[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඉහිරුණු කිරට හඬනවාද? නොදුටු ජයග්‍රහණය හඳුනාගන්න

ඉහිරුණු කිරට හඬනවාද? නොදුටු ජයග්‍රහණය හඳුනාගන්න

ලෝකයේ ඉපදෙන සෑම මනුෂ්‍යයකුම ඉතාම දුර්ලභ අවස්ථාවක් ජයග්‍රණය කළ අයෙකි. කිච්චෝ මනුස්ස පටිලාභෝ, යනුවෙන් බුද්ධ දේශනයේ දැක්වෙන්නේ එම විග්‍රහයයි.

එදිනෙදා ජීවීත ගත කරන සෑම වයස් කාණ්ඩයකම සිටින පුද්ගලයින් ඔවුන්ගේ වයසට අදාළව ඇති සෑම බලාපොරොත්තුවක් ම ලබා ගැනීම දුර්ලභ බව සිතා එම සිහිනය සැබෑ කරගැනීම සඳහා වෙහෙසෙයි.

අධ්‍යාපනය හදාරන වයසේ සිටින ශිෂ්‍යයා සිතනුයේ විභාග සමත් වී ඉහළ ලකුණු ලබා ගැනීම හා විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදා කර ගැනීම දුර්ලභ බවයි.

විශ්ව විද්‍යාලයෙන් පිට වූ පුද්ගලයා සිතනුයේ ඉහළ රැකියාවක් ලබා ගැනීම, වාහනයක් ගැනීම, තට්ටු නිවාසයක් සාදා ගැනීම, තම සිත් ගත් තැනැත්තා සමඟ විවාහ වීම, විදේශ ගත වීම ආදී දේ දුර්ලභ බව ය. එම සිහින සැබෑ කර ගැනීම විෂයෙහි නිමක් නැති වෙහෙසකර ගමනක අවතීර්ණව ඔහු කටයුතු කරයි.

කුලයෙන් හීන යැයි සිතා සිටින පුද්ගලයා උසස් කුලයක ඉපදීම දුර්ලභ බව සිතා තම සිත කනස්සල්ලට පත් කර ගනී. නිලයෙන් පහළ සිටින පුද්ගලයා උසස් නිලයක් ලබා ගැනීම දුර්ලභ බව සිතා එය ලබා ගැනීම විෂයයෙහි සිත කණස්සල්ලට පත් කර ගනී.

බලයෙන් හීන පුද්ගලයා බලවත් වීම දුර්ලභ බව සිතා ඒ වෙනුවෙන් වෙහෙස වී තම සිත කනස්සල්ලට පත් කරගෙන කටයුතු කරයි. ධනයෙන් හීන පුද්ගලයා ධනවත් වීම දුර්ලභ බව සිතා ධනය ලබා ගැනීම පමණක් ම ඉලක්ක ගතව සෙසු සියලු දේ පසෙක දා කටයුතු කරයි.

තම තමන්ට ලැබී නැති දෙය මේ ලෝකයේ ලබා ගැනීමට ඇති දුර්ලභ දෙය යැයි සිතා සෑම දවසක් ම කනස්සල්ලෙන් යුතුව ගත කරයි.

එහෙත් සිහිපත් කරන්න, ඔබ දැනටමත් මේ ලෝකයේ ඇති ඉතාම දුර්ලභ අවස්ථාව ජයග්‍රයණය කොට ඇති බව. ඔබ දැනටමත් අංගසම්පූර්ණ ශරීර අවයව වලින් හෙබි ඉතා යහපත් උපතක් ලබා ගෙන ඇත්නම් එයමයි මේ ලෝකයේ ලබා ගත හැකි දුර්ලභම අවස්ථාව. ඔබ විසින් සිත කනස්සල්ලට පත් කරගනිමින් ලබා ගැනීමට වෙහෙසෙන සියල්ල ඔබගේ උත්සාහය උනන්දුව මත ජීවීතයේ තීරණය වන දේ මිස ඒවා ලබා ගත නොහැකි දුර්ලබ දේ නොවේ. අවශ්‍ය වන්නේ ඔබේ ඉලක්කය වෙත ඔබ ලබාදෙන අවධානය හා ඒ වෙනුවෙන් සිදු කරන කැපවීම ය. මේ කැපවීම සිදු කරන සෑම මොහොතකම ඔබ ඔබේ මනුසත් බවට ගරු කරන්න. අනෙකාගේ මනුසත් බවට ගරු කරන්න. මනුසත් භාවය තුළ සිටම කටයුතු කරන්න.

හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වඳී

පළමු දුර්ලභ දෙය ලබාගත් ඔබ ඊළඟ දුර්ලභ දෙය ලබා ගැනීම විෂයයෙහි කටයුතු කරන්න. ඔනෑම වයස් කාණ්ඩයක සිටින ළමා, තරුණ, වැඩිහිටි, මහලු යන පුද්ගලයන් එම දෙවන දුර්ලභ දෙය ලබා ගැනීම වෙනුවෙන් පුහුණු විය යුතු ය. පුරුදු විය යුතු ය. එයම අපේක්ෂාව විය යුතු ය. එනම් “මිනිසෙකු ලෙස ජීවත් වීම ” යන දුර්ලභ අවස්ථාව ජයග්‍රහණය කිරීමට වෙහෙස වී කටයුතු කරන්න. “කිච්චං මච්චාන ජිවීතං” යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබූවේ මේ පිළිබඳය.

මිනිසකු ලෙස ඉපිද මිනිසකු ලෙස ජීවත් වීම දුර්ලභ කාරණාවකි. ‘මනස්ස උස්සානං මනුස්සා’ මනසින් උසස් බැවින් මිනිසා ලෙස නම් කර ඇත. මෙලෙස උසස් මනසක් සතු ඔබ ඔබේ කරුණාව, දයාව, මෛත්‍රිය. උපෙක්ඛාව, සෙනෙහස, මුදු බව, අනතිමානී බව, සමානාත්ම භාවය, අයහපත් දෙය කිරීමට, කීමට. සිතීමට ඇති ලජ්ජාව හා බය, ඉවසීම යන යහපත් සිතිවිලි වර්ධනය කර ගත යුතු ය. තම සිත තුළ මෙම යහපත් සිතිවිලි වලින් හෙබි, ඒ අනුව හැසිරෙන තැනත්තා බුදු දහමට අනුව මිනිසෙක් ව උපන්, මිනිසෙක් ලෙස ජීවත් වන්නෙක් ලෙස ද, මිනිසෙකු ව ඉපිද දෙවියකු ලෙස මනුස්ස ලෝකය තුළ ජීවත් වන අයකු ලෙස ද අර්ථ ගන්වා ඇත.

අයෙක් තම සිත තුළ පුහුණු කරනු ලබන්නේ මෙයට හාත් පසින් විරුද්ධ සිතිවිලි ය. එනම් වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, කුහක කම, මාන්නය, උද්දච්චකම, තරහව, රාගය, ලෝභය, මුලාව, පළි ගැනීම, මිථ්‍යා දෘෂ්ටිය ආදී කොට ගත් අයහපත් සිතිවිලි ය. මේ සිතිවිලි වලින් කටයුතු කරන්නා මිනිසෙක් ව ඉපිද තිරිසනකු ලෙස ජීවත් වන්නකු ලෙසත් එමෙන්ම මිනිසකු ව ඉපිද ප්‍රේතයකු ලෙස ජීවත් වන්නෙක් බවත් බුදු දහමේ විස්තර කරයි.

