Print this Article


යොවුන් සීල සමාධි වැඩසටහනෙන්...

යොවුන් සීල සමාධි වැඩසටහනෙන්...

දැහැමි, යහපත්, ගුණගරුක බවින් පිරිපුන් ජන සමාජයකින් හෙබි සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම උදෙසා, රටේ ජීවනාලිය බඳු වූ අපේ යොවුන් පරපුරේ ආධ්‍යාත්මික හා සමාජ සංවර්ධනය නඟා සිටුවීම සඳහා නිර්මාණශීලි විනයගරුක තරුණ ප්‍රජාවක් බිහිකිරීමේ උත්තුංග අරමුණ පෙරදැරි කොටගෙන තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ උදාර සංකල්පයක් අනුව “යොවුන් සීල සමාධි වැඩසටහන” දීපව්‍යාප්තව දියත් කෙරේ.


අග්‍රාමාත්‍යතුමන් විසින් අටවිසි බෝධීන් වහන්සේලාගේ බෝධි අංකුර බෙංගමුවේ නාලක අනුනායක ස්වාමීන් වහන්සේට පූජා කිරීම.

බුද්ධ ශාසන හා ආගමික, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උපදේශකත්වයෙන් තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යංශයේ හා ජාතික තරුණ සේවා සභාවේ සහයෝගිත්වයෙන්, ජාතික වෙළෙඳ හා ව්‍යවසායකත්ව සම්මේලනයේ ක්‍රියාකාරිත්ව දායකත්වයෙන්, රාජ්‍ය සේවා බෞද්ධ සේවා සංගමයේ සම්බන්ධීකරණයෙන්, සීක් ඔෆ් ක්‍රවුන් ජාත්‍යන්තර සංවිධානයේ ද අනුග්‍රාහක දායකත්වය ලබාගනිමින් පහන්සිත් පදනම විසින් පොහෝදා වැඩසටහන සංවිධානය කරනු ලබයි.

මෙම වැඩසටහන මඟින් දිවයිනේ සෑම විහාරස්ථානයකම පුරපසළොස්වක පොහොය දිනයකදීම තරුණ තරුණියන් සීල සමාදානයෙහි පිහිටුවා දාන, ශීල, භාවනාදියට අවතීර්ණ කරවීම අපේක්ෂිත ය.

මහා සංඝ රත්නය පෙරටු කොට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා, ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මැතිතුමා ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගිය දුරුතු පුර පසළොස්වක පොහොය දින ඓතිහාසික කැලණි රජමහා විහාරයේ දී යොවුන් සීල සමාධි වැඩසටහනේ සමාරම්භය සිදුවිය.

ඓතිහාසික කැලණි රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන්, දේශපේ‍්‍රමී භික්ෂු පෙරමුණේ ලේඛකාධිකාරි යොවුන් සීල සමාධි වැඩසටහනේ උපදේශක බෙංගමුවේ නාලක හිමිපාණන්ගේ උපදේශකත්වයෙන් දහසකට ආසන්න තරුණ තරුණියන් අෂ්ඨාංග ශීලයෙහි පිහිටුවා දවස පුරා දාන, ශීල සමාධි භාවනා වැඩසටහන ක්‍රියාත්මක විය.

මෙදින බෙංගමුවේ නාලක හිමිපාණන් විසින් රචිත තරුණ සිතට බොදු දහම ග්‍රන්ථය ගරු අග්‍රාමාත්‍යතුමන් විසින් ශීලයෙහි පිහිටවූ තරුණ තරුණියන් වෙත ලබාදීමත්, විශ්වයට ශක්තියක් ලබාදෙන අටවිසි බෝධීන් වහන්සේලාගේ බෝධි අංකුර විහාරස්ථානවල රෝපණය සඳහා බෙදා දීම ද සිදුවිය.

තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ආරාධනයෙන් තරුණ පිරිස අෂ්ඨාංග ශීලයෙහි පිහිටුවීම ඓතිහාසික කැලණි රාජමහා විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන් විසින් සිදුකරන ලද අතර, ධර්ම දේශනය කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අංශයේ අංශාධිපති මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් ද, ධර්ම සාකච්ඡාව අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අක්මීමන ධම්මපාල හිමියන් විසින් ද, බුද්ධ පූජාව හා බුද්ධ වන්දනාව පැවැත්වීම රාජකීය පණ්ඩිත හපුවලානේ ධම්මිස්සර හිමිපාණන් විසින් ද , සිදුකරන ලද අතර විශේෂයෙන් කොරෝනා වසංගතය දුරුවී රටට හා ජනතාවට ආපදා විපත් නොවී, සෞභාග්‍ය උදාවේවායි, පහන්සිත් දේශශක්ති ආශිර්වාද පූජාව යොවුන් ශීල සමාධි වැඩසටහනේ උපදේශක බෙංගමුවේ නාලක හිමියන් විසින් පවත්වන ලදී.

ආධ්‍යාත්මික හා සමාජ සංවර්ධනයක් රට තුළ නොමැති නම් භෞතික වශයෙන් රට සංවර්ධනයක් ඇති වුව ද එයින් ඵලක් නොමැති බවත්, රටේ ජීවනාලිය බඳු වූ අපේ තරුණ පරපුර දැහැමි යහපත් ගුණගරුක බවින් පිරිපුන් නිර්මාණශීලි තරුණ පරපුරක් කළ යුතු බවද, යොවුන් ශීල සමාධි වැඩසටහනේ උදාර සංකල්පය ඉදිරිපත් කරමින් සමාරම්භක උත්සවයට සහභාගි වූ තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළේ ය.


තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා විසින් ඓතිහාසික කැලණි රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන්ට අටපිරිකර පූජා කළ අවස්ථාව.


යොවුන් සීල සමාධි වැඩසටහනට සහභාගි වූ පිරිසෙන් කොටසක්..