Print this Article


තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැක ගත් නා හිමියන්ගේ කතාව - 38 කොටස: පදුමකිත්ති හිමි වැඩම කළ යාත්‍රාවට මෝටාර් ප්‍රහාර

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැක ගත් නා හිමියන්ගේ කතාව - 38 කොටස:

පදුමකිත්ති හිමි වැඩම කළ යාත්‍රාවට මෝටාර් ප්‍රහාර

ධම්මකිත්ති නා හිමියන් අපවත් වීමෙන් පසුව ආදාහන පූජෝත්සවය රාජානුග්‍රහයෙන් පැවැත්වූ අතර, පැවැති සාම කාලය නිසා එයට බාධා සිදු නොවුණි. එයින් පසුව සිරි ගුණාලංකාර පහන් පින්කම නමින් ගුණානුස්මරණ පින්කමක් නාගදීපයේ පවත්වන්නට යෙදුණු අතර එහිදී නාගදීපයේ විහාරාධිපති නමින් කොළඹින් වැඩම කළ හිමිනමකගේ නම පැවසීමෙන් පසුව නාගදීප විහාරය වෙනුවෙන් අනුශාසනාවක් කළ හිමියන් එය වැරැදි බව ප්‍රකාශ කරන ලදී.

එයින් පසුව වවුනියාවේ සිට පැමිණි භික්ෂූන් වහන්සේ දාඩිය දමමින් කඩිනමින් විහාරයට වැඩම කරනු පදුමකිත්ති හිමියන්ට පෙනුණි.

‘‘මොකද වුණේ ‘‘

‘‘හරි වැඩක්නෙ උන්නාන්සෙ වුණේ, කොළඹින් ආපු හාමුදුරුවරු මට බැන්නනෙ‘‘

‘‘ඒ මොකද‘‘

‘‘මේ සේරම ආපු මිනිස්සු හිතාගෙන ඉන්නෙ කොළඹින් ආපු හාමුදුරුවො නාගදීප විහාරාධිපති කියලලු. එහෙම එකේ ඒ ගැන වෙන කතාවක් කියල ගිනි තියන්නද හදන්නෙ කියල මගෙන් ඇහුව‘‘

පදුමකිත්ති හිමියන්ට ඒ කතාවෙන්ම පින්කමේ අරමුණ වඩාත් පැහැදිලි විය.

පින්කම අවසන් ව කොළඹින් වැඩම කළ හාමුදුරුවන් හා පින්කමට මුදල් වැය කළ ව්‍යාපාරිකයාත් පැමිණියහ.

තමන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ස්වාමීන් වහන්සේ නමක් නිසා ගරු සරු ඇතිව කතා කළ පදුමකිත්ති හිමියන් පැවසුවේ නාගදීපයේ නායක හාමුදුරුවන් වැඩ වාසය කරද්දී භික්ෂූන් වහන්සේ සිවුනමක් අත්සන් කළ ලිපිය ගැන ය.

‘‘මේ පන්සලට විහාරාධිපතිවරු දෙන්නෙක් නෑනෙ හාමුදුරුවනේ, අපි යුද්දෙ කාලෙ වට්ටක්කා කාල මේ පින්බිම රැක ගත්තෙ, ඒ, අපි අපවත් වෙනකොට මේ නාගදීපෙ අරගෙන යන්න නෙමෙයි, අපේ නායක හාමුදුරුවො අපවත් වුණා. නාගදීපෙ උන්නාන්සෙ ගෙනිච්චෙ නෑනෙ. ඒත් මේ පින්බිම අපි බෞද්ධ උරුමයක් හැටියට රැකල දෙන්න ඕන. අන්න ඒක නිසයි අපි මරණයත් එක්ක ජීවත් වෙවී මේ පින් බිම රැක ගත්තෙ.

ඒ අතරෙ උන්නාන්සෙලයි මමයි අපි අත්සන් කරපු ලිපිය මතක ඇතිනෙ‘‘ පදුමකිත්ති හිමියෝ දිගටම කියාගෙන ගියහ. ඒ සමඟම විහාරස්ථානය ඇතුළු නාගදීපයේ ම විදුලිය විසන්ධි විය.

