Print this Article


සම්බුද්ධ ශාසනය රැක ගන්න මහා සංඝයා වහන්සේ පෙරමුණ ගත යුතුයි

සම්බුද්ධ ශාසනය රැක ගන්න මහා සංඝයා වහන්සේ පෙරමුණ ගත යුතුයි

දවසින් දවස අපිට අහන්න දකින්න ලැබෙන්නේ විවිධ කම්පනයන් ඇති කරවන සිදුවීම් ය. නිතර බණ ඇහෙන, බණ කියන රටක මිනිසුන් තුළ ඇති ගුණ ධර්ම පිරිහුණේ කෙලෙසද ? කොතැනක හෝ අපට වැරදී ඇත. බෞද්ධයන් ලෙස, සම්බුදු දහමට අනුව මේ තත්වයෙන් ගොඩ ඒමට අපට ඇති හොඳම ක්‍රමවේදය කුමක් ද ? ඒ පිළිබඳ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල් කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනු නා හිමියන් සමග කළ සාකච්ඡාවකි.

ස්වාමීන් වහන්ස, අපේ මුතුන් මිත්තෝ ගුණ ධර්ම හඳුනාගත් පිරිසක් . අතීතයට සාපේක්ෂව දැන් සමාජයේ ගුණ ධර්ම පිරිහී ඇති බවට සමාජයෙන් ම චෝදනා නැඟෙනවා. මෙලෙස සිදු වූයේ කාගේ වරදින්ද?

" ලක්ෂ ගණන් මුදල් අරගෙන රහත් කරන්නම්, සෝවාන් ඵලයට පත්කරන්නම් කියා ව්‍යාපාර කරන පිරිස ශාසනයෙන් ඉවත් කළ යුතුයි . ඒ සඳහා නීතියක් සම්පාදනය විය යුතුමයි . මේ රට බොහෝ ව්‍යසන වලින් මුදා ගත්තේ මහා සඟරුවන . එදා මහා සංඝයා හිටියේ රටේ පාලකයෝ වැරදි මගක යනවා නම්, ඔවුන් ව නිවැරදි මඟට ගෙන අවවාද අනුශාසනා කරන්න මිසක ඔවුන්ගෙන් යැපෙන්න නෙමෙයි."

ප්‍රධානම දේ මේ හැමදේටම මුදල කියන කාරණය මූලික වීමයි . මිනිසුන් මුදල් පසුපස ම හඹායාමයි . අද තමන්ගේ අම්මා, තාත්තා, අඹු දරුවන් විකුණලා හරි බලාපොරොත්තු වෙන්නේ මුදල් . මීට ප්‍රධානම දේ විවෘත ආර්ථිකය කියලයි මම හිතන්නේ . අතේ මුදල් නැති නිසා මුදල් හොයන්න මිනිසුන් මොනවද නොකරන්නේ. පගාව , අල්ලස , දූෂණය , මත් ද්‍රව්‍ය වෙළෙදාම වගේ අපචාර වලට මිනිසුන් පෙළඹිලා .

සමහර අය මේ මුදල් හොයන්න පිටරටවලට යනවා . පුරුෂයා නැතිනම් කාන්තාව . ඒ ගිහින් එනකොට තමන්ගේ පවුල් විනාශයි . දරුවන් අනාචාරයේ ගිහින් . අම්මෙක් අප්පෙක් නැහැ මේවා හොයන්න . ඔන්න විනාශය පටන් ගන්නවා . මේ හැමදේටම මුල ආර්ථිකය . මුදල . ඉතින් අපි මොනතරම් බණ කීවත්, දරුවන් දහම් පාසල් යැව්වත්, පන්සල් ආව ගියත් වැඩක් තියෙනවද ? මිනිස්සු දුවන්නෙම මුදල් පස්සෙ . ආශාවන් පස්සේ . මේ විවෘත ආර්ථිකය ක්‍රමය තමයි මේ හැමදේම විනාශ වෙන්න බලපෑවේ .

තාක්ෂණික දියුණුව රටක සංවර්ධනයට ප්‍රබල සාධකයක්. ඒත් බොහෝ දෙනා තාක්ෂණය භාවිත කරන්නේ වැරැදි ආකාරයෙන් නේද අපේ හාමුදුරුවනේ,

ඒක තමයි ඊළග විනාශය . ලෝකය දියුණු වෙන්න ඕන . අලුත් දේවල් හැදෙන්න ඕන . මිනිසුන්ට පහසුකම් ඇති වෙන්න ඕන . ඒකේ කිසිම වෙනසක් නැහැ . හැබැයි අප මේ හැමදේම භාවිත කරන්නේ වැරදි විදිහට නම්, අන්න එතැන ගැටලුවක් තියෙනවා . දැන් බලන්න ජංගම දුරකතන භාවිතය. මොන නාඩගම්ද නටන්නේ . හැමෝම ෆේස්බුක් යනවා .තමන්ගේ පුද්ගලිකත්වය එහෙම පිටින්ම ඒකට දානවා .