මෙහිදී ඔබ තමන් කවරෙක් ද යන්න සොයා ගන්න. මිනිසකු ව ඉපිද මිනිසකු ලෙස හා දෙවියකු ලෙස ජීවත් වීම ඉතාම දුර්ලභ කාරණාවකි. මෙම දුර්ලභ අවස්ථාව ජය ගැනීම සඳහා ඔබ ඔබේ හදවත පුහුණු කරන්න. සැම විටම යහපත් සිතිවිලි ඔබේ සිතින් මේ විශ්වයට එකතු කරන්න. යහපත් ක්‍රියා සිදු කරන්න. ඒ සඳහා යහපත් වචන පමණක් ම භාවිත කරන්න. සෑම විටම ඔබ ඇසීමට කැමති මෘදු වචන පමණක් ඔබේ මුවින් පිට කරන්න. මෙසේ කටයුතු කිරීම තුළින් ඔබ මෙතෙක් දුර්ලභ යැයි සිතා සිටි සියල්ල ජයග්‍රයණය කිරීම ඉතාම පහසු වන්නේ ය.

ඉක්යු නැමැති සෙන් ආචාර්ය වරයා කුඩා කල අති දක්ෂ හා ඉතා බුද්ධිමත් අයෙකි. ඔහු කුඩා කල පුහුණුවීම් වල දී ඉතා බුද්ධිමත්ව කටයුතු කළේ ය. තමන්ගේ ආචාර්යවරයාට පරම්පරා ගණනාවකින් ලැබුණු මාහාර්ඝ තේ කෝප්පයක් විය. දිනක් ඉක්යු අතින් මේ මහාර්ඝ කෝප්පය කැඩිණ. ඉක්යු ඉතාම දුකින් සහ කණස්සල්ලෙන් තම ගුරුවරයාගේ බිඳුණු කෝප්පයේ කෑලි අහුලමින් සිටින විට තම ආචාර්ය තුමා පැමිණියේ ය. ඉක්යු තම ආචාර්ය වරයාගෙන් මෙසේ ඇසීය.

‘මිනිස්සු මැරෙන්නේ ඇයි?

“ඒක ස්වභාවික දෙයක්. සැම දෙයක් ම මැරෙනවා. ටික කලයි පවතින්නේ”

යනුවෙන් ගුරුතුමා පැහැදිලි කර දුන්නේ ය. ඉක්යු බිඳුණු කෝප්පයේ කැබලි ගුරුතුමාට පෙන්වා “ඔබතුමාගේ කෝප්පයටත් මැරෙන්න කාලය ආවා ” යි පැවසී ය.

අපට එදිනෙදා මෙවැනි කැඩීම්, බිඳීම්, විනාශ වීම්, නැති වීම්, අහිමි වීම් වැනි දුක්බර කණස්සල්ල ඇති කරන දේ සඳහා මුහුණ දීමට සිදු වේ. එම අවස්ථාවන්වල දී ඔබ කිසි විටෙකත් ඔබේ සිත නොසන් සුන් බවට පත් කර නොගන්න. ඒ අවස්ථාවේ ඔබ එම නැති වීම පමණක් ගෙන එහිම සිත පිහිටුවා කටයුතු නොකරන්න. සෑම දෙයක්ම මැරෙනවා ටික කලයි පවතින්නේ යන යතාර්ථය තේරුම් ගෙන සාමකාමී ව සන්සුන් ව මුහුණ දෙන්න. වඩා වැදගත් වන්නේ ඔබේ සිතේ සැනසීම ඇති කර ගැනීම ය. සැම විට ඒ සඳහා කටයුතු කරන්න. ඔබේ සැනසීම කිසිවිට අනෙක් අයට හානි පමුණුවමින් ලබා නොගන්න. සැම දෙය විනාශ වන ලෝකය තුළ සදාකාලික පුද්ගලයෙක් හෝ වස්තුවක් නොසොයන්න. සෑම විටම ඔබ, ඔබට කරුණාවන්ත ව කටයුතු කරන්න. අනෙක් අය වෙත කරුණාව පතුරවමින් ඔබේ ජීවීතය සාර්ථක කරගන්න.

  නවම්
පුර පසළොස්වක 

පෙබරවාරි 26 සිකුරාදා අපරභාග 15.50 පසළොස්වක ලබා 27 සෙනසුරාදා අපරභාග 13.47 ගෙවේ.
සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 26

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

 

 

 

 

 

 

 

 

 


 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]