එය පදුමකිත්ති හිමියන් විසින් සිදු කරන්නට ඇතැයි යන සැකය කොළඹ සිට පැමිණි පිරිස අතර මතු වන්නට වූ බව උන් වහන්සේට පෙනුණි.

එම නිසා හැකි ඉක්මනින් ඒ ගැන සොයා බලා විදුලිය කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන්නට පදුමකිත්ති හිමියෝ කටයුතු කළහ.

එදින රාත්‍රිය පදුමකිත්ති හිමියන්ගේ කාමරයේ ගත කිරීමට කොළඹින් වැඩම කර සිටි නා හිමියන් කටයුතු කළ අතර, යහන සැකසීමේ දී කොට්ටය අසල තිබූ පිස්තෝලයක් දුටු කොළඹ නා හිමියෝ බිය වූහ.

‘‘උන්නාන්සෙ පිස්තෝලෙකුත් පාවිච්චි කරනවද?‘‘


පදුමකිත්ති හිමියන් බෝට්ටුවක තනිවම වැඩම කළ අවස්ථාවක්

‘‘ඔව් ඉස්සර නම් ඕන වුණේ නැහැ. ඒ වුණත් දැන් සමහර කොටි පන්සල ඇතුළටම ඇවිත්නෙ‘‘

එදින පදුමකිත්ති හිමියන් ළග තිබුණේ සෙල්ලම් පිස්තෝලයකි. ත්‍රස්තවාදියා විශ්වාස කළ නොහැකි නිසා උපායශීලී ලෙසින් හෝ ආරක්ෂාව උදෙසා උන් වහන්සේ එය කාමරයේ තබා ගන්නා ලද්දකි.

කෙසේ නමුත් පදුමකිත්ති හිමියන්ට එම පින්කමෙන් පසු දැඩි කළකිරීමක් ඇතිවුණි. සාම කතා බහ අතර තුර ද කොටි සංවිධානය විසින් ත්‍රස්ත ක්‍රියාවන්ට අවශ්‍ය පසුබිම සකස් කර ගන්නා ලදී. ඒ සියල්ලම දෙස බලා සිටි පදුමකිත්ති හිමියන් වැඩිපුරම දුක්වූයේ වසර 25ක් පමණ වෙඩි හඬ මැද රැකගත් නාගදීපයයේ හිමිකාරීත්වය ලබා ගන්නට කොළඹ ඇතැම් හිමිවරුන් විසින් දරන උත්සාහය නිසා ය.

අවම වශයෙන් සබන් කෑල්ලක් හෝ සිවුරක් පිරිකරක් එවන්නට කටයුතු නොකළ මේ පිරිස් තම වාසිය තකා කරනු ලබන මේ ක්‍රියාවන් ගැන පදුමකිත්ති හිමියෝ දැඩි සේ දුක් වූහ.

එක්වරම නැඟෙනහිර පළාතේ මාවිල් ආරු සොරොව්ව වසා දමා කොටි ත්‍රස්තවාදීන් විසින් යළිත් වරක් යුද ක්‍රියාමාර්ගවලට එළැඹුණි. එය දිගින් දිගටම ඇදී ගියේ ය. උතුරු පළාතේ යළිත් බෝම්බ බිය ඇති විය.

පදුමකිත්ති හිමියන් විහාරස්ථානයේ තනි විය. මීට පෙර කොටි ත්‍රස්තයන් සටන් කළ කාලයේ දී ධම්මකිත්ති නා හිමියන් සිටි නමුත් මෙවර පදුමකිත්ති හිමියන් විහාරස්ථානයේ තනිව වාසය කළ අතර එම නිසා උන් වහන්සේ දැඩි කම්පාවට ද පත් වූහ. නාගදීපයේ හිමිකාරීත්වය ගැන කතා කරන්නට ආ භික්ෂූන් වහන්සේ කිසිවකු ගැන ආරංචියක් වත් නැතිව ගියේ ය.

කෙසේ වෙතත් පදුමකිත්ති හිමියන් විහාරාධිපති ධුරයට පත්වීම සම්බන්ධව ඇතැම් දෙමළ ජනතාව එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. ඒ පදුමකිත්ති හිමියන්ගේ හැටි හොඳීන් දන්නා නිසා ය. කෙසේ වෙතත් කිසිවකු සමඟ කිසිදු ආකාරයක ගැටලුවක් ඇති කර නොගන්නට පදුමකිත්ති හිමියන් වගබලා ගන්නා ලදී.

