[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පරණ හණමිටි බිමින් තබන්න

පරණ හණමිටි බිමින් තබන්න

මේ ලොව ඇති වැරැදිවලින් ඉහළම වරද (පරම වජ්ජ) මිථ්‍යා දෘෂ්ටිය යි. දුක් වේදනා ඇති කරන, සසර ගමනට මූලික ම සාධකය මිථ්‍යා දෘෂ්ඨිය යි. එවැනි පුද්ගලයා ගමන් කරන්නේ වැරැදි පැත්තට යි. ප්‍රතිඵලය බරපතළ අකුසල විපාක විඳින්නට සිදුවීමයි.

කරවිල බීජයකින් ලබාදෙන වැලෙහි හටගන්නේ තිත්ත කරවිල ම ය. මිථ්‍යා දෘෂ්ටියත් එබඳු ය. “හණමිටිය කරටගත් මිනිසා වගේ” යැයි ජනවහරේ කියමනක් ඇත.

යහළුවන් දෙදෙනෙක් දිනක් ධනය සොයමින් ගමනක් ගියහ. මුලින්ම ගියේ හණ ඇති ගමකට ය. එහි ඕනෑ තරම් හණ තිබිණි. හණ මිටි දෙකක් බැඳගෙන ආපසු එන අතරේ තවත් ගමකට පිවිසුණි. එහි බොහෝ හණ නූල් විය.

“මේ හණ මිටි කුමට ද? මේ ඕනෑතරම් හණ නූල් තිබෙද්දී. ගෙදර ගියත් හණවලින් නූල් හදන්නට වෙනවානේ, ඒ නිසා මේ හණ මිටි මෙහි දමා නූල් රැගෙන යමු” යනුවෙන් එක් යහළුවෙක් කීවේ ය. අනෙක් යහළුවා ඊට අකමැති විය. ඔහු හණ මිටියම කර තබාගෙන ආවේ ය. දෙදෙනා තවත් ගමකට පිවිසියහ. එහි හණ නූලෙන් වියන ලද රෙදි තිබුණි.

“නූල් ගෙන ගියත්, කරන්නේ රෙදි වියන එකයි. ඒ නිසා මේ රෙදි මිටිය ගන්නවා” යැයි නූල් මිටිය කරතබාගෙන ආ යහළුවා කීවේ ය. අනෙක් යහළුවා හණ මිටියම කර තබාගෙන ගියේ ය. ඔවුහු තවත් ගමකට පැමිණියහ. එහි බොහෝ යකඩ තිබිණි. රෙදි මිටිය විකුණූ යහළුවා යකඩ මිලයට ගත්තේ ය.

තවත් ගමකට පැමිණි ඔවුන්ට පිත්තල ඇති බව දකින්නට ලැබිණි. අර යහළුවා යකඩ විකුණා පිත්තල මිලදී ගත්තේ ය. ඔවුහු තවත් ගමකට පැමිණියහ. එහි රත්තරන් තිබිණි. ඔහු පිත්තල විකුණා රත්‍රන් මිලදී ගත්තේ ය.

යහළුවෝ දෙදෙනා ගමට පැමිණියහ. එහෙත් එක් යහළුවෙක් තවමත් හණ මිටිය කර තබා ගෙන ය. රත්‍රන් දුටු අනෙක් යහළුවාගේ ගෙදර අය බොහෝ සතුටු වූහ. හණ මිටිය දුටු ගෙදර අය බොහෝ දුකට පත්වූහ.

එලොවටත්, මෙලොවටත් ප්‍රයෝජනයක් නැති පරණ හණමිටි කර තබා ගත් අය බොහෝ වෙති. ඒ අය තමන්ගේ වැරැදි දැක්ම, තමන්ගේ අඩුපාඩුව, තේරුම් ගන්නේ නැත. වැදගත් අය දෙන උපදෙස් පිළිගැනීමට සූදානම් ද නැත. තමන් තුළ ඇති වැරැදි අදහස් අත්හරින්නේ ද නැත. එහි ප්‍රතිඵලය වශයෙන් ඔහුට ලැබෙන දුක, වේදනාව, මානසික තැවුල නො පෙනේ.

ඕනෑම පුද්ගලයකුට ජීවිතය පවත්වාගෙන යාම සඳහා ආහාරපාන . ඇඳුම්පැළඳුම්, ගේ දොර. බෙහෙත්හේත් අත්‍යවශ්‍ය ය. ඒ සමඟම තමා තුළ ගුණධර්ම පෝෂණය අත්‍යවශ්‍ය ම කරුණකි. ගුණධර්ම අමතක කර කටයුතු කරන්නේ නම්, ඔහු සරු දෙය අමතක කර කටයුතු කරන්නෙකි. මුදල් පසුපසම යන, හොඳ නරක, පින් පව් ගැන සැලකිල්ලක් නැති පුද්ගලයා ගමන් කරන්නේ ආගාධයට ය.

බුද්ධිමතාගේ වගකීම මේ ගැන අවබෝධයක් හා හැඟීමක් ඇතිව කටයුතු කිරීමයි. මොන ක්‍රමයකින් හෝ මුදල් ඉපයීම සමහරුන්ගේ අදහසයි.

මුදල් පමණක් තිබුණාම ඇති, මුදල් ඇත්නම් කරන්න බැරි දෙයක් නැහැ, යනු ඔවුන්ගේ අදහසකි. මුදල් පසුපසම හඹාගොස් සුචරිතයෙන් බැහැරව කටයුතු කර ඇති චරිත මෙලොවදීම අත්විඳීන දුර්විපාක ප්‍රත්‍යක්ෂව ම ඇස් පණාපිට ම අපට දැකගන්නට පුළුවන.

පාසල් දරුවන්ට පවා මත්කුඩු , මත්ද්‍රව්‍ය ලබා දෙමින් මුදල් උපයන අයුරු අද අපට අසන්නට ලැබේ. ඔවුන්ගේ ජීවිත අඳුරු වුව ද විනාශ වුව ද මුදල් උපයන්නාට එය ප්‍රශ්නයක් නොවේ. කෙසේ හෝ මුදල් ඉපයීම ඔහුගේ පරමාර්ථය යි. මෙවැනි අයගේ ගමන අඳුරටම ය. කිසි දිනෙක සිතට සුවයක් නැත. සතුටින්, සාමයෙන්, සැනසිල්ලෙන් ජීවත්වීමට නම් මෙවැනි නිසරු දේ බැහැර කර සරු දේ ම තෝරාගන්නට අධිෂ්ඨාන කරගත යුතු ය. ඒ ජිවන ගමන් මඟ මෙලොවත්, පරලොවත් දිනව යි.

  නවම් අව අටවක 

මාර්තු 05 සිකුරාදා අපරභාග 19.54 අව අටවක ලබා 06 සෙනසුරාදා අපරභාග 18.10 ගෙවේ.
සෙනසුරාදා සිල්
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

Full Moonපසළොස්වක

මාර්තු 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]