සරණංකර සංඝරාජෝත්තමයාණන් වහන්සේගේ උපන්ගම වුණ වැලිවිට ග්‍රාමයේදීමයි. මගේ පියතුමාගේ වැඩිමහල් සහෝදරයා පැවිදි ජීවිතයක් ගත කළා. උන්වහන්සේ ගත කළ උතුම් පැවිදි ජීවිතයට මගේ සිත නිරායාසයෙන් ම ඇලුම් කළා. අපේ පවුල් පරිසරය තුළ සම්බුද්ධ ශාසනයට දායාදයක් තිබුණ නිසාත්, පුංචි කාලයේ දීම පැවිදිවීමට ඇතිවුණ ආසාවත් සමඟම මව්පියන්ගේ අවසරය ඇතිව තෙල්දෙණිය රඹුක්වැල්ල රජමහා විහාරස්ථානයේ වැඩ සිටි මල්වතු මහා විහාරීය විංශද් වර්ගික කාරක මහා සංඝ සභාවේ කාරක සභික, මහනුවර ශ්‍රී සංඝරාජ පිරිවෙන් පරිවේණාධිපති අපවත් වී වදාළ දර්ශනපති කුළුගම්මන ශ්‍රී ධම්මරක්ඛිත නායක මාහිමිපාණන් වහන්සේගේ හා වර්තමාන රඹුක්වැල්ල රාජමහා විහාරාධිපති මල්වතු මහා විහාරීය කර්මාචාර්ය ශ්‍රී සෝභිත මූලික පිරිවෙන් අධ්‍යක්ෂ විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති වේරපිටියේ රතනපාල නායක මාහිමිපාණන් වහන්සේ යන දෙනමගේ ආචාර්යත්වයෙන් 1990 වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දින තෙල්දෙණිය රඹුක්වැල්ල රාජමහා විහාරස්ථානයේ දී වැලිවිට සෝරත යන උතුම් වූ ශාසනික නාමයෙන් උත්තරීතර පැවිදි ජීවිතයට ඇතුළත් වුණා.

මල්වතු මහා විහාරයේ මහානායක හිමිපාණන් වහන්සේ වශයෙන් වැඩ සිටි රඹුක්වැල්ලේ ශ්‍රී විපස්ස්‍යභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා වර්තමාන මල්වතු මහා විහාරයේ අනුනායක ධුරන්දර අග්ගමහා පණ්ඩිත සාහිත්‍ය චක්‍රවර්තී ආචාර්ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ යන මාහිමිපාණන් වහන්සේලා දෙනමගේ උපාධ්‍යායත්වයෙන් හා කර්මාචාර්යත්වයෙන් ඉහත සඳහන් ආචාර්ය ප දෝත්තමයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් 2000 වර්ෂයේ මැයි මස 17 වන දින වාහලනාගනාමයෙන් අධිශීල සංඛ්‍යාත උතුම් උපසම්පත්තිය ලබා ගැනීමේ භාග්‍ය උදා වුණා.

ඔබ වහන්සේ ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය සිදුකළ අවධියත්, භික්ෂු ජීවිතය ඔපවත් කරගැනීමට ගුරු හාමුදුරුවන්ගෙන් ලබාගත් ආභාසයත් පිළිබඳව අතීතාවර්ජනයක යෙදෙනවා නම්,

1991 වර්ෂයේ දී, හඟුරන්කෙත මාදන්වල ශ්‍රී ධර්මෝදය මහපිරිවෙනට ඇතුළත් වෙලා 1991 සිට 1999 දක්වා මූලික පිරිවෙන් අධ්‍යාපනය ලැබුවා. එහිදී ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම සහ ප්‍රාචීන අවසාන විභාග සමත්ව 1998 දී උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල වරම් ලබා ගත්තා. 2000 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් පාලි විෂයය විශේෂවේදී උපාධිය හදාරා 2004 වර්ෂයේ දී පළමු පන්ති සාමාර්ථයක් සහිතව උපාධිය සම්පූර්ණ කළා. 1999 වර්ෂයේ දී ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ප්‍රාචීන අවසාන විභාගයෙන් ලංකාවෙන් ම දෙවන ස්ථානය ලබාගෙන ඉහළින්ම සමත් වුණා.

2005 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයීය පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධියත්, 2014 දී දර්ශනපති උපාධියත් ලබාගෙන වර්තමානය වන විට එම පශ්චාත් උපාධි ආයතනයෙන්ම ආචාර්ය උපාධිය සඳහා ලියාපදිංචිව පර්යේෂණ කටයුතු සිදුකරගෙන යනවා.

ඒ වගේම පැවිදි වුණ දවසේ සිටම ආචාර්යන් වහන්සේලා ගුරු ශිෂ්‍ය සබඳතාවය මැනවින් විදහා දක්වමින් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය කරන මඟ පෙන්වීම ලබාදුන් නිසා එම මඟ පෙන්වීම මත කිසිම අවහිරයකින් බාධකයකින් තොරව උන්වහන්සේලා අපට පෙන්වාදුන් ඉලක්ක වෙත ගමන් කළා. එම ඉලක්ක වෙත ගමන් කිරීමට අවශ්‍ය පසුබිම උන්වහන්සේලා විසින් සකස්කර දෙනු ලැබුවා සේම, නිතරම අවවාද අනුශාසනා ලබාදෙමින් අධ්‍යාපනයේ තිබෙන වැදගත්කමත්, අධ්‍යාපනය ලැබීම තුළින් ඉදිරියට ගමන් කළ හැකි මාර්ගයත් නිවැරැදිව පෙන්වා දුන්නා. ඒ අනුව ධර්ම අධ්‍යාපනය කෙරෙහි ම සිත යොමුකරමින් කටයුතු කළා.

අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ලබාගත් අත්දැකීම් අනුව අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලාට ලබාදෙන උපදෙස් මොනවාද?

අතීත පඬිවරුන් ප්‍රකාශ කර තිබෙන ආකාරයට අනුව ලෝකයේ සෑමතැනකදී ම පූජාවට පාත්‍ර වන්නේ විද්වතා ය. අපි සතු බලාපොරොත්තු කෙතරම් තිබුණත්, අධ්‍යාපනය නිසි පරිදි ලබාගැනීම තුළින් ඒ හැම බලාපොරොත්තුවක් ම සාධනය කරගත හැකි භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් ත්‍රිපිටක ධර්මය පිළිබඳව නිවැරදි දැනුමක් හොඳ අවබෝධයක් ලබාගැනීම අවශ්‍යයයි. ඒ සඳහා අවශ්‍ය කරන භාෂා ඥානය දැනගැනීම අත්‍යවශ්‍යය යි. වර්තමාන ලෝකය ඉල්ලුම් කරන්නේ ථෙරවාදී බුදු දහමයි. විදේශිකයන් පවා ථෙරවාදී බුදුදහම ඉගෙන ගැනීමට මෙරටට පැමිණෙනවා වර්තමානය වන විට ථෙරවාදී බුදු දහම පිළිබඳ දැනුම ඉංගී‍්‍රසි භාෂාවත් සමඟ හදාරලා තිබෙනවා නම්, ලෝකයේ ඉදිරියට ගමන් කළ හැකියි. එවිට ලෝකවාසී බෞද්ධ අබෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය ඉගැන්වීමේ හැකියාව ලැබෙනවා.

තරුණ භික්ෂූන් වහන්සේලා වශයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන කෙටි කාලය තුළ එම ශක්තිය ගොඩනඟා ගත යුතු යි. විශ්වවිද්‍යාල පරිසරය සිසුන් ඉල්ලීම් දිනාගැනීමට ශිෂ්‍ය අරගල කරන ස්ථානයක් වුණත්, තමාගේ අධ්‍යාපන කටයුතු සඳහා සිත යොමුකරමින් තමාගේ ධර්ම ඥානය වර්ධන කරගැනීමට මූලිකත්වය ලබාදිය යුතු යි.

ඔබ වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවය වගේම ජාතික, ආගමික, ශාසනික සේවය පිළිබඳව පැහැදිලි කරනවා නම්,

භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් ධර්ම අධ්‍යාපනය ලබාගෙන සම්බුද්ධ ශාසනය , රට ජාතිය වෙනුවෙන් බොහෝ වගකීම් සමුදායක් ඉටුකළ යුතු යි. මම අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ ප්‍රායෝගික බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ ධර්ම ඥානය වැඩිදියුණු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර දෙනවා. ඒ අනුව පාලි භාෂාව, බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය පිළිබඳ විෂයයන් සම්බන්ධව පර්යේෂණ ලිපි රාශියක් මේ වන විටත් පළකර තිබෙනවා. බුදුසරණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ හේමමාලා රන්දුනු මාධ්‍යවේදිනිය සමඟ සාකච්ඡා කර දළදා ඉතිහාසය පිළිබඳව පළ කළ ලිපිමාලාව ග්‍රන්ථයක් වශයෙන් මුද්‍රණය වී තිබෙනවා. එමගින් සාමාන්‍ය ජනතාවට ශ්‍රී දළදා මාලිගාව සම්බන්ධව සිදු කෙරෙන චාරිත්‍ර වාරිත්‍ර සමඟ දුර්ලභ තොරතුරු රාශියක් පිළිබඳව අවබෝධයක් ලබාදීමට අවස්ථාව සැලසුණා. දිනමිණ, සිළුමිණ ජාතික පුවත්පත්වලට අමතරව දළදා මාලිගාවෙන් නිකුත්කරන දළදා වරුණ සඟරාව උදෙසා ද බෞද්ධ සංකල්ප විස්තර කෙරෙන කරුණු ආශ්‍රය කරගෙන ලිපි සම්පාදනය කර තිබෙනවා.

දැනට මල්වතු මහා විහාරීය විංශද් වර්ගික කාරක මහා සංඝ සභාවේ ස්වාමීන් වහන්සේ නමක් වශයෙන්, මල්වතු මහා විහාරයට අයත් විවිධ ප්‍රදේශවල පවතින විහාරස්ථානයන්හි ආගමික කටයුතුවලට සම්බන්ධ වෙමින් යම් යම් කාර්යභාරයන් උදෙසා මල්වතු මහා විහාරය නියෝජනය කරමින් ඒ අවස්ථාවන් සඳහා සහභාගි වෙනවා. ඇතැම් අවස්ථාවලදී ජාතික ගැටලු සඳහා මැදිහත් වී අවශ්‍ය මඟ පෙන්වීම් වෙනුවෙන් කටයුතු කිරීමට සිදුවෙනවා. මල්වතු මහා විහාරයේ සිදුකරනු ලබන උපසම්පදා විනයකර්ම වැනි භාරදූර ශාසනික කාර්යභාරයන් සඳහා මූලිකත්වය ලබාදීමට කටයුතු කරනවා.