කරෙයිනගර් ඇතුළු ප්‍රදේශ කරා පදුමකිත්ති හිමියන්ට ගමන් කරන්නට සිදු වූයේ හමුදා කඳවුරුවල ආගමික කටයුතුවලට ය. වෙනදා නා හිමියන් සමඟ යන පදුමකිත්ති හිමියන් මෙවර ගමන් කෙළේ තනිවම ය.

පාංශුකූලය ලබා දෙන්නට කඳවුරු වෙත වඩිනා පදුමකිත්ති හිමියන් ගමන්ගත් යාත්‍රාවලට වෙඩි තැබුවේ වරක් දෙවරක් නොවේ. එක් වෙඩිල්ලක් වැදී නාවික යාත්‍රාවට ගමන් කළ නොහැකි තත්ත්වයක දෝෂයකට පත් විය. ඒ අවස්ථාවේ කරෙයිනගර් කඳවුරෙන් හා කන්කසන්තුරේ කඳවුරෙන් උපකාරක යාත්‍රා පැමිණෙන තුරු ත්‍රස්ත ප්‍රහාරයන්ට මැදිව සිටින්නට පදුමකිත්ති හිමියන් ගමන්ගත් යාත්‍රාවට සිදු විය.

යාත්‍රාව නිසි ලෙසින් හසුරුවා ගන්නට නොහැකි වූ නිසා ප්‍රහාර එල්ල කිරීම ද පහසු විය. එහෙත් එහිදී ද දිවි රැක ගැන්මට පදුමකිත්ති හිමියන් සමත් විය.

තවත් අවස්ථාවක පදුමකිත්ති හිමියන් වැඩම කළ හමුදාවේ නාවික යාත්‍රාවට මෝටාර් වෙඩි පවා එල්ල කළේ නාගදීපයේ සිටින එකම සිංහලයා වන පදුමකිත්ති හිමියන් පළවා හැරීම පිණිස ය. කොටි ත්‍රස්තවාදීන්ට එය පහසුවෙන් කළ නොහැකි වූයේ දූපතේ ජනතාවගේ සහාය ඔවුන්ට නොලැබීම නිසා ය. ධම්මකිත්ති නා හිමියන් මෙන්ම පදුමකිත්ති හිමියන්ද දූපතේ ජනතාව ගැන සොයා බලා කටයුතු කිරීම නිසා උන් වහන්සේගේ විහාරාධිපති ධුරය ගැන නොසතුටු වූ අයද උන් වහන්සේ කෙරෙහි ආදරයක් ගෞරවයක් දැක්වූහ.

කොටි ත්‍රස්තවාදීන් වරෙක ධීවර යාත්‍රාවකට මුවා වී බෝම්බ පුරවාගෙන පැමිණි නමුත් නාවික හමුදා අවධානය නිසා එම පහර දීමේ ප්‍රයත්නය වැළකී ගියේ ය. යම් අයුරකින් එම යාත්‍රාව ආසන්නයට හෝ පැමිණීමට හැකි වූයේ නම් අද අපට කතා කරන්නට පදුමකිත්ති හිමියන් හෝ නාගදීපයක් ඉතිරි නොවන්න ද තිබුණි.

එහෙත් පදුමකිත්ති හිමියන් හමුදා කඳවුරු වෙත ගොස් ආගමික වැඩ කටයුතු කිරීම අත් නොහළහ.

නැඟෙනහිර ජනතාව මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුම් නිසා කුපිත වූ ත්‍රස්තවාදීහු දිගින් දිගටම උතුරු ප්‍රදේශයේ ක්‍රියාකාරකම් වැඩි කළහ. යුද හමුදාව දිගින් දිගටම කොටි සංවිධානයේ කඳවුරු සොයා ආක්‍රමණය කළහ. ඒ වන විටත් ප්‍රහාරක ශක්තිය අතින් සන්නද්ධව ගුවන් හමුදාව විසින් කෆිර් යානාවලින් එල්ල කළ ප්‍රහාර හමුවේ ත්‍රස්තවාදීන්ගේ බලය බිඳී යන්නට වූ අතර ඔවුහු මුහුදු බලය වඩාත් උපරිම ලෙසින් යොදා ගත්හ.