බලන්න මේ පහු ගියදා අහන්න වුණ සිදුවීම . අහිංසක ගෑනූ දරුවෙක් ගේ ජිවිතය එහෙම පිටින්ම ඉවරයි . දරු පවුලක් අනාථයි . උන්දැගේ ජිවිතෙත් විනාශයි . මොකක්ද හේතුව මේ ෆේස්බුක් දැන හැදුනුම්කම . මුදල් පස්සෙ යනවා . ආසාවන් පස්සේ යනවා . මේ අප දන්න සිදුවීම් විතරයි . මේ වගේ අප නොදන්න සිදුවීම් කොච්චර ඇති ද ?

ගැහැනු දරුවන් මේ ගැන හිතන්න ඕන . තමන්ගේ අනාගතය ම ඉවරයි නේද කියලා. අද බලන්න වෙන දේවල්, රැකියා දෙනවා කියලා , කොයිතරම් රැවටීම් කරලා තමන්ගේ ඕනෑ එපාකම් පිරිමහා ගන්නවද ? අපි බණ දේශනා කරනවා . ඒවා මේ කනෙන් අහලා එහා කනෙන් පිට කරනවා නම් වැඩක් තියෙනවද ? කොහොමද මේ මිනිස්සු හදන්නේ . ආයේම මම කියන්නේ විවෘත ආර්ථික ක්‍රමය අප විනාශ කරලා දැම්මා .

මේ විදිහට සාරධර්ම විනාශ කරගෙන යන ගමනක් නම් අපට තියෙන්නේ අපේ අනාගත පරම්පරාවටත් එයින් වන්දිගෙවන්න වෙනවා නේද අපේ හාමුදුරුවනේ ?

අපේ වහරේ කියමනක් තියෙනවා දණ්ඩ මේරු විට නමන්න අමාරුයි. ළපටි කාලේ අපිට ඕන පැත්තට නමා ගන්න පුළුවන් කියලා . ඒ වගේ තමයි මේ කුඩා දරුවන්ට පුංචි කාලේ ඉඳලම හොඳ නරක කියලා දෙන්න ඕන . පින් පව් කියලා දෙන්න ඕන . ආදිනව කියලා දෙන්න ඕන . දරුවගෙ හිතට ආගම දහම කා වද්දන්න ඕන . මේ වගකීම මව්පියන්ට වගේම ගුරුවරයාටත් ගමේ පන්සලේ හාමුදුරුවන්ටත් පැවරෙන්න ඕන . දරුවන්ට අයාලේ යන්න නොදී නිසි මඟට ගන්න ඕන . ඒක කරන්න ඕන කුඩා කාලේදීම යි . මෝරපු හැටියේ මේක කරන්න අමාරුයි .

දරුවන්ට අද ඔන්ලයින් යන්න වෙලා . ඒ මේ කාලේ හැටිනේ . ඒත් අපි සෙවිල්ලෙන් ඉන්න ඕන, දරුවන් මොනවද බලන්නේ කියන්නේ කියලා. අද අම්මලා දරු නැළවිලි ගී දන්නේ නැහැ. කවි කතන්දර දන්නේ නැහැ. ඒකට පහසුම දේ දරුවගේ අතට ජංගම දුරකතනය දෙන එක . මෙන්න මේවා තමයි විපාක . අද රූපවාහිනී නාලිකාවල යන කාටූන් බලන්න . කපාකොටා ගන්නවා . ගහමරාගන්නව. මේවා බලන දරුවන්ගේ මානසිකත්වය තේරුම් ගන්න . දරුවන් යන්ත්‍ර කරලා, දරුවන්ට වඩා අම්මලාට තරගය. ඉතින් කොහෙද දරුවට ළමා කාලයක් .

ගෙදර පරිසරය යහපත් නම් දරුවන් යහපත් . අම්මගේ කුසේ ඉඳලම දරුවන් හදන්න ඕන . ඒකයි අම්මලාට ඒ කාලේ පිරිත් අහන්න බණ අහන්න කියන්නේ . ඉතින් දරුවන් හදන්න නම් මව්පියන් හැදෙන්න ඕන .

අපේ ස්වාමීන් වහන්ස, බෞද්ධයන් ලෙස පෙනී සිටින ඇතැම් අයගේ වැරැදි ක්‍රියා කලාප පිළිබඳ තැනින් තැන අසන්නට ලැබෙනවා නේද? මේ අයට දඬුවම් ලබාදීමේ ක්‍රමවේදයක් තිබෙනවා ද?

බොහොම හොඳයි ඒ ප්‍රශ්නය. අද සිවුරු පොරවගෙන ඉන්න සමහර පිරිස් පිළිබඳ සැක සංකා තියෙනවා . මේ අය පැවිදි කළේ කවුද ? කවුද ගුරු හාමුදුරුවෝ, මොන නිකායෙ ද? බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිද ? මේවා කිසිවක් දන්නේ නැති පිරිස් ඉන්නවා . මේ මෑතකදි මම දැක්කා මල්වතු පාර්ශවයේ කියලා නම විකුණලා ජවාරම් කරන උදවිය . සමහර උදවිය කියනවා බුදුන් වහන්සේ උපන්නේ ලංකාවේ. බුදු වුණේ මෙතන, පිරිනිවන් පෑවේ මෙතන. මෙවැනි කතා . ගිහියෝ විතරක් නෙමෙයි අපේ මහා සංඝයා පවා රැවටිලා මේ පසුපස යනවා . මෙන්න මේවා නතර කරන්න අපිට නීතීයක් නැහැ . මගේ යෝජනාව හැම නිකායක්ම එකට එකතුවෙලා නීති පද්දතියක් හදන්න ඕන .එහෙම අය හොයලා මේ ශාසනයෙන් බැහැර කරන්න ඕන . සමහර අය හැසිරෙන්නේ, ඉස්සර හිටියා ගණින්නාන්සේලා කියලා පිරිසක් . අන්න ඒ අය හැටියට . පවුල් පන්සල් වෙලා නාටක නැටූ උදවිය එදත් හිටියා . මේකට එකම විසඳුම බුද්ධිමත් මහා සංඝයා එකතු වෙලා නීතී පද්ධතියක් හදලා පාර්ලිමේන්තුවට පනතක් හදලා දාලා අනුමැතියක් අරගෙන මේ ශාසනය ආරක්ෂා කරගන්න එක. මේ වෙන හානිය අපි නැවැත්විය යුතුම යි .

ස්වාමීන් වහන්ස, සමහරු සෝවාන් වූ බව කියනවා. සමහරු රහත් වූ බව පවසනවා. මේ කතාවලට මුළාවන පිරිසකුත් සිටිනවා. මේ තත්ත්වය හානිදායකයි නේද?

බුදුන් වහන්සේ පිරිනිවන්පා තෙමසක් යන්න කලින් එක් භික්ෂුවක් ප්‍රකාශ කළා මහා මහණ අපවත් වුණා . දැන් අපට ඕන දේ අපි කරමු . කාගෙන් අපට නීතීයක් ද කියා . සුභද්‍රගේ අභද්‍ර වචන තමයි මේ . මහාකාශ්‍යප මහරහතන් වහන්සේ මැදිහත් වෙලා ධර්ම සංඝායනාවක් පවත්වලා ශාසනය ආරක්ෂා කළා . සමහරු රහත් වෙලා සෝවාන් වෙලා කියලා මිනිසුන් මුලා කරලා නිරයට යන දේ කියනවා අපට පේනවා . ඒ අතරේ සිල්වත් ස්වාමින් වහන්සේලා මේ සමාජයට රටට ශාසනයට නිහඬව විශාල සේවයක් කරමින් ඉන්නවා . ඒ නිසා ලක්ෂ ගණන් මුදල් අරගෙන රහත් කරන්නම්, සෝවාන් ඵලයට පත්කරන්නම් කියා ව්‍යාපාර කරන පිරිස ශාසනයෙන් ඉවත් කළ යුතුයි . ඒ සඳහා නීතියක් සම්පාදනය විය යුතුමයි . මේ රට බොහෝ ව්‍යසන වලින් මුදා ගත්තේ මහා සඟරුවන . එදා මහා සංඝයා හිටියේ රටේ පාලකයෝ වැරදි මගක යනවා නම්, ඔවුන් ව නිවැරදි මඟට ගෙන අවවාද අනුශාසනා කරන්න මිසක ඔවුන්ගෙන් යැපෙන්න නෙමෙයි .

අප තේරුම් ගත යුතුයි එකිනෙකාගේ වගකීම . එය හරි හැටි ඉටුකරමින් යහපත් සමාජයක්, දැහැමි සමාජයක් බිහිකරන්න පාලක පන්තියට වගේම ගිහි පැවිදි හැම පාර්ශවයකටම විශාල වගකීමක් තියෙනවා. එය පටන් ගන්න ඕන අම්මා තාත්තගෙන් , නිවෙසින් , පාසලෙන් , ගමේ පන්සලෙන් . මුදල මත පමණක් , ආසාවන් මත පමණක් හඹා යෑමෙන් වෙන්නේ විනාශයක් විතරමයි .