[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

ආර්ය ධනය

තිසරණ පිළිබඳව නිවැරදි පැහැදීම
සරසන දිවිය ශ්‍රද්ධාවයි දත යුතුම
විසිරෙන ශ්‍රද්ධාව නැත් නම් දිවියේම
ආර්ය ධනයකි ය සසරේ එන පුදුම

තනි දරුවකු රකින මව සේ සිල් රැකුම
දුගතියකට නොයයි සසරේ එය නියම
කය, වචනය දෙකේ සංවර බව රැඳුම
සීලය වෙයි අරිය ධනයකි තව හොඳම

අකුසල කර්මයට ලජ්ජා ඇතිවීම
බිය මත පාපයට ලොල් දේ නොකිරීම
ලෝකය පාලනය කරවන එම දහම
ආර්ය ධනයක් ය දිවි මග, සසර ඉම

යහ දේ ශ්‍රවණයෙන් සිත සුවපත් කෙරුම
සුවපත් වූ සිතෙන් දානය ගෙන පිදුම
පරලොව උපභෝග, පරිභෝග ද ලැබුම
ආර්ය ධන නොවෙද සසරේ සෙත මැවුම

දිවිමග අනිත බව සිහියේ රැඳවීම
සිව්සස් සත්‍ය මනසින් දැන විමසීම
ප්‍රඥා නුවණ ලැබ නිවනට ළං වීම
ආර්ය ධනය වෙයි ඉහළම සහ හොඳම

****

මෙවර ජයග්‍රාහී කවිය

කිසා ගෝතමිය

බුදුන් දවස බරණැස්පුර වෙසෙන් නා
කිසා ගෝතමිය ගැන කවුරුත් දන් නා
විවාවෙලා ටික කලකුත් ගත වෙන් නා
සුරතල් පුතකු ලැබුණා සතුටින් පිරු ණා

සතුට ළඟම දුක ඇතිබව පවසන් නේ
එවැනි දෙයක් අහෝ ඇය ට ද පලදුන් නේ
දිනයක අඳුරු පුතුගේ නෙත් පියවෙන් නේ
දරදඬු වෙලා අත පය නෑ සෙලවෙන් නේ

වෙදකු සොයා දරුවා කර තියාගෙ න
සැතපුම් දහස් ගණනක් දුර ගෙවාගෙ න
යන ගෝතමිය දෙස කවුරුත් බලාගෙ න
කොහොමද ඇත්ත පවසන්නේ කතා වෙ න

කවුරුත් කිව් පරිදි බුදුහිමි වෙත යන වා
අඬමින් වැළපෙමින් ඇගෙ දුක පවසන වා
නොමළ ගෙයින් අබ ඩිංගක් ගෙන එන වා
සිටිය ලෙසට ඔබෙ පුතු බේරා දෙන වා

බුදු හාමුදුරුවෝ බොරු නොකියන බව දන් නා
ඒ කියමනෙන් තරමක් සිත සැනසෙන් නා
ගව් ගණන් ඇවිද බෙහෙවින් වෙහෙසෙන් නා
නොමැරෙන කෙනෙක් නම් නැති බව වැටහෙන් නා

ඉපදුණ සැවොම මැරෙනා බව දැනගන් නේ
ඒ ගැන සිතා සිත දමනය කර ගන් නේ
පුතුගේ මළ සිරුර සොහොනට දා යන් නේ
බුදුහිමි සොයා ගොස් නිවනට යොමු වන් නේ

****

එකම සරණ

දුබලව සිරුර ටික ටික රෝ බිය එන්නේ
වස්තුව විලස සිටි දරු කැළ වෙන් වන්නේ
සිත්සුව පිණිස අප දහමට ළං වෙන්නේ
නිවන පමණි දිවියට සරණක් වන්නේ

****

නවම් පෝය දින බුදුහිමි දෙසූ වගයි පාමොක්

ඉවසීම සැපතකි
උතුම් නිවන ද සැපතකි
අනුන් දිවි නොපෙළති
බුදුහිමි වදාරති
මහණ තෙම විය යුතුය ඒ වෙති.

සිත කය වචනයෙන්
කෙරෙන පව් නොකරන
ලෞකික අලෞකික
පින් කුසල් සිත් වඩවන

නිවන වරණය කරන
නීවරණ දම් මඩින
සිත පිරිසිදු කරන
දහම නිති හුරු කරවන

මෙරමා සිත රිදෙන
වචනයෙන් උපවාද නොකරන
පාමොක් සිල් රකින
අරණ සිත සුව අලවන

සමථ විදසුන් වඩන
සියලු බුදුවරු දෙසන
දේශනා අනුශාසන
වේය බුදුවරුනගේ නියමය

****

අතරමංවී

ඉපදෙන මැරෙන
යළි ඉපදී මැරෙන
නිම් නැති ගමනකි
විඳීන
සොයන්නට වස්තුව
සැප පිරුණු
සෙවූ දෑ පසෙකලා
තව මදිව
තව සොයන
සැපම බව සිතන
බර පොදි රැසකි
නෙත ගැටෙන
උහුලනු බැරිව
ඉකි බිඳීයි ගිනියම් ව

සොම්නස් ව
දෑස් හැර
කවුළු පියන්පත් තුළ
සැනසුම බොඳව ගිය

අවදිව දුක් සුසුම් පොදි
හෙමිහිට ගලන
නපුරු සිතිවිලි ගඟක
අතරමං වී තවම...

****

අදරැති පියාණෙනි

තම සුවපහසුව නැත කවදත් සිතුවේ
හැමවිටම දරුවන් ගැනමයි සෙව්වේ
ඔවදන් කියා දී යහමගටයි යැව්වේ
දා බිදු හෙලා අපට සැප සම්පත් සෙව්වේ

අපමණ සෙනහසින් මා රැක ගත්තාට
නොඅඩුව ලබා දුනි සිප්සතර අපට
රෑ දවල් නොනිදා කළ මෙහෙවරට
තුති පුදනවා හද බැතියෙන් ඔබ නමට

ගුණ අපමණ ය එය නම් කළ නොහැකි නිමා
වඳීනෙමි පියාණෙනි පායුග සිරස නමා
සිත රිදුණා නම් දෙනු මැනවි සමා
නිවන් ලබන තුරු ඔබ මගෙ පියතුම වේවා!

****

පුර පෝ දා...

පුර පෝ දිනයේ - රන් සඳ එළියේ
උඩ මලුවේ බුදුරුව - මැවිලා
සාධු හඬින් පින්බිම - ඉපිළී යයි
දෙව් රජවරු මලුවට - බැහැලා

බෝ රජු නැළවෙයි - සිලි සිලි නදදෙයි
රන්බෝපත් මලුවෙහි - පිරිලා
සාධු සාධු දුටුවිට හරි පුදුමයි
කහ සිවුරින් මලුවම - වැහිලා

ගඳඹ ලොවින්දෝ - තම්මැට හොරණෑ
බෙර දවුල් හඬ - නැංවෙනවා
සේසත් මුතුකුඩ අවිඅතු මුරඅතු
බෝ මැඩ තෙක් මඟ - සැරසෙනවා

රන්රැස් විහිදෙන විදුරසුනක්මැයි
ලොව්තුරු බුදුරුව - වැඩ සිටිනා
යළිදු සසුන් කෙත අස්සද්දන්නට
මහිමි සඳුන් වැඩි බව - හැඟුණා

****

පවින් වැළකෙමු

ලෝවැසි දනට අවබෝධය දෙනු පිණිස
යා යුතු මඟ මෙයයි එය පෙන්වා දෙමින
හරි බුදු මඟයි මේ බව පවසාලමින
හිමිවරු වෙහෙස වනවා මඟ පෙන්වමින

සම් බුදු සසුන සැමදා අපි රැක ගනිමු
නිර්මල බුදු සසුන දිවි හිමියෙන් රකිමු
අදමිටු පවින් වැළකී පින් රැස් කරමු
ධර්ම දීපයක් ලක් දිව බිහි කරමු

  නවම් අව අටවක 

මාර්තු 05 සිකුරාදා අපරභාග 19.54 අව අටවක ලබා 06 සෙනසුරාදා අපරභාග 18.10 ගෙවේ.
සෙනසුරාදා සිල්
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

Full Moonපසළොස්වක

මාර්තු 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]