Print this Article


සිල් සුවඳ

නැති මුත් දහම ගැන මොනවට වැටහී ම
තෙරුවන් වඳී මල් පුදමින් හැම දාම
නිවනට මෙහා ඇති සුරලොව වෙත යාම
මොවුනගෙ පැතුම වෙයි ගෙන දෙන සැනසීම

රැස්කර ධනය දූ දරුවන් හටය කියා
විස්මිත අයුරු දන් පින් කර නම් ද ලියා
අදහම් මගෙහි යන අය බුදු මගෙහි නො යා
ලක්වෙයි පැසසුමට උතුමන් නොමැති නියා

සමහරු දනී පෙළ දමටත් වැඩිය යමක්
ඔවුනට වුවමනා මිහිපිට ඉහළ නමක්
නිවැරදි බුදුදහම හෙළදිව දැහැමි බිමක්
යතිවරු රකින සිල් සුවඳෙහි නොමැත නිමක්

****

නවම් පෝ දා

නවම් මහේ සුපුන් සඳක්
දිලේ නුඹ කුසේ
දහම් සෙනෙවි මහ සැරියුත්
ඉදුබෙලෙන් යුත් මහා මුගලන්
රහත් තෙරවරු වේළුවනයෙදී
අග සවු තනතුරෙන්
පිදුම් ලැබූවයි
බුදුපියාණන් වහන්සේගෙන්
චාපාල පබ්බත මූලයේ දී
ආයු සංස්කරණය කළෝ
නවම් පුන් පෝ දිනේ බුදු හිමි

****

මෙවර ජයග්‍රාහී කවිය

මිනිස්කම

මල් පහන් පිදූ මුත් උදය දහවල රැයද
මදිය පිළිවෙත් රකිනු ගුණ දහම් හද පැළඳ
කාසියෙන් ‘මිනිස්කම’ මිනිය නොහැකිය සබඳ
අගයන්න ‘මිනිස්කම’ මිනිස් කමකින් නිබඳ

පිරුණු තැන දිය නිසල බව නැතිද වැටහුණේ
පෙරළෙනා ගලෙහි කිසිදා පාසි නොබැඳුණේ
පල බරින් පිරුණු ගස අතු බිමට බර වුණේ
මා දකින මිනිස්කම මෙයයි ලොව මිනිසුනේ

****

ලෝකය දකිමු

අනිත දුක අනත යන තිලකුණ අනුව
පෙනෙති ඇතිවෙනා හැම දේ නැති බැවින
දනිති නැණවතා මේ බව හැඳිනගෙන
දිනති සසර බව දුක හැර නිවන්ගෙන

පහනකි මුනි සමිඳු හැමදා එළියදෙන
දහමෙහි හරය චතු අරිසත් දහම වන
නහමින් දහම් ගඟ බැස ගොස් එතරවන
සහනය ලබනු මැන හැම මෙය ඉගෙන දැන

****

යන්නට ආසයි

ආච්චි සමගින් වෙනදා පෝයට
පන්සල් යනවා මල් ගෙන දෝතට
පෝය කීපයක් ගොස් ඇත ඈතට
යන්නට ආසයි අටසිල් ගන්නට

පැන් කළ ගෙන බෝධිය නාවන්නට
බෝධිය යට හිඳ ගාථ කියන්නට
හැම දෙන එක්වී බවුන් වඩන්නට
බලා හිඳිමි එම දින දැක ගන